කිතුනු පවුල සුබාරංචියකි | දිනමිණ

කිතුනු පවුල සුබාරංචියකි

 

කතෝලික සභාව දෙස බැලීමේ දී කිතුනු පවුල සමාජයේ මෙන් ම කිතුනු සභාවේ ද කුඩාම ඒකකය වශයෙන් සලකනු ලබන්නේ ය. එකී කිතුනු පවුලක ආරම්භය වන කිතුනු විවාහයට ද කතෝලික සභාව තුළ විශේෂාකාර වූ අවධානයක් යොමු කරනු දක්නට ලැබෙන්නේ ය.

ලෝකාරම්භයේ දී දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කරවන ලද්දක් වශයෙන් දැක ගත හැකි මේ සමාජ සංස්ථාව කෙතරම් සුවිශේෂිත එකක් වන්නේ ද යන වග කතෝලික සභා ඉගැන්වීම් මෙන්ම ශුද්ධ ලියවිල්ල දෙස බැලීමේ දී ද අපට පසක් වේ. දෙවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන්ට අනුව පවුලක් තුළ උත්පත්තිය ලබන දරුවා, එම මවට පියාට හෝ එම සහෝදර සහෝදරියන්ට පමණක් නොව මුළු මහත් සමාජයට ලද ත්‍යාගයකි.

පවුල යනු මිනිස් ජීවිතයේ ශුද්ධාත්ම ගිනිසිළුව සම්ප්‍රේෂණය කරනු ලබන දේවමාලිගාවයි. එය දෙවියන් වහන්සේට කැපවූ දෙව්මැඳුරකි. එබැවින් සෑම උපතක් ම ප්‍රකාශ කළ යුතුවන අතර මිනිස් ජීවිතය සුබාරංචියකි. මිනිසුන් සාමුහික ව ජීවත්වන්නා වූ මානව පවුල ද සැබවින්ම සුබාරංචියක් වන්නේ ම ය.

ඒ අනුව වර්තමානය දෙස විමසුම් ඇසින් බලන කල පවුල් සංස්ථාව අද කෙබඳු ඛේදවාචකයකට මුහුණ දී ද යන්න පැහැදිලි වේ. එදා ජේසු, මරිය, ජුසේ වැන්නවුන්ගේ ශුද්ධවූ පවුලේ තිබු ගුණදම් වත්මන් මානව පවුලක තිබේදැයි සැක සහිත ය. ඇත්නම් ඒ අතෙහි ඇඟිලි ගණනට ය. ඒ තරමට ම සමාජය දූෂිත වී තිබේ. ජේසුතුමාගේ සුබ වදන කෙතරම් දේශනා කළත්, මනෝ උපදේශකවරුන්ගේ සහය ද නොමඳ ව ලැබුණත් ඉන් ප්‍රයෝජන ගන්නෝ කීයෙන් කීදෙනා ද? අපේ ආදී මුතුන් මිත්තන්ගේ පවුල් සංස්ථාව වත්මන් තත්ත්වයට වඩා අගය කළ හැකි මට්ටමේ පැවතුණි. අද වන විට විවාහය හුදු චාරිත්‍රයකට හා විනෝද වීමේ අවස්ථාවකට පමණක් සීමා වී හමාර ය. ශුද්ධවූ පවුලේ ආදර්ශය කඩිනමින් ගත යුතු කාලය එළැඹ තිබේ. මේ ආපසු හැරී බැලීමට සුදුසුම කාලයයි. එසේ නම් සුදු පවුල වෙත හැරෙමු. ගත් ඔවදනින් සුබාරංචිය ප්‍රකාශ කරමු.

රොමේෂ් නෝනිස්
කැලණිය විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න