ගංගාවේ අයි­තිය | දිනමිණ

ගංගාවේ අයි­තිය

‘‘මොකද ටොම්සන් මහත්තයා මේ ගංවතුර ගැන හිතන්නේ... හරිම ඛේදවාචකයක් නේද?“ කියා උන්නැහේ ඇසුවේ මහ වැස්සේ කහට කෝප්පයක් බොමිනි.

‘‘ ඔව්... ඛේදවාචකයක් තමයි... අපි නම් මෙහේ මේ විදිහට කහට හරි බොනවා.. ඒ වුණාට රට පුරා කොයි තරම් ජනකායක් ඉන්න හිටින්න තැනක් නැතිව ගං වතුරට යට වෙලා ගෙවල් දොරවල් නැතිවෙලා කන්න දෙයක් නැතිව දුක් විඳිනවාද? මට නම් මතක් වෙන්නේ ඒ ගැන තමයි... කියා ඇම්බන් මහත්තයා ද කීවේය.

‘‘ ඒක ගැන නම් බොහොම කනගාටුයි තමයි. ඒ වුණාට මට හිතෙන්නේ මේක මේ ගංගාවලට නිදහසේ ගලා ගෙන යන්න තියෙන අයිතිය ගැන ප්‍රශ්නයක් කියලයි.... කියා ටොම්සන් මහත්තයා කිවේය.

‘‘ ඒ කියන්නේ ගංවතුර ගලන එක හරියි කියලද ටොම්සන් මහත්තයා කියන්නේ....? මං නං ඔහොම කතාවක් මේ ඇහුවාමයි...“ කියා උන්නැහේ කටට ගන්න ගිය කහට කෝප්පය ආපසු මේසය මත තැබුවේය.

‘‘ ඔව්... එහෙම තමයි... කවදාවත් අහලා නැති දේවල් අහන්න සිද්ද වෙයි... මේක නේ උන්නැහේ... දැන් ඔය අවුරුද්දකට සැරයක් පිටාර ගලන එක ගංගාවක අයිතියක් නේ.. මහ වැස්ස වහින එකත් මේ ස්වභාව ධර්මයේ අයිතියක් නේ... හොඳයි කියන්න බලන්න... ගිය අවුරුද්දේ මේ කාලේ මොකද වුණේ කියලා.. ඕනැ නම් ගිය අවුරුද්දේ පත්තර ටික අරන් බලන්න. ඊට කලින් අවුරුද්දේ පත්තර ටික අරන් බලන්න... ඒත් සිද්ද වෙලා තියෙන්නේ මේ ටිකමයි... ඒ නිසානේ ආපදා අමාත්‍යාංශයක්ම දැම්මේ.. ඒ කියන්නේ ආපදා කියන්නේ හැමදාම සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියන එක නේ... කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ බැලුවාම ටොම්සන් මහත්තයා කියන දෙයත් ඇත්ත තමයි...“ කියා උන්නැහේ කීවේය.

‘‘ ඇත්ත තමයි මං කියන්නේ... දැන් බලන්න ලෝකේ ශිෂ්ටාචාරය ඇති වුණේ කොහේද කියලා.. ගංගාවල් ආශ්‍රය කර ගෙන නේ.. ඒ කියන්නේ ඔය ඇමේසන්, ටයිග්‍රීස්, යුප්‍රටීස්, හොවැංහෝ, ගංගා, ජමුනා, නයිල් වගේ ගංගාවල් නිම්නවල නේ ඈත අතීත කාලේ ජනාවාස හැදුණේ. ඉතින් අවුරුද්දකට සැරයක් ඒවා පිටාර ගලනවා... එතකොට මිටියාවත් සරු සාර වෙනවා.. ඉතින් භව භෝග හොඳට සශ්‍රීකව හැදෙනවා. ජනයා බොහොම සතුටින් අස්වැන්න නෙලා ගෙන නැටුම් නටලා ප්‍රීති වෙනවා. ඒක නෙවෙයි ද සිද්ධ වුණේ.... ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ ඇත්ත තමයි... අපේ එහෙම බලාපුවාම අපේ රටෙත් එහෙම නේ... ඔය කැලණි, මහවැලි, කළු, වලවේ මහා ගංගා ආශ්‍රිතව නේ ජනාවාස ඇති වුණේ... ඉතින් ගංගාව මොනවා කරන්නද? අවුරුද්දකට සැරයක් වතුර පිරුණාම බොහොම අපූරුවට පිටාර ගලනවා... හැම තැනම වතුර ගලා ගෙන යනවා.. වැරැද්ද තියෙන්නේ ඒවාට මුහුණ දෙන්න බැරි විදිහට මිනිස්සු ජනාවාස හදා ගෙන තියෙන එක නේ... කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ එතකොට ඔය ගොඩනැගිලි පර්යේෂණ කියලා මොකක්ද සංවිධානයක් තියෙනවා නේ.. ඒ ගොල්ලෝ මොකක්ද කරන්නේ මේ ප්‍රශ්නෙට... කියා උන්නැහේ ඇසුවේය.

