දකුණේ පාසල් 50 කට හානි | දිනමිණ

දකුණේ පාසල් 50 කට හානි

කාලගුණය නැවත ශ්‍රීලාංකිකයින්ගේ ජන ජීවිතයට තර්ජනයයක් වී ඇත. හරියටම මීට වසර ට පමණ පෙර ජීවිත ගණනාවක් බිලි ගනිමින් සිදු කළ මහ විපත තරම්ම නොවුණ ද කාලගුණයේ මේ සරදම අද වන විට ශ්‍රී ලාංකීය ජනතාවට අදුරු සෙවනැල්ලක් වී ඇත. නාය යෑම, පස් කදු කඩා වැටීම, ජල ගැලීම් මේ වන විට වසරක් පාසා මේ පුංචි දිවයින ආක්‍රමණය කරන්නේ බොහෝ දෙනෙකුගේ සබ්බ සකල මනාවම උදුරාගෙන යමිනි.

පසුගිය වසරේ මැයි මස පැමිණි මහා ගංවතුර දකුණේ ජීවිත 53 ක් බිලිගෙන පවුල් 75,000 ක පමණ සාමාජිකයින් ලක්ෂ 3 කට ආසන්න පිරිසක් අවතැන් කරවීය. දකුණේ පාසල් 50 ක් පමණ මෙයින් හානියට පත්විය. පුර්ණ නිවාස හානි 1300 ක් පමණ වාර්තා වු මෙම ජලගැල්මෙන් අර්ධ නිවාස හානි 4500 ක් පමණ වාර්තා විය. ඒ සමඟම ජනපතිට දකුණේ සංචාර වල නිරත විය. වහා ගංවතුරට පිලියම් සෙවිය යුතු බවට කතිකා පැවැත්විණී. මැති ඇමතිවරුන් සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. ජුනි මැද පමණ වන විට වර්ෂාව තුරන් විය. සැමට සියල්ල අමතක විය.

වසරක් පාසා මෙසේ පැමිණෙන ජලගැලීම් වලට හා ආපදාවන්ට මුහුණ දීමට අපේ රටේ ආර්ථිකය සවිමත් නැත. වැසි කාලයට වදුරන් ගෙවල් හදන්න කතා කරනවා වාගේ ජලගැලීම ඇතිවන අවස්ථාවේ පමණක් මේ සදහා විසදුම් අනත්තවත් ඉදිපත් වේ. කෙසේ නමුත් ජලය බැස ගිය පසු මේ සියළු සැලසුම් වගකිව යුත්තන්ට අමතක වෙන්නේ අධිවේගයෙනි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජල ගැල්ම අවස්ථාවේ දකුණට පැමිණි අවස්ථාවේ දී ගාල්ල මාතර වාරිමාර්ග ඉංජිනේරු ලසන්ත සුරියබණ්ඩාර මහතා පැවසුවේ මහ ගංවතුරක් එන්නේ වසර 30 -40 කට සැරයක් බවත් ඒ කියන්නේ පරම්පාරා දෙකක් බවත්. එම නිසා ඒ අයට මතක නෑ හෝ දන්නේ කලින් පරම්පාරවට වුන දේ. එහෙම අය අනවසර තැන් වලින් අයින් කරන්න ගියාම අයින් වෙන්න වෙන්නේ ඒ අයට නොවේ අපිට බවයි.

කතාව ඇත්තය. සෑම තැනම අනවසර ඉදිකිරීම්ය. පළාත් පාලන ආයතන වලින් හෝ කිසිදු තැනකින් අවසරයක් නොගෙන ඉදිකරන ඉදිකිරීම් මේ ජලගැල්මට ප්‍රධාන හේතුවක් වන්නේය. මේ රූටා වැටෙන් මහා ගංවතුර භාර ගැනීමට අද මහ පොලොවේ මහා රෑස්ස ගස් ඇත්තේ නැත.

එදා ජල ගැල්ම සිදු වු අවස්ථාවේ දීම කතා කල ගිං ගඟ යෝජනා ක්‍රමය, නිල්වලා යෝජනා ක්‍රමය ගැන සියළු කතා මාසයක් දෙකක් පහුවෙන කොට අමතකය.

ජනපති මෛත්‍රී දකුණට පැමිණි අවස්ථාවේ ඇමැති වජිර අබේවර්ධන සවර ගානක් පැරණි යෝජනා ක්‍රමයක් ගැන කීවේය.

ගිං ගඟ හා කලු ගඟ මොනරාගල දිස්ත්‍රික්කය දක්වා ඩයිවර්ට් කරන්න හදපු මාස්ටර් ප්ලෑන් එක තමයි ඔය ඇමතිතුමා කිව්වේ. ඒ අනුව මේ ගංගා තුන ට වෙනම විශාල ජලාශ හදලා මේ ගංවතුර ලස්සනට පාලනය කරන්න හදපු මාස්ටර් ප්ලෑන් එක තමයි ඔය. ඕක දැන් පුංචි වෙලා පුංචි වෙලා දැන් තත්වයට ඇවිල්ලා. ඒක පුංචි වෙන්න හේතුව මේකේ තියෙන තාක්ෂණික කාරණා නෙවෙයි. ජනතාව ඒ තැන් වලින් අයින් කරන්න බැරි වීමයි. දැන් යොජනා වෙලා තියෙන ජලාශවලින් මේ අවශ්‍ය කාරණා ඉටු වන්නේ නෑ. හේතුව තමයි මේ ජලාශ හදන්න හදපු ප්‍ර දේශවලින් ජනතාව ඉවත් කරන්න බැරි වීම තුල ජලාශ පුංචි කරලා තියෙනවා. මේ පුංචි ජලාශ වලින් ගංවතුරක් පාලනය කරන්න බෑ.

