අධ්‍යා­පන සහ­ති­කය දෑවැ­ද්දට හිලව් කිරීම | දිනමිණ

අධ්‍යා­පන සහ­ති­කය දෑවැ­ද්දට හිලව් කිරීම

නොබෙල් සාම ත්‍යාග ලද මලාලා යුසුෆාසි මේ ළඟකදී ඩේවිඩ් ලෙටමර්න් සමඟ හමුවකදී ගැහැනු දැරියනටත් අඩුපාඩු රහිත ගුණවත් අධ්‍යාපනයක් ලබා දීමේ වැදගත්කම සහ අවශ්‍යතාව දිගින් දිගටම අවධාරණය කරමින් කතා කළාය. ඈ තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් නොබියව කටයුතු කිරීම නිසා, පාසල නිමවී ගෙදර එද්දී තමන්ගේම වයසේ කෙනකු අතින් වෙඩි පහරකට 2012 දී ගොදුරු වූ දැරියයි. ලොව දස ගණන් දැරියන්ගේ වාසනාවකට ඇගේ ජීවිත සටන එතැනින් නොනිමි වූ නිසා ඈ දැන් දැරියන්/ කාන්තාවන් ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ප්‍රබල හඬක් නැඟිය හැකි සාධනීය යමක් ඉටු කළ හැකි ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන්නීය. ඈ විසින් මුල් තැන ගෙන ඇරඹි අධ්‍යාපන ආයතන කිහිපයක්ම මේ වන විට දරුවන්ට අකුරු කියා දේ. පකිස්ථානයේ ස්වොට් නිම්නයේ මලාලා යුසුෆාසි නම් වූ අකුරු ඉගෙන ගන්නට අයිතිය ඉල්ලූ අහිංසක මුත් නිර්භීත දැරිය අමුතුවෙන් හඳුන්වා දීම අවැසි නැති යැයි මට සිතේ.

මලාලා විසින් දිගින් දිගටම ගැහැනු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහ එහි වැදගත්කම කතා කරද්දී, මා හොඳින්ම දන්නා ගැහැනු කීප දෙනෙක් සිහියට නැගිණි. ඔවුන්ගේ දෙමාපියන් විසින් ජීවිතයේ හොඳම කාලය ඔවුන් වෙනුවෙන් කැප කර බොහෝ වෙහෙස දරා මේ ගැහැනු දැරියනට ගුණවත්ම අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ ගැහැනු දැරියෝ විවාහයට පෙර තමන්ගේ පුහුණු ක්ෂේත්‍රවල දස්කම් දක්වමින් ඉහළට නැඟි අය වූහ. ඉන් කිහිප දෙනෙක් තවමත් රැකියා කටයුතුවල නිරත වෙමින් දක්ෂ ලෙස තමන්ගේ අධ්‍යාපනය වැඩ දායි ලෙස බෙදා නොගන්නවා නොවේ. නමුත් ඔවුන් සියල්ලන්ගේම කතාවේ සමානකම් ඇත.

ඔවුන්ගේ ජීවිත පාලනය වන්නේ ඔවුන් විසින් විවාහ කරගත් පිරිමියාගේ සහ ඔහුගේ පවුලේ අයගේ ක්‍රමයටයි. එම ගැහැනුන්ගේ අධ්‍යාපනය නූතන දෑවැද්දකට හිලව්වක් බඳුය. තමන් වැනිම අධ්‍යාපනයක් ලද පිරිමියකු සමඟ විවාහ වූවත් අවසන ඔහුගේ උසස්වීම, දරුවන් බලා ගැනීම, නිවස පවත්වාගෙන යෑම, නැන්දා මාමා බලා ගැනීම වැනි කටයුතු වෙනුවෙන් ඊට ගැළපෙන සේ තමන්ගේ අභිලාසයන් යටපත් කොට ගෙන සීරුමාරු වී ඇත්තේ එම ගැහැනුන්ගේ ජීවිතයි. ඔවුහූ අනෙක් ඉහළ/ගුණවත් අධ්‍යාපනයක් නොලද ගැහැනුන් සේම චිත්ත පීඩාව, ඇතැම් විට ශාරීරික පීඩාවන්ට පවා ගොදුරු වෙමින් නම්බුව රකිමින්, පවුල පවත්වා ගනිමින් සතුටු මුහුණු මවා ගනිමින් වඩා අමාරු ගමනක යෙදෙති.

