ඉස්කෝලෙ නෝනාට බබා ගවුමක් | දිනමිණ

ඉස්කෝලෙ නෝනාට බබා ගවුමක්

ගැබිණි සමයේදී සාමාන්‍යයෙන් මාස පහක පමණ කාලයක් ගතවූ පසු කුස ඉදිරියට නෙරා ඒම සිදුවෙයි.එම අවස්ථාවේ සිදු වන්නේ දරුවාට කුසතුළ වැඩෙන්නට අවශ්‍ය පසුබිම සැකසීමයි.ඉදිරියට නෙරා එන උදරයට බාහිරින් පීඩනයක් එල්ල වන විට එය දරුවාට අයහපත් ලෙස බලපාන්න හැකියාවක් ඇත. සාරියක් හෝ ඔසරියක් ඇඳීමේදී මෙම අනවශ්‍ය තෙරපුම කුසේ සිටින දරුවාට දැනෙන්නට අවකාශයක් තිබේ

සියලු වෘත්තීන්ගේ මව් වෘත්තිය ගුරුවෘත්තියක් යැයි කියමනක් තිබේ. වෛද්‍යවරයෙක්,ඉංජිනේරුවෙක්,ගණකාධිවරයෙක්,නීතිවේදියෙක් පමණක් නොව ඕනෑම වෘත්තිකයෙක් බිහි කිරීම පසුපස ගුරුවරයෙක් සිටී. එක පාසලක් ඇරෙන විට සිර ගෙවල් දහසක් වැසෙන බවට කියමනක් සමාජ ගතව තිබෙන්නේද ගුරු වෘත්තියේ උතුම් බව කියා පාන්නටය.වර්තමානයේ පාසල් පද්ධතිය තුළ ගුරුවෘත්තියේ නිරත පිරිස සැලකීමේදී ඉන් අති බහුතරය කාන්තාවන් බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඉදිරියේදී එය තවත් ඉහළ යනු ඇති බවට අනුමාන කළ හැකි වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ප්‍රවිශ්ඨ වන පිරිස අතරින්ද බහුතරය කාන්තාවන් වීම නිසාය. කාන්තාවකට තම ජීවිතය තුළ ලැබිය හැකි උතුම්ම පදවිය මව් පදවිය යැයි කියති.

නව මසක් පුරා දරුවා කුස තුළ දරා සිටිමින් ඇය සිදුකරන කැප කිරීම අති විශාලය.එම කාලය තුළ ආහාර පාන පවා ඇය ගන්නේ දරුවාගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙමිනි.සියලු වෘත්තින්ගේ මව් වෘත්තිය වන ගුරු වෘත්තියේ නිරත කාන්තාව ලොව උතුම්ම පදවිය ලබන්නට සැරසෙන විට ඇගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. එය ඒ ආකාරයෙන්ම මෙතෙක් සිදුවූයේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතු වන්නේ සෙසු සියලු වෘත්තීන්වල නිරත කාන්තාවන් ගැබිණි සමයේදී පහසු,ලිහිල් නිල ඇඳුමක් අඳිද්දී ගුරු වෘත්තියේ නිරත කාන්තාව සාරියට හෝ ඔසරියට සිරවී සිටීම හේතුවෙනි.මෙම තත්ත්වය පිළිබඳව කල්ගතවී හෝ අවධානය යොමුකර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගැබිණි පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුමක් හඳුන්වා දීම අගය කළ යුතු ක්‍රියාවකි.

ගර්භනී පාසල් ගුරුවරියන්ගේ නිරවුල් මානසිකත්වය,යහපත් සෞඛ්‍යය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම නිල ඇඳුම හඳුන්වා දුන් බව අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.අප බොහෝ විට සම්ප්‍රදාය තුළ සිරවී ඉන්නට කැමතිය.එය බිඳ දැමීම ලොව දරුණුම අපරාධය ලෙස දකින පිරිසක්ද සමාජයේ සිටිති.පොලීසියට,හෙද සේවයට පමණක් නොව බොහෝ වෘත්තීන්ට නිල ඇඳුම් තිබේ.එම වෘත්තියක නිරත කාන්තාවක් ගැබ්ගෙන කුසට මාස පහක් පමණ වූ විට අදාළ කාන්තාව එම සේවයට අදාළ විශේෂ නිල ඇඳුමක් ගැබිණි සමයේදී භාවිත කිරීම සරල සංසිද්ධියකි.එසේ වුවත් පැසල් ගුරුවරියට එම අවකාශය මෙතෙක් නොතිබීම හේතුවෙන් ඇය විවිධ දුෂ්කරතාවන්ට පත්වූ බව නොරහසකි.

