ගෙදර ගඟ ළඟ නම් අපේ නිවේදන අහන්න | දිනමිණ

ගෙදර ගඟ ළඟ නම් අපේ නිවේදන අහන්න

මෙරිල් මෙන්ඩිස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අයහපත් කාලගුණය එනම් අධික වර්ෂාපතනය හේතුවෙන් 1,38,292ක් ජනතාව පීඩාවට පත්ව මරණ 16ක් සිදු වී 54205ක් අවතැන්ව රැඳවුම් ස්ථාන 231ක රැඳී සිටිති. වසරින් වසර මතුවන ගංවතුර උවදුර ගැනත් අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම ජනතාව සහ බලධාරින් ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා එහා ඉවුරට කැඳවා ගත්තේ එහෙයිනි.

* සිය දහස් ගණන් ජනතාව අවතැන් කරමින් ඇද හැළුණු වර්ෂාව, කාලගුණ විපර්යාසයක ප්‍රතිඵලයක් ද?

විපර්යාසයක් කියලම කියන්න බෑ. සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම ආරම්භයේ දී, වැසි තත්ත්වයේ වැඩි වීමක් දක්නට පුළුවන්. නිරිත දිග මෝසම ආරම්භ වීමේ දී අන්තර් නිවර්තන අභිසාරී කලාපය, ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ සුළං ප්‍රවාහය සහ දකුණු අර්ධ ගෝලයේ සුළං ප්‍රවාහය හමු වන්නේ ශ්‍රී ලංකාව ආසන්නයේ දී. ඒක වළාකුළු වර්ධනයට ඉතා හොඳ පසු බිමක්. ඒත් කැළඹිලි ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම වර්ෂාවේ වැඩි වීමක් දක්නට පුළුවන්.

*අයහපත් කාලගුණ තත්ත්වය නිසා වැඩිම බලපෑමක් එල්ල වුණේ දිවයිනේ කුමන ප්‍රදේශවලට ද?

මෙවර ඇති වූ වර්ෂාව දිවයින පුරා ප්‍රදේශ ගණනාවකට බලපෑම් ඇති කර තිබෙනවා. ඒ අතරින් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා වයඹ කියන පළාත්වලට.

* ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය ඇතිවීමට පෙර සිට ජනතාව දැනුවත් කරන්න ඔබ දෙපාර්තමේන්තුව කටයුතු කළා ද? තවදුරටත් මේ තත්ත්වය පවතීද?

මේ තත්ත්වයට කලින් අපි මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න කටයුතු කළා. ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මේ තත්ත්වය දැනුම් දී තිබුණා. දැනට තියෙන වැසි සහිත කාලගුණික තත්ත්වය මැයි මස 27 වැනිදා දක්වා අඛණ්ඩව පවතියි කියලා අපි විශ්වාස කරනවා. 27 වැනිදායින් පස්සෙ සාමාන්‍යයෙන් තාවකාලික අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

* ඇති වී තිබෙන තත්ත්වය නිසා මේ වන විටත් පුරවැසියන් දස දෙනෙකුට වඩා මිය ගිහින් තියෙනවා. ඔබ දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනවලට ජනතාව දැක් වූ ප්‍රතිචාරය කොහොම ද?

නිරිත දිග මෝසම ආරම්භයේ දී ප්‍රබල අකුණු ඇති වී ගිගිරුම් සහිත වැසි ඇතිවන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය අපි මුල ඉදලම අවවාදාත්මක නිවේදන මගින් ජනතාවට දැනුම් දුන්නා. ඒත්, අවාසනාවට මේ වන විට අකුණු සැර වැදී පස් දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඊට අමතරව තද වැසි ඇති වීමේ තත්ත්වය පිළිබඳවත් මුල ඉදලම අපි දැනුම් දීමට කටයුතු කළා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් මෙවර හොඳ සූදානමකින් හිටියා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන අනාවැකි විශ්වාස කරමින් එම මධ්‍යස්ථානය පෙරට වඩා පූර්ව සූදානමකින් මේ තත්ත්වයට මුහුණ දුන්නා.

* කාලයකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනාවැකි සම්බන්ධයෙන් අවිශ්වාසයක් ගොඩනැඟුණා. අද වහිනවා කිව්වොත් හොඳට පායනවා. පායනවා කිව්වොත් වහිනවා. එහෙම වුණේ ඇයි?

අද වෙනකොට ලෝකය පුරාම තාක්ෂණික දියුණු වෙලා තියෙනවා. ඒ අතරින් යම් ප්‍රමාණයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට අපිත් අත්පත් කරගත්තා. අනාවැකියකට වැදගත් වන්නේ දත්ත. පවතින තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරගන්න පුළුවන් නම් අනාවැකි පළ කිරීම අපහසු නෑ. අද ලෝකයේ දත්ත එක් රැස් කිරීම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. දත්ත ලබා ගන්නා හැම ක්ෂේත්‍රයකම දියුණුවක් තියෙනවා. උදාහරණයක් විදිහට රේඩාර් තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය අද ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. අද වෙනකොට ලෝකය පුරා ගුවන් යානා, නැව් භාවිතයෙන් දත්ත එක් රැස් කරනවා. ඒ නිසා අතීතයට සාපේක්ෂව වර්තමානයේ දී, ඉදිරි අනාවැකි පළ කිරීමට පහසුවක් ලැබිලා තියෙනවා.

* අනාවැකි පළ කිරීම අසාර්ථක වුණේ, දෙපාර්තමේන්තුව භාවිතා කරන උපකරණ පැරැණි නිසා බව කියලයි සඳහන් වුණේ. ඇත්ත ඒක ද?

පැරැණි උපකරණවල කිසිම ගැටලුවක් නෑ. උදාහරණයක් විදිහට උෂ්ණත්ව මානය ගත්තොත්, තවමත් භාවිතා කරන්නේ රසදිය උෂ්ණත්ව මානයයි. ඒක තමයි අදටත් හොඳම උෂ්ණත්වය දෙන්නේ. වෛද්‍යවරයෙක් ළඟට ගියොත් තවමත් වෛද්‍යවරයා උණ බලන්න පාවිච්චි කරන්නේ රසදිය උෂ්ණත්ව මානය. ඒ තරම්ම ඒ උපකරණය විශ්වාසයි. අපිත් තවම රසදිය උෂ්ණත්වය මානය පාවිච්චි කරනවා. නමුත් 2020න් පස්සේ රසදිය ලෝකයෙන් ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට වෙනත් විකල්ප සොයන්න සිදුවෙනවා. දැනටත් ඉලෙක්ට්‍රෝනික උපාංග මගින් දත්ත රැස් කිරීම ආරම්භ වෙලා තියෙනවා. දැනට අපේ නිරීක්ෂණ මධ්‍යස්ථානවල වර්ෂාව නිරීක්ෂණය කරන්නේ පැය තුනෙන් තුනට. නමුත් වර්තමානයේ ස්වයංක්‍රීය වර්ෂාමානවලින් සෑම විනාඩි හයකට වරක් අලුත් දත්ත ලබා දෙනවා. ඒක නිසා අතීතයට වඩා වර්තමානයේ අනාවැකි හා දත්ත වේගයෙන් ලබාදීමේ හැකියාව තියෙනවා.

* කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තුළ දැනට නවීන උපකරණ භාවිතයෙන් දත්ත රැස් කිරීමේ හැකියාව තියෙනවා ද?

ස්වයංක්‍රීය වර්ෂාමාන සියයක් පිහිටුවීමේ නව ව්‍යාපෘතියක් දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කලාපයේ ගංගා ආශ්‍රිතව ඒවා ස්ථාපිත කරන්න කටයුතු කෙරෙනවා. දැනටමත් සවි කළ යුතු ස්ථාන හැත්තෑවකට වඩා හඳුනාගැනීමේ කටයුතු සිදුකරලා තිබෙනවා. මේ වන විට සවිකර තිබෙන උපකරණවලින් අපි දත්ත ලබා ගනිමින් ඉන්නවා.

