අජිත් තිල­ක­සේනගේ ‘වතුර’ උසස් පෙළට පත්ති­යන් නැද්ද...? | දිනමිණ

අජිත් තිල­ක­සේනගේ ‘වතුර’ උසස් පෙළට පත්ති­යන් නැද්ද...?

ලංකාවෙ ලේඛකයන්ටයි ලේඛන කලාවටයි නරක කාලයක් උදා වෙලා තියෙන බවයි දැන් දැන් අහන්න ලැබෙන ප්‍රවෘත්තිවලින් පෙන්නුම් කරන්නෙ. කර්තෘභාග බද්දක් පනවල ලේඛකයන්ව දඬු කඳේ ගහන්න කටයුතු කරපු අල්ලපනල්ලෙම වාරණයකුත් කඩාපාත් වෙලා.

තහංචිය ගැන කතාව මේකයි. උසස් පෙළ සිසුන් සඳහා නිර්දේශ වුණු අලුත් කෙටිකතා සංග්‍රහයට මේ වතාවෙ ලේඛකයන් 16 දෙනකුගේ කතා ඇතුළත් වුණා. මෙපමණ කාලයක් උසස් පෙළ කෙටිකතා සංග‍්‍රහවලින් පිටමං කරල හිටපු ලංකාවේ අති දක්‍ෂතම කෙටිකතාකරුවන් කීපදෙනෙක්ද අලුත් පොතට ඇතුළත් කර තිබීම ගැන ලේඛකයන් හැටියට අපි කවුරුත් සතුටු වුණා. ඒ අය අතර හිටපු විශිෂ්ට කෙටිකතාකරුවෙක් තමා අජිත් තිලකසේන. මෙපමණ කාලයක් අජිත්ගේ කෙටිකතා උසස් පෙළ සංග්‍රහයෙන් පිටමං කර තිබුණේ භාෂා භාවිතය වගේ ඒ තරම් වැදගැම්මකට නැති ප්‍රශ්න අල්ලගෙන.

කොහොම වුණත් පහුගිය කාලය පුරාම ලේඛකයන්ද ඇතුළු වෙනත් විද්වත් කණ්ඩායම් විසින් කෙරුණු කරුණු දැක්වීම්වල ප්‍රතිඵලයක් හැටියට අජිත් තිලකසේනයන්ගෙ ‘වන්දනාව’ කෙටිකතා සංග්‍රහයෙ එන ‘වතුර’ කියන කෙටිකතාව උසස් පෙළ කෙටිකතා සංග්‍රහයට ඇතුළු කරගෙන තිබුණා. දැන් ලැබෙන ආරංචි තමා ‘වතුර’ කෙටිකතාව උසස් පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවාය කියන පුවත. ‘වතුර’ කතාවද ඇතුළත් කෙටිකතා 16කින් සමන්විත කෙටිකතා සංග්‍රහය උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා නිර්දේශ වෙලා තිබුණේ 2017 වසරේ සිටයි. ඇත්තටම කියනවා නම් මේ වෙනකොට ප්‍රධාන ප්‍රකාශන ආයතන කිහිපයක්ම මෙම කතාව ඇතුළත් කෙටිකතා සංග්‍රහයක් මුද්‍රණය කර බෙදා හැරලත් හමාරයි. එහෙම වුණත් සාමාන්‍යයෙන් හැමදාම කෙරෙන්නා වගේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ පොත පාසල් දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන්න සූදානම් වුණේ මේ ඊයෙ පෙරේදයි. ආරංචිවල හැටියට ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ‘වතුර’ කෙටිකතාව ඉවත් කරන ලෙස දැනුම් දී තිබෙන්නේ අන්න ඒ අවස්ථාවෙයි.