මෙරට ගුරුවරු අතරින් අති බහුතරය ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවා වලය.අනෙක් පැත්තෙන් සෑම ගුරුවරියකටම දූෂ්කර සේවා කාලයක් සම්පූර්ණ කිරීමට සිදුවෙයි.මෙම පසුබිම තුළ පාසල් ගුරුවරියන්ට දෛනිකව කිලෝ මීටර තිහක හතළිහක පමණ දුරක් යායමට සිදුවන අවස්ථා කොතෙකුත් තිබේ.දරුවකු කුසදරා සාරියක් හෝ ඔසරියක්ද පටලවා ගෙන එම දුර ගෙවා ගොස් දරුවන්ට අකුරු කරවන්නට ඇයට සිදුව තිබිණි.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ගුරුවරියන් හඩක් නොනැගීම පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තිබුණද එවැන්නක් සිදු වීමට ප්‍රථම යහපත් දෙයක් කරන්නට අධ්‍යාපන ඇමැතිවරයා ගත් පියවර ප්‍රශංසනීයය. සාරිය හෝ ඔසරිය ඇඳීම සඳහා වෙනත් ඇඳුමක් අඳින්ට ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගතවෙයි.අනෙක් පැත්තෙන් එය තරමක් උදරයට තදවන සේ අඳින ඇඳුමකි.සාරියක් ඇඳි පසු ඇවිදීමටද යම් අපහසුතාවක් ඇතිවෙයි.මේනිසා ගැබිණි ගුරුවරියන් පාසල් තුළ නොයෙක් අපහසුතාවන්ට පත්වන අතර ඔවුන් ඒ සියල්ල විඳ දරා ගනිමින් නිහඬව සිටින්නේ දරුවා ලැබීමෙන් පසු සියල්ල පහව යන බැවිනි.

මාස හතරක පමණ කාලයක් තමන් විඳින දුක,වේදනාව පාසල් ගුරුවරියන් පිටතට නොදුන්නද ඉන් ඔවුන් ලබන පීඩාව තමන් හොඳින් දන්නා බව මහනුවර විහාරමහ දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනි නිලක්ෂිකා දිල්හානි හපුගොඩ මහත්මිය පවසයි.සාරියක් ඇද සිටින ගැබිණි ගුරුවරියකට බස් රථයක් තුළ ආසනයක් ලබා ගැනීම පවා දූෂ්කරවී තිබෙන බවත් එයට හේතුවී තිබෙන්නේ ඇය ගැබිණියක් බව බොහෝ විට බාහිර ස්වරූපයෙන් නොපෙනීම නිසා බවත් ඇය ප්‍රකාශ කරයි.

සාරිය හෝ ඔසරිය වෙනුවට වෘත්තිය ගරුත්වය ආරක්ෂා වන පහසු නිල ඇඳුමක් හඳුන්වා දීමට අධ්‍යාපන ඇමැතිවරයා ගත් පියවර අගය කරන ඇය පවසන්නේ හදුන්වා දුන් නිල ඇඳුම වෙනස් කිරීම් වලට ලක් නොකර ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යෑමද අතිශයින් වැදගත් බවයි.සංස්කෘතියට හා සදාචාරයට හානි නොවන ලෙස සම්ප්‍රදායන් වෙනස් කිරීම වරදක් නොවන බවත් සෞඛ්‍යය අංශයේ සෑම වෘත්තියකම ගැබිණි සමයේ අඳින්නට විශේෂ නිල ඇඳුමක් පවතින බවත් ඇය පෙන්වා දෙයි.

ගැබිණි සමයේදී සාමාන්‍යයෙන් මාස පහක පමණ කාලයක් ගතවූ පසු කුස ඉදිරියට නෙරා ඒම සිදුවෙයි.එම අවස්ථාවේ සිදු වන්නේ දරුවාට කුසතුළ වැඩෙන්නට අවශ්‍යය පසුබිම සැකසීමයි.ඉදිරියට නෙරා එන උදරයට බාහිරින් පීඩනයක් එල්ල වන විට එය දරුවාට අයහපත් ලෙස බලපාන්න හැකියාවක් ඇත.