* දෙපාර්තමේන්තුව නිකුත් කරන අනතුරු ඇඟවීම් ප්‍රාදේශීය මට්ටමින් හොඳින් සන්නිවේදනය වෙනවද?

ගොඩක් වෙලාවට මේ ගැන අපි ස්තූති කරන්න ඕනේ මාධ්‍යයට. අපේ රටේ මාධ්‍ය නැත්නම් අපිට මේ පණිවිඩ ජනතාවට දෙන්න අමාරුයි. අපි නිකුත් කරන අනතුරු ඇඟවීම් ඉතා ඉහළින් වාර්තා කරන්නේ මාධ්‍ය. දැන් ලංකාවේ හැම තැනම ඉන්න පුරවැසියන්ට අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවේ නිල මුහුණු පොත හරහාත් සන්නිවේදන කටයුතු සිදු කෙරෙනවා. දෙපාර්තමේන්තුව හා මාධ්‍ය ආයතන නිරතුරුවම නිවේදන නිකුත් කරමින් යාවත්කාලීන වුවත්, ජනතාව ඊට දක්වන අවධානයේ තරමක අඩුවක් තිබෙන බවක් පේනවා. අකුණු අනතුරුවලින් ඒ ගැන පැහැදිලිව පෙන්නුම් කෙරෙනවා.

* ස්වභාවික විපත්වල වැඩි වීමක් පෙන්නුම් කරන වර්තමානයේ, ජනතාවගේ නොසැලකිල්ල නිසා විපත් වැඩි වෙලා කියලත් බොහෝ දෙනෙක් පෙන්නලා දෙනවා. ඒ ගැන මොනවද කියන්නේ?

අද ගොඩක් මිනිස්සු ගංවතුර තමන්ගෙ ගේ දොරකඩට එනකල් ගණන් ගන්නේ නෑ. ඒ වගේම තමයි ඔවුන් ගංවතුර කියන එක සැහැල්ලුවෙන් හිතනවා. මේ ගැන ගොඩක් වෙලාවට තීන්දු තීරණ ගන්න ඕන රජය. ගංවතුර පාලනය, ජනතාව මෙහෙයවීම වගේ දේවල් ආණ්ඩුවේ කාර්යයභාරයක්. අපිට පුළුවන් පූර්ව දැනුම් දීම් කරන්න. නමුත් රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න ඕන. වැස්ස කියන එක අපට නවත්වන්න බෑ. නමුත් ඊට හොඳින් මුහුණ දෙන්න පෙර සූදානමක් ඇති කරගන්න පුළුවන්. ඔය කියන පෙර සූදානමක් නැති වුණොත් ඇත්තටම අපට විපත්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. අනෙක් කාරණය තමයි, මෙවර ඇති වූ වර්ෂාවේ මෝසම හරිහැටි සක්‍රීය වුණේ නෑ. තවමත්, ක්‍රමයෙන් මෝසම ස්ථාපිත වෙමින් යනවා. මෝසම ඇති වුණාම වර්ෂාවත් සුළඟත් එකවර පතිත වෙනවා. එතකොට මේ වර්ෂාව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම දෙසට තල්ලු වෙනවා. එහෙම වුණාම වෙරළබඩ තීරයේ වැසි අඩු වෙලා මධ්‍යම කඳුකරයට වර්ෂාව වැඩි වෙනවා. එහෙම වුණා නම් ගංවතුර ඇති වීම හා විපත් ඇතිවීම තරමක් දුරට අඩුවෙන්න පුළුවන්.

* නාය යෑම්, ගංගා පිටාර ගැලීම් යන නිවේදන නිකුත් කරන්න ඕන තවත් ආයතන කීපයක් ඒකාබද්ධ වෙලා. කොහොම ද ඒ ආයතනවල එක්ක තියෙන සම්බන්ධතාවය?