කොහොම වුණත් මේ ප්‍රශ්නය දැන් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ලොකු ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. අජිත් තිලකසේනගේ ‘වතුර’ කෙටිකතාව උසස් පෙළ කෙටිකතා සංග්‍රහයෙන් ඉවත් කිරීමට හේතුව වශයෙන් වාර්තා වෙන්නේ එහි උසස් පෙළ සිසුන්ට නොගැළපෙන වගන්ති කීපයක් අඩංගු වී තිබෙන නිසා බවයි. අධ්‍යාපන බලධාරීන් ත්‍රාසයෙන් හා භීතියෙන් ඇළලී ගිය ඒ වගන්ති කීපය ලෙස හැඳින්වෙන්නේ ‘වතුර’ කෙටි කතාවේ ඇතුළත් මෙන්න මේ වගන්ති තුන හතරයි.

”හිත් හෝදිසියෙන් ඉඳගත්තු හින්දා ඔහුට කිසිවක් පෙරලෙන හඬක්ද ගැහැනියකගේ රහස් කෙඳිරියක් හා මුමුුුංකාරයක්ද වසා තිබුණු කවුළු පලු අස්සෙන් ඇහුණා. වත්ත පහල පස් හැවිරිදි පමණ වියේ දැරිවියක් පිනි ජම්බු ගහ අවට ගැවසෙනවාත් පිනි ජම්බු අහුලනවාත් ඔහුට පෙනුණා. ඔහු කකුලක් බැම්ම උඩට ගෙන ඇතුළතින් ආපු කටඅඬේත් සද්ද බද්දවලත් නිමිති ගෙන සිටියා. දෙවනුව දැරිවිය දෙස ඕනෑකමින් බැලූවා. ඈ සිමියොන්ලෑ වැඩිමල් එකී බව ඔහු ඉක්මනින් අඳුනාගත්තා. එකත් එකට අද ඔවුන්ගේ ගෙදර පේරුදානය වෙන්න ඇති. ළමයි දෙන්නෙක් උන්නත් සිමියොන්ගේ බිරින්දෑ තවම ගිනි කිකිලි වගේ.”

මෙන්න මේ පුංචි ඡේදයේ අඩංගු සිද්ධියෙන් තමා උසස් පෙළ ළමයි නරක් වෙයි කියල අධ්‍යාපන බලධාරීන් හදිසියෙම භීතියට පත් වෙලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් උසස් පෙළ සඳහා කතා තෝරන්නෙ උපදේශන මණ්ඩලයක් මගින්. අධ්‍යාපනඥයන්, මහාචාර්යවරුන් වැනි වියතුන්ගෙන් සමන්විත ඒ මණ්ඩලය විසින් නිර්දේශය කෙරුණු කතාවක් කතා සංග්‍රහයෙන් ඉවත් කරන්න බලධාරීන්ට තියෙන සදාචාරමය අයිතිය මොකක්ද කියන ප්‍රශ්නය මුලින්ම පැන නඟිනවා. තවත් කාරණයක් තමා අජිත් තිලකසේන කියන්නෙ ලංකාවෙ සිටින අති විශිෂ්ට ලේඛකයෙක්. ඒ වගේම ජීවිතයේ සැඳෑභාගයේ පසුවන වියත් පඬිරුවනක්. ඔහුගේ කිසිඳු අනුදැනුමකින් තොරව (අධ්‍යාපන බලධාරීන් පුරුද්දක් හැටියට සෙසු ලේඛකයන්ගෙනුත් කැමැත්ත විමසන්නේ නැහැ.) ‘වතුර’ කතාව තෝරාගෙන පසුව ඔහුට කිසිම දැනුම්දීමක් නොකරම එය ඉවත් කිරීමට තරම් අධ්‍යාපන බලධාරීන් බලපුළුවන්කාරයන් වුණේ කොහොමද කියන ප්‍රශ්නය රටේ ලේඛක ප්‍රජාව අතර මේ වන විට දැඩි කතාබහකට ලක් වී තිබෙනවා. මෙවැනි අමනෝඥ වැඩ මගින් අජිත් තිලකසේන වැනි ජ්‍යෙෂ්ඨ ලේඛකයකුට සිදුවන අවමානය හා සිත්තැවුල ගැන මොවුන් අබමල් රේණුවක තරමින්වත් තකන්නේ නැති බවත් මින් පැහැදිලි වෙනවා.