යම් වතුර ප්‍රමාණයක් ප්‍ර යෝජනයට ගන්න පුළුවන්. නමුත් විශාල ජලාශ නැතිව ගංවතුර පාලනය කරන්න බෑ. සිංහරාජය ලෝක උරුමයක් ඒක නිසා අපිට ඒකේ අඟලක්වත් යට කරන්න බෑ. එතකොට ඊට වුට්ටක් පහලට ගත්ත ගමන් ගෙවල් යට වෙනවා. දෙපැත්තටම ගන්න බැරි නිසා ඒ අතර මැද තියෙන චුටි ජලාශයකට සීමා කරන්න වෙලා. වෙන විකල්පයක් නැති නිසා එහෙම කරේ. පසුගිය අවුරුදු 05 තුලම මේ ගැන කියන්න දැනුවත් කරන්න තවලම ප්‍ර දේශයට ගිහින් තියෙනවා. නමුත් ආවේ ආමාරුවෙන්. ඒ තරම් විරෝධතා තියෙනවා. නමුත් අපිට රටක් හැටියට මේ වතුර සතුරෙක් හැටියට නොදැක සම්පතක් හැටියට දැකිය යුතුයි. අද මේ පැත්තේ වතුරෙන් විනාශ වුනාට උඩවලව පිරිලා නෑ. මේ වතුර කෙහොන් හරි ප්‍ර යෝජනයට ගත යුතුයි.

කෙහෙන් හරි මේ අවබෝධය පැමිණිය යුතුයි', මේ පසුගිය වසරේ ජලගැල්ම අවස්ථාවේ ගාල්ල මාතර වාරිමාර්ග ඉංජිනේරු ලසන්ත සුරියබණ්ඩාර මහතා පැවසු දේවල්ය. කණගාටුවට කාරණය නම් තත්වය අදටත් එසේමය. ගාල්ල, මාතරට මහ ගංවතුරක් තිබුණ ද පසුගිය වසරේ දී මෙන්ම මේ වසරේ දීත් හම්බන්තොට වැව් සියල්ල පිරී නැත. අවශ්‍ය වන්නේ මෙන්න මේ විසදුම්ය. ජනතාව අයින් කරන්නට අමාරුයි. උද්ඝෝෂණ ඇතිවෙනවා. කියන කතා අදට දැන් ගැලපෙන්නේම නැත. දැන් නම් වැඩේ කල යුතුමය. දක්ෂිණ අධිවේගී මාර්ග හැදීමට තීරණ ගැනීමට පුළුවන් වුවා නම් ගිං නිල්වාලා යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට තීරණය ගැනීම අපහසු නොවනු ඇත. ඒ සදහා ගාල්ලේ වතුර දෙන්න බෑ, මාතර වතුර දෙන්න බෑ කියන ආත්මාර්ථය තවදුරටත් වලංගු වන්නේ නැත. එසේ වුවහොත් හැමදාම වන්නේ ගාල්ල , මාතර ට ජල ගැල්මෙන් පීඩා විදින්නටමය.

මෙවර ද මේ වන විට දකුණේ පවුල් 326 ක සාමාජිකයින් 1327 ක් පීඩාවට පත් වී ඇත. එක් මරණයක් ද වාර්තා වී ඇත. තවත් දිනක් දෙකක් යන විට මේ සදහා ආධාර ලැබෙනු ඇත. නැති වු ජීවිතයට වන්දියකුත් ලැබෙනු ඇත. ඒ එසේ වුවද ප්‍රශ්නය එතනමය.

එක ඕසෙට ඇද හැලෙන මේ ජල කද උරා ගන්නට අද මහ පොලවේ තුරු වියන් අද නැත. මහා කෑලෑවන් ද නැත. තිබෙන්නේ කොන්ක්‍රීට් තට්ටු පමණි. ජලකද පෙලොවට වැටී පස් තට්ටුවම පෙරලා ගනිමින් මුහුදට ඇදෙන්නේ මේ නිසාය. මිනිසාගේ ම ක්‍රියා කාරකම් නිසා මේ බොහෝ දේ සිදු වී ඇත. වසරක් පසා වෙසක් පෝයක් නත්තලක් එනවා සේ ගංවතුරක් පිළිගැනීමට දැන් දැන් ලාංකීය ජනතාව සිදුව තිබේ.

මේ සදහා ස්ථිර විසදුම් සෙවීමට දැන් හෝ පරක්කු නැත. ගං වතුර ඇතිවු විට බෝට්ටු යවා, පිසු ආහාර ලබා දී, ආරක්ෂිත් ස්ථාන වලට රැගෙන ගියා, අපි මෙතරම් මුදල් වියදම් කරා කී පමණයින් මේ ප්‍රශ්නයට දීර්ඝකාලීන් විසදුමක් ඇති වන්නේ නැත. බොහෝ නගර ආශ්‍රිතව ගංවතුර පාලනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී ඇත. කෙසේ නමුත් කාගේ හෝ අවශ්‍යතාවයක් නිසා ඒවා ක්‍රියාත්මක වන්නේ නැත. මෙවර ගංවතුරත් තවත් එක ගංවතුරක් නොකර වදුරන්ගේ නිවාස හැදීමේ පන්නයේ සකච්ඡා නවතා දමා ස්ථිර විසදුමකට යෑම සදහා හොදම කාලය වන්නේය. එසේ නොමැති වුවහොත් සැමදාම ඉන්දියන් සාගරයේ මුතු ඇටයට හිමිවන්නේ වහින කොට ගං වතුරත් පායන කොට නියඟක් පමණි.

ඉමදුව සමුහ - ලංකින්ද නානායක්කාර


නව අදහස දක්වන්න

Or log in with...