ඉතින් අප ගැහැනු දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමෙන් කරන්නේ දෑවැද්දකට හිලව් කිරීමක් නම්, එවැනි සාහසික බලාපොරුත්තුවක් යටතේ ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබා දීමෙන් අප කරන්නේ වඩා දැනුවත් වින්දිතයන් සැකසීමද? අපේ ගැහැනුන් නොදැන දුක් විඳිනවා වෙනුවට දැන් දැන ගෙන දුක් විඳින පිරිසක් කිරීමද? නමුත් එයින් අදහස් වෙන්නේ අප අපේ ගැහැනු දැරියන්ට අධ්‍යාපනය ලබා දීම නවත්වා දැමිය යුතු බව නොවේ.

අපේ දියණියන්, අපේ ගැහැනුන් නිසි ගුණවත් අධ්‍යාපනයකට යොමු කිරීමෙන් ඔවුන්ගේ කුසලතා දියුණු කිරීමෙන්, ඔවුන් නිවහල් මිනිසුන් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදි අප කළ යුත්තේ ඔවුන්ට හිංසනයට එරෙහිව තමන් යටපත් කරවීමට එරෙහිවීමේ වැදගත්කම එසේ කිරීමට ඔවුන්ට ඇති අයිතිය එසේ කිරීමේ නිවැරදි බව වටහා දීමයි. ලෝකය උඩු යටිකුරු වී හඬ නැඟුවත් තමන් මනුෂ්‍යයකු බව අමතක නොකිරීමට අපේ දැරියන්ට කියා දීමයි. අධ්‍යාපන සහතිකය දෑවැද්දට හිලව්වක් නොවන බව කියාදීමයි.

අමෙරිකාවේදි මට හමු වූ ඉන්දියානු ගැහැනියක් සිටියි. ඈ ඒ රටේ එක්තරා ක්‍රීඩා ක්ෂේත්‍රයක දක්ෂකම් පෑ කෙනෙකි. ඈගේ දස්කම් වෙනුවෙන් ඈට හිමිවෙන නිවස ඈට හිමිවෙන අනෙක් ප්‍රතිලාභ නිසා ඈ විවාහ කරගෙන ඉන්පසුව ඇගේ නිවස තුළම යටපත් කරගනිමින් පීඩාවට පත් කිරීමට ඇගේ සැමියාගේ පවුලේ අය පැකිලෙන්නේ නැත. නමුත් සංස්කෘතික බලපෑම, ගැහැනියට සමාජය විසින් නියම කොට ලබා දී ඇති අසරණ තැන නිසා ඈ සියල්ල දරා සිටියි. විශේෂයෙන්ම දකුණු ආසියාතික සංස්කෘතිය තුළ ඇති මේ අමානුෂික පුරුද්ද කඩා බිඳ දැමීමට ගැහැනිය/දැරිය දැනුවත් කිරීමෙන් ඈට අධ්‍යාපනය ලබා දීමෙන් කිරීමට හැකි බව මම තදින් විශ්වාස කරමි. ඒ සහතික ලබා ගන්නා ඈට ඒ සහතිකවල වටිනාකම දෑවැද්දට හිලව්වක් නොවන බව තේරුම් කිරීමෙනි. ඇගේ අයිතින් යටපත් කිරීමට කිසිවකුට ඉඩ නොදී නිර්භීත වීමට ඈට වැටහීමක් ඇති කරවමින් දිනෙක ඇගේ දරුවන්ට (පිරිමි හෝ ගැහැනු හෝ වේවා) මනුස්සකම ඉගැන්වීමේ වටිනාකම, කියා දීමේ වටිනාකම් ඈට වටහා දිය යුතුය. ඇගේ සැමියාට, ඔහුගෙ ඇගේ දෙමාපියන්ට පමණක් නොව ලෝකයටම ඈ මනුස්සයෙක් බව නොබියව ප්‍රකාශ කිරීමට ශක්තියත් ඈට ලබා දිය යුතුයි. එසේ කිරීමට අධ්‍යාපන සහතිකයක් හිමි කරගැනීම අත්‍යාවශ්‍ය නොවූවත් අධ්‍යාපන සහතිකයක් ලබා ගැනීම අර්ථදායි වන්නේ එයින් නියම ලෙස ප්‍රයෝජන ගැනීමක් ඈ කරන්නේ නම් පමණක් බව අවබෝධ කර දීම ගැහැනු ළමයකුට දෙන ගුණවත්ම අධ්‍යාපනයේ කොටසක් ලෙස මම දකිමි.

  හිමාලි එන්. ලියනගේ


නව අදහස දක්වන්න

Or log in with...