සාරියක් හෝ ඔසරියක් ඇඳීමේදී මෙම අනවශ්‍ය තෙරපුම කුසේ සිටින දරුවාට දැනෙන්න අවකාශයක් තිබේ.අනෙක් පසින් දරුවකු පිළිසඳ ගත් පසු සාමන්‍ය ප්‍රමාණයට වඩා කාන්තාවක් මුත්‍රා පිට කරනු ලබයි.සාමාන්‍ය තත්ත්වයෙන් සිටින විට පිටකරන මූත්‍ර ප්‍රමාණයට වඩා ගැබිණි සමයේදී පිට කරන මුත්‍රා ප්‍රමාණය වැඩිවීම නිසා අනෙක් පැත්තෙන් ඇය මුත්‍රා පිටකරන වාර ගණනද ඉහළ යයි.මෙම පසුබිම තුළ සාරියක් ඇඟ දවටා ගත් ගැබිණි ගුරිවරියක් පාසලක් තුළ පත්වන අපහසුතාව කෙතරම්ද යන්න පිළිබඳව අපට තරමක අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. පාසල් ගුරුවරියනට ගැබිණි ගවුමක් ඇදීමට අවසර ලැබීම පිළිබද මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා මෙසේ පවසයි.

" ගුරුවරු ගනුදෙනු කරනු ලබන්නේ දරුවන් සමඟය.දරුවන් යනු මෙරට අනාගතයයි.යහපත් අනාගත පරපුරක් බිහි කිරීම පිණිස දරුවන්ගේ දෑස පාදන්නට වෙර දරන ගුරුවරියන් නිරවුල් මනසින් සිටීම ඉතා වැදගත්ය.එක් පැත්තකින් මෙම නව වැඩපිළිවෙළ තුළින් ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වීමක්ද සිදුවන බව මගේ හැඟීමයි.මවක් වන්නට සූදානම් වනවිට කාන්තාවගේ ශරීරයේ බොහෝ වෙනස් කම් දක්නට ලැබෙයි.මේවා ගැන පාසැල් දරුවන්ද උනන්දු බව අප අමතක නොකළ යුතුය.දරුවා ලැබෙන්නට මාසයක පමණ කාලයක් ඇති විට ගුරුවරියකට සාරිය පවා පිළිවෙළකට ඇඳීමට නොහැකිය.උදර ප්‍රදේශ බොහෝ විට නිරාවරණය වන අවස්ථා තිබේ.මේවා සියල්ල තුළින් මව් පදවිය ලබන්නට යන කාන්තාව අපහසුතාවට පත්වීමට ඉඩක් ඇත.

සෙසු වෘත්තීන්හි නිරත කාන්තාවන් ගැබිණි සමයේ ලබන පහසු ඇඳුමක් ඇඳීමේ නිදහස පාසැල් ගුරුවරියටද තිබිය යුතුය.එය නොලැබෙන්නේ නම් ඇත්තෙන්ම එය සමාජය විසින් හඬක් නගා හෝ වෙනස් කළ යුතුය.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණය පිළිබඳ ආචාර්ය උපාධිධාරි විද්වත් කමිටුවක් මගින් මෙම ඇඳුම නිර්මාණය කළ බව දැන ගන්නට තිබෙන අතර එය ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන එකක් වීම අතිශයින් වැදගත් බව වෛද්‍ය සුබසිංහ මහතා පෙන්වා දෙයි.

ඇතැම් විට ලෙස මෙම වැඩපිළිවෙළට එරෙහිවද ඉදිරියේදී විරෝධතා මතු වීමට පුළුවන.පසුගිය කාලය පුරා රජය ගත් බොහෝ තීන්දු තීරණ වලට එරෙහිව විරෝධතා හා උද්ඝෝෂණ දියත්වූ අතර ඒ නිසාවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන තත්ත්වයන්ද ඇති විණි.යම් තීන්දුවකින් ඍජු බලපෑම එල්ල වන පිරිසට වඩා විරෝධතා වලදී වැඩි කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ඊට කිසිසේත් සම්බන්ධයක් නොමැති කොටස්ය.ඊට උදාහරණ ඕනෑ තරම් පසුගිය කාලය තුළ දක්නට ලැබිණි.ගුරුවරියන්ට ගැබිණි සමයේදී අඳින්නට නව ඇඳුමක් හඳුනාවා දීම සමස්ථ ගුරු සේවයේම ගරුත්වට හේතුවනු ඇත.එය රැක ගැනීම පිණිස පෙරට ඒම සෑම කාන්තාවකගේම යුතුකමකි.

සටහන
අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න