සංඝනායක පදවියෙන් පිදුම් ලබන ගෝනවල අස්සජි හිමි | දිනමිණ

සංඝනායක පදවියෙන් පිදුම් ලබන ගෝනවල අස්සජි හිමි

කැලණිය ගෝනවල, බරනිවල ලියනගේ ධනපාල සහ ලොකු කොඩිකාරගේ සෝමවතී යන දම්පතීන්ගේ 5 වෙනි කුල කුමරුවා අනුර ශාන්ත කුමාර නම් විය. අනුර ශාන්ත කුමාර කැලණි විද්‍යාලයේ සහ සපුගස්කන්ද මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා 1987 ඔක්තෝබර් මස 20 දින ගෝනවල අස්සජි නමින් පැවිදි වූහ.

ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ මහානායක ධුරන්දර කඳුබොඩ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය, රත්නපුර, ලෙල්ලුපිටිය, රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය මහා විහාරාධිපති අග්ගමහා සද්ධම්ම ‍ජෝතිකධජ මහා කම්මට්ඨානාචාර්ය විනය විශාරද ඉගුරුවත්තේ ශ්‍රී පියනන්දාභිධාන මහානායක ස්වාමීන්වහන්සේ ගෝනවල අස්සජි ස්වාමීන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වූහ.

1988 වර්ෂයේදී උතුම් වූ උපසම්පදා ශීලයෙහි පිහිටවූ අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියද සමත් වූහ. ඉන් අනතුරුව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සමත් වූ උන්වහන්සේ 1994 වර්ෂයේ ගනේමුල්ල, කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී වන ගෝනවල අස්සජි ස්වාමීන් වහන්සේ දෙස් විදෙස් කම්මට්ඨාචාර්යවරයකු වශයෙන් විශාල ආගමික මෙහෙවරක නියුතු වන්නාහ. උන්වහන්සේට ස්වේජින් මහ නිකාය වෙතින් සිරි සුමතිපාල වංසාලංකාර ශාසන සෝභන යන ගෞරව නාම සම්මුතිය සහිත සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇත.

එම පදවි ප්‍රාප්ති මහෝත්සවය 2018.03.25 දින ගනේමුල්ල, කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සිදුවිය.

දේශබන්ධු ඒ. එල්. කරුණාරත්න

 

නව අදහස දක්වන්න