යුද හමුදාවෙන් තවදුරටත් මූදාගැනීම් සහ සහන මෙහෙයුම් | දිනමිණ

යුද හමුදාවෙන් තවදුරටත් මූදාගැනීම් සහ සහන මෙහෙයුම්

විපතට පත්වී ඇති ජනතාව ආපදා තත්ත්වයන්ගෙන් මුදාගැනීමේ කටයුතු සහ ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් කටයුතු වල නියැළීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් සිය ගණනක් යොදවා ඇත.

ඒ අනුව, 582 වන බලසේනාවේ භට පිරිස් හොරණ, වගාවත්ත ප්‍රදේශයේ ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියළී සිටින අතර, එම ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් නිවසක පැවැති දානමය පිංකමක් සඳහා මහා සංඝරත්නය වැඩම කරවීමට ජලයේ වූවද ධාවනය කළ හැකි WMZ වර්ගයේ සන්නද්ධ රථයකින් ප්‍රවාහන පහසුකම් සැලසීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් නිකවැරටිය, රස්නායකපුර සහ පොල්ගහවෙල ප්‍රදේශයන්හි විපතට පත්වූ ජනතාව මූදාගැනීමේ මෙහෙයුම්, ප්‍රදේශයේ බලධාරීන්ගේ සහයෝගය ඇතිව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.

රස්නායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ හානියටපත් නිවාස කිහිපයක ජනතාව මුදාගැනීමෙන් අනතුරුව, ප්‍රදේශයේ පිහිටි ප්‍රජා මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් ලබාදී අහාර පාන මෙන්ම ළමුන් සඳහා නිදන මේට්ට අදීය ලබාදීමට ද කටයුතු කරන ලදි.

නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි උඩුනෝව වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් භූමි ප්‍රදේශයන් වෙත ජලය කාන්දුවෙන ස්ථානයන්හි වැලි කොට්ට ඇතිරීම සඳහා 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 16 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් යොදවන ලදි.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කුරුණෑගල, නුවර, බදුල්ල, නුවරඑලිය, කෑගල්ල, කොළඹ, මොනරාගල, පොළොන්නරුව, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ජනතාව මූදාගැනීම සඳහා බදාදා (23) දින සන්ධ්‍යාව වන විට යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් යොදවා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව හදිසි ආපදා තත්ත්වයක් ඇති වූවහොත් යෙදවීමට යුද්ධ හමුදා සාමාජිකයින් 5000 ක පමණ ප්‍රමාණයක් සුදානම් කර ඇත.

නව අදහස දක්වන්න