අජිත් තිලකසේනගේ ‘වතුර’ කෙටිකතාව උසස්පෙළ කතා සංග්‍රහයෙන් කපා හැරීමට අධ්‍යාපන බලධාරීන් ගත් තීරණය අජිත් තිලකසේන ද ඇතුළු සමස්ත ලේඛක ප්‍රජාවටම එල්ල කල කම්මුල්පාරක් හැටියටයි ලේඛකයන් දකින්නේ. එසේම ලාංකික ලේඛකයාගේ ලේඛනයේ නිදහස වාරණයට ලක් කිරීමට දැරූ නිර්ලජ්ජිත ප්‍රයත්නයක් හැටියටත් ඔවුන් මෙය හඳුන්වනවා. දැනටමත් මේ තීරණයට එරෙහිව ලාංකික ලේඛකයන් පෙළ ගැසෙමින් සිටින බව දැන ගන්නට ලැබුණා. විශේෂයෙන්ම උසස් පෙළ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ව තිබෙන කතා කිහිපයකම කතුවරුන් තමන්ගේ ලිඛිත විරෝධය ජාතික අධ්‍යාපන ආයතනය වෙත පළ කර ඇති බවත් ආරංචියි.

හුදු විරෝධය පෑමකින් තොරව අසභ්‍ය සාහිත්‍ය යනු කුමක්ද...? බෞද්ධ සාහිත්‍යයේ හෝ දේශීය සම්භාව්‍ය සාහිත්‍යයේ ලිංගිකත්වය හෝ ශුංගාරත්වය පසුබිම් කරගෙන ලියවුණු අවස්ථා මොනවාද... ‘වතුර’ කතාවේ ඇතුළත් වගන්ති කිහිපය නිසා සිසුන් නොමඟ යයිද... ආදී කරුණු කාරණා පිළිබඳව සංවාදයකටද එම ලිපි මගින් මුල පුරා තිබීම වැදගත්. මේ ලියුම්කරුද නියෝජනය කරන ලංකා ලේඛක සංවිධානය කරන ලද මැදිහත්වීමක ප්‍රතිඵල වශයෙන් මේ වන විට මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ප්‍රවීණ හා සම්මානනීය ලේඛකයන් වන ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ හා නිශ්ශංක විජේමාන්න යන ලේඛකයන් සිව්දෙනා ජාතික අධ්‍යාපන ආයතනය වෙත ලිපි යොමු කර තිබෙන බව සැලයි.

සිය ලිපි මගින් ඔවුන් කරුණු කිහිපයක් අවධාරණයට ලක් කර තිබෙනවා. අජිත් තිලකසේනගේ ‘වතුර’ කෙටිකතාව උසස් පෙළ කෙටිකතා සංග්‍රහයෙන් ඉවත් කරන්නේ නම් ඊට විරෝධය පළ කිරීමක් වශයෙන් තමන්ගේ කෙටි කතාද එම සංග්‍රහයෙන් ඉවත් කරගන්නා බවයි ඔවුන් සිව්දෙනාම එක හඬින් ප්‍රකාශ කර තිබෙන්නේ. අසභ්‍ය හෝ වෙනත් ලේබලයක් යටතේ ‘වතුර’ කෙටිකතාව උසස් පෙළ සිසුන්ට හැදෑරීමට අනුචිත නම් ජාතක කතා සංග්‍රහයේ එන ‘නලිනිජාතකය’ වැනි කතාද ජාතක පොතින් ඉවත් කිරීමට සිදු වනවා නොවේද...? එම ප්‍රශ්නය බඳු ප්‍රශ්න කිහිපයක්ම අද හෙටම ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත එම ලිපි මගින් ඔවුන් පෙන්වා දෙනවා.

මේ කරුණු සියල්ල ගැඹුරින් විමසා බලන විට පෙනී යන්නේ උසස් පෙළ සිසුන් මොන්ටිසෝරි බබාලා ලෙස සිතා සිටින අපේ රටේ අධ්‍යාපන බලධාරීන්ට නැවත මොන්ටිසෝරියේ සිටම පාඩම් කියා දීමට සිදු වී තිබෙන බව නොවේද?

කමල් පෙරේරා

නව අදහස දක්වන්න