ආපදා ප්‍රදේශයන්හි විනෝද කටයුතු එපා | දිනමිණ

ආපදා ප්‍රදේශයන්හි විනෝද කටයුතු එපා

අනුර ප්‍රේමලාල්
සමන්මලී ප්‍රියශාන්ති
මහින්ද අලුත්ගෙදර
රක්ෂණ ශ්‍රියන්ත

ඇඳහැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්ව තිබෙන ප්‍රදේශයන්හි විනෝද කටයුතුවල නිරත නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැඩි ලෙස අවවාද කරයි. ජල ගැලීම් සිදුව තිබෙන ස්ථානයන්හි සෙල්ෆි ඡායාරූප ගැනීම, ජල ක්‍රීඩාවල නිරතවීම, එවැනි ස්ථාන නැරැඹීමට යාම, මත්පැන් පානය කොට එම ස්ථාන වෙත යාම ආදියෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.

දින කිහිපයක සිට ශ්‍රී ලංකාවට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 158 කට පමණ බලපෑම් එල්ල වී තිබෙන අතර, ඒ හේතුවෙන් මේ වනවිට පවුල් 32, 517 කට අයත් පුද්ගලයන් 127, 913 දෙනකු පීඩාවට පත්ව තිබෙන බව ද ඒ මහතා පවසයි. ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් අනුව සහන කටයුතු කඩිනමින් සිදුකිරීමට රජය පියවර ගෙන තිබෙන අතර, ඒ වෙනුවෙන් යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ ද සහාය ලබාගෙන ඇත. මේ වනවිට පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇති අතර, එක් පුද්ගලයකු අතුරුදන්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට පීඩාවට පත්ව සිටින ජනතාව අතරින් තාවකාලික ආරක්ෂක මධ්‍යස්ථාවල සිටින ජනතාවට මෙන්ම සිය ඥාති නිවාසවල සිටින පීඩාවට පත්ව සිටින ජනතාවට ද එක හා සමාන ලෙස සහනාධාර පිරිනමන ලෙස සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට ප්‍රධාන ගංඟා ආශ්‍රිත බොහෝ ජලමිනුම් ස්ථානවල ජලමට්ටම සාමාන්‍ය තත්ත්වයක පවතින බව පෙන්වා දුන් බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංඟා කිහිපයක පැවැති ගංවතුර මට්ටම පහත ගොස් තිබෙන බව ද කැලණි ගඟේ ඇල්ලගාව, මිල්ලකන්ද සහ පුටුපවුල ප්‍රදේශවල පමණක් ගංවතුර තත්ත්වයක් පවතින බව ද පෙන්වා දුන්නේය.

මේ අතර අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් පවතින බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නායයාම්, පස්කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් පිළිබඳ දක්වා ඇති නිවේදනය තව දුරටත් ක්‍රියාත්මක වන බව ද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කහවත්ත, කලවාන, කිරිඇල්ල, කොළොන්න, නිවිතගල, පැල්මඩුල්ල, බලංගොඩ, ගොඩකවෙල, ඉඹුල්පේ, ඕපනායක සහ වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, කෑගල්ල, යටියන්තොට සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළේ, ගඟ ඉහළ කෝරළේ, උඩපළාත, දොලුව සහ දෙල්තොට ප්‍රදේශවලට නායයාම් අනතුරු ඇගවීම් බලපැවැත්වෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පුත්තලම දිස්ත්‍රික්කයට ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව වැවේ වාන් දොරටු 20 ම විවෘත කෙරුණු අතර, මේ හේතුවෙන් තබ්බෝව අංක 01 තම්බපණ්ණි ගම්මානය මුළුමනින්ම ජලයෙන් යටව තිබේ.

ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන අතර, ශ්‍රී ලංකාව හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 දක්වා තරමක් තද සුළං ද ඇති විය හැක. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100-150 ක පමණ තදවැසි ඇති විය හැක. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


නව අදහස දක්වන්න

Or log in with...