ආපදා සහන දෙන්න ලක්ෂ 338ක් | දිනමිණ

ආපදා සහන දෙන්න ලක්ෂ 338ක්

රක්ෂණ ශ්‍රියන්ත

වන්දි අත්තිකාරම්වලට තවත් ලක්ෂ 353ක්

ගංවතුර සහ නායයෑම්වලින් අවතැන් වූ සහ ආපදාවලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීමට මේ වනවිට රජය රුපියල් ලක්ෂ 338.56ක් වෙන්කර ඇති බවත් එම පුද්ගලයන්ගේ හානියට පත් වූ නිවාස සහ දේපළ තක්සේරුකර වන්දි මුදල් ගෙවන තෙක් රුපියල් දසදහස බැගින් වූ අත්තිකාරම් ගෙවීමට තවත් රුපියල් ලක්ෂ 353ක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදුන් බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

ගංවතුර සහ නායයෑම්වලින් මේවනවිට පවුල් 35129ක පුද්ගලයන් 138292ක් අවතැන්ව සිටින බවත් එම අමාත්‍යාංශය පවසයි.

දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 158ක පවුල් 35,129ක පුද්ගලයන් 138,292 මේ ආපදා තත්ත්වයට ලක්ව අැති බවත් මේ වනවිට ආපදාවලින් පුද්ගල මරණ 16ක් වාර්තා වන අතර එක් අයකු අතුරුදන්ව ඇතැයි එම අමාත්‍යාංශයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ආපදාවලින් අවතැන් වූ පවුල් 13199ක පුද්ගලයන් 53616ක් සිටින බවත් ඔවුනට අවශ්‍ය පිසූ ආහාර හා සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ද ලබාදෙන බවත් අමාත්‍යංශය පවසයි.

රක්ෂණ බාර අරමුදලින් නිවාස සහ දේපළ හානි තක්සේරුකර මුදල් ගෙවනතෙක් රුපියල් දසදහස බැගින් වූ අත්තිකාරම් ගෙවීමට රුපියල් ලක්ෂ 353ක් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදී ඇතැයි ද කීය.

අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක පහකට නිකුත් කර ඇති රතු නිවේදන තව දුරටත් බල පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවද අත්තනගලු ඔය ජල මට්ටම ඊයේ (25) සවස් වන විට ඉහළ ගොස් ඇති අතර, සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇති නොවන බව ඔවුහු කියති. ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට ක්ෂණිකවම සහන සැලසීම සඳහා යුද හමුදාවේ 6000ක පිරිසක් ස්ථානගත කර ඇති අතර, නාවික හමුදාවේ බෝට්ටු 201ක් යොදා තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...