‘‘ ඒ ගොල්ලොද? ඒ ගොල්ලෝ ඉතින් වැහි කාලෙට, කඳු කඩා ගෙන වැටෙන්න කිට්ටු වෙන කොට, එහෙමත් නැතිනම් කඳු කඩා ගෙන වැටිලා ගෙවල් කැඩිලා විනාශ වෙන කොට ඔන්න අවදානම් කලාප කියලා රතු නිවේදන හෙම නිකුත් කරනවා. ඒවා නොකළොත් පඩි හම්බ වෙන්නේ නෑ නේ... මොකද? ඒ ගොල්ලන්ගේ රස්සාව ඒක නේ... කියා ටොම්සන් මහත්තයා සිනහසුණේය.

‘‘ ඒකත් එහෙම තමයි එහෙනම්... ඒ කියන්නේ ඒ ගෙවල් හදන්න ඉස්සෙල්ලා... ගොඩනැගිලි ඉදි කිරීමේ සැලසුම් අනුමත කරන්න ඉස්සෙල්ලා ඒවා සුදුසුද නැද්ද කියලා බලලා තහනම් කරන්නේ නැතිව වැස්ස කාලෙට ගෙවල්වලින් ඉවත් වෙන්න කියනවා... ඒ වගේ දෙයක් නේද?“ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘ එහෙම කිව්වාම ඒ ගොල්ලෝ බොහොම කලබල වෙයි... මං පොඩි උදාහරණයක් කියන්නම්... දැන් ඔය කැලණි ගඟ ගලා ගෙන යනවා නේ... කඩුවෙල පැත්තෙන්... එතකොට කඩුවෙල නගරය තියෙන්නේ ගංගාවේ මට්ටමේ පහත් බිමක... ඉතින් ගංගාව බොහොම සන්තෝසෙන් පිටාර ගලා ගෙන යනකොට කඩුවෙල නගරයේ සියලු ගොඩනැගිලි අඩි ගානක් උසට වතුරින් යට වෙන එක දැන්වීම් ගහලා හරි, රතු නිවේදන නිකුත් කරලා හරි නවත්තන්න පුළුවන්ද? එකම විසඳුම කඩුවෙල උස් බිමක පිහිටවන එක... ඒක කරලා නෑ... එතන නේ ප්‍රශ්නේ... කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ එතකොට ටොම්සන් මහත්තයා කියන්නේ ගංවතුරේ වැරැද්දක් නෑ කියන එකද? කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘ වැරැද්දක් නෑ නේන්නම්... පිටාර ගලන එක ගංගාවකට තියෙන අයිතියක් නේ... නැතිනම් ගංගාවකින් ඇති වැඩේ මොකක්ද? තමන්ගේ ගෙවල් දොරවල් ඒ පිටාර වතුර ගලා ගෙන යන්න බාධාවක් නොවෙන විදිහට හදා ගන්න එකත්, තමන්ගේ ගෙවල් දොරවල් ඒ පිටාර වතුරින් යට නොවෙන විදිහට හදා ගන්න එකත් ජනයාගේ වගකිමක්.. ඒ වුණාට දැන් සිද්ද වෙන්නේ ඕනැ තැනක, තමන්ට ඕනැ විදිහකට ගෙවල් දොරවල් හදා ගන්න එක ජනතාවගේ අයිතියක් කියලා වැඩ කරන එක නේ.. ඉතින් ගංගාවල් පිටාර ගැලුවාම දෙයියන්ගේ පිහිට විතරයි... කියා ටොම්සන් මහත්තයා හුන් තැනින් නැඟිට මිදුලට ගියේ වැස්ස වහින හැටි බලන්නටය.

බන්දුල පී දයා­රත්න


නව අදහස දක්වන්න

Or log in with...