වැසි තත්ත්වය වර්ධනය වේගෙන එනකොටම අපි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන ආයතන එක්ක නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වනවා. වැසි තත්ත්වය එන්න එන්නම වැඩි වුණොත් ඒ ආයතන එක්ක නිරන්තරයෙන් සම්බන්ධවෙලා ජනතාවට ලබාදිය යුතු අවවාද, අනතුරු ඇඟවීමේ නිවේදන නිරන්තරයෙන් නිකුත් කරන්න කටයුතු කරනවා.

* ධීවර ප්‍රජාව වෙනුවෙන් වෙනමම සන්නිවේදන ක්‍රමෝපායන් තියෙනවා ද?

මෝසම් වැසි තත්ත්වයත් එක්ක, දිවයිනේ බටහිර, නිරිත, දකුණ වෙරළබඩ මුහුදු තීරය රළු ස්වභාවයක් ගන්නවා. ගොඩබිමට ආසන්න මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන ධීවර ජනතාවට මෙහි බලපෑම වැඩියි. ඊට හේතුව තමයි ඔවුන් ගොඩබිම හා සම්බන්ධතා තබා නොගැනීම. ගැඹුරු මුහුදේ ධීවර කටයුතු කරන පිරිස් ගොඩබිම හා සම්බන්ධතා තියාගන්නවා. ඒත් මෑත මුහුදේ අය ඔරු, බෝට්ටුවල ධීවර කටයුතුවල යෙදෙන නිසා සම්බන්ධතා නෑ. මෙවැනි අවස්ථාවල ඔවුන් අනිවාර්යයෙන් නිවේදන පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

* රටේ එක පැත්තක ගංවතුර, තවත් පැත්තක නියඟය, මිනිස් ක්‍රියාකාරකම් හා පාරිසරික සාධක වර්ෂාවට හා නියඟයට බලපෑමක් ඇති කරලා තියෙනවා ද?

නියඟයට බලපාලා තියෙන්නේ වර්ෂාපතනය ලැබීමේ වෙනස. භූ විෂමතාවය හා මධ්‍යම කඳුකරය වර්ෂාපතන රටාව වෙනස් කිරීමට විශාල බලපෑමක් ඇති කරනවා.

මිනිස් ක්‍රියාකාරකම් මේ කාරණාවලට බලපෑමක් ඇති කරලා නෑ කියන්න බෑ. කෙටි කාලීනව බලපෑමකට වඩා දීර්ඝ කාලීනව තමයි එවැනි බලපෑමක් ඇති වෙන්නෙ. වර්ෂා පතනය අඩුවීමට වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම ගෝලීය උණුසුම වැඩිවීම වගේ කාරණාත් බලපානවා. එහි ප්‍රතිඵලයක් විදිහට නියඟය ඇති වෙනවා. මේ සියල්ලම දීර්ඝ කාලීන බලපෑම් විදිහට තමයි තියෙන්නේ.

* ගංගා නිම්න ආශ්‍රිතව ඉන්න ජනතාවට ඔබතුමා දෙන පණිවිඩය කුමක් ද?

විශේෂයෙන්ම ගංගා ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ වැඩි අවධානයකින් පසුවෙන්න ඕන. ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබාදෙන නිවේදන හා තොරතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ඒ ආයතන ලබා දෙන නිවේදන අනුව ජනතාව කටයුතු කළ යුතුයි. අකුණු පවතින අවස්ථාවල ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන්න ඕන. ජනතාව මේ අනතුරුවලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියන කාරණය හොඳින්ම දන්නවා. ඒත් නොසැලකිල්ල නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ නිසා සෑම විටම මහජනතාව සැලකිල්ලෙන් පසුවුණා නම් යහපත්.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප නිශ්ශංක විජේරත්න


නව අදහස දක්වන්න

Or log in with...