කෙතට දැනෙන කාලගුණය | දිනමිණ

කෙතට දැනෙන කාලගුණය

 කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වැවිලි කීපයක් පුනරුත්ථාපනය කරගත යුතුව තිබෙන බව 2017 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පසක් කර දී තිබේ.

මේ අනුව වී වගාව, අර්තාපල්, ලොකු ලූනු සහ වියළි මිරිස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගා සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. මෙරට කෘෂිකර්මය දියුණු කිරීමට අදාළ පියවර ගැනීමට පසුගිය දෙසතිය තිස්සේ ආණ්ඩුව උත්සුක විය.

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය, දිළිඳු බව පිටුදැකීමේ වැඩපිළිවෙළට අමතරව ආහාර බෝග වගා නිෂ්පාදනය වැඩිකිරීම, කෘෂි අපනයන නිෂ්පාදන ඉහළ නැංවීම, ලොකු ලූනු හා අර්තාපල් වගා කරන ගොවීනට සහන සැලසීම, බීජ මාෆියාව ගැන කරුණු සොයා බැලීම, දේශීය බීජ නිෂ්පාදනයට විදේශීය සහාය ලබාගැනීම යන කටයුතු ප්‍රතිසංවිධානය කිරීම මගින් කෘෂි ක්ෂේත්‍රය රෙපෙයාර් කිරීම දැන් ඇරැඹී තිබේ. නව කෘෂිකර්ම ඇමැතිවරයා ද දැනටම මේ ගැන ගොවි ජනතාවට ප්‍රතිඥා දී තිබේ.

2018 අයවැය යෝජනා මගින් ද කෘෂිකර්මය නංවාලීමට තුඩුදෙන යෝජනා රාශියක් ඉදිරිපත් කරන ලදී. කෘෂිකාර්මික ක්‍රියාකාරකම්හිදී දියුණු තාක්ෂණය භාවිතා කළ හැකිවන අයුරින් හරිතාගාර තාක්ෂණය ක්‍රියාත්මක කිරීමට බදු සහන ලබාදීම, කාලගුණය පදනම් කරගත් කෘෂි රක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම, නීල හරිත ආර්ථික වැඩසටහන සකස් කිරීම සහ කෘෂිකර්ම අංශයේ තරුණ සහභාගිත්වය පුළුල් කිරීමේ කටයුතු නැංවීම එබදු පියවර කීයකි.

රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව අයහපත් කාලගුණික තත්ත්වයකි. ලෝක කාලගුණික රටාවේ වෙ‍නස්වීම වත්මන් කෘෂිකර්මාන්තය ඉදිරියේ ඇති ප්‍රබලම තර්ජනයයි. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ. දකුණු ආසියානු සහ පැසිපික් කලාපීය රටවල කෘෂි සහ ආර්ථික, වැවිලි කාලගුණික සහ ස්වභාවික විපත්වලට ගොදුරුවීම එම රටවල ආහාර සුරක්ෂිතභාවය අඩුකර ආහාර ආනයනය වැඩිකරන තැනට වැඩ කටයුතු සිදුකොට ඇත. එමගින් ආර්ථිකය දුර්වල කර අපනයන ආදායම් අහිමි කර තිබේ.

කාලගුණික විපත්

පිලිපීනය කාලගුණික විපත් නිසා සහල් අපනයනය අඩුකොට, සහල් ආනයනයට සූදානම් වන රටකි. අප්‍රේල් 28 වනදා පිලිපීනය තීරණය කෙළේ සහල් මෙ.ටොන් 2,50,000ක් වියට්නාමයෙන් හෝ තායිලන්තයෙන් ආනයනය කරගැනීමටය.

ලෝක ආහාර සංවිධානය වාර්තා කළ අන්දමට 2015 – 2016 වියට්නාමයට පැවැති ඉඩෝරය නිසා ප්‍රදේශ 18ක ලක්ෂ 20ක ජනතාව දැඩි හිරිහැරයට පත්වූහ. නියඟය උග්‍රවත්ම දස ලක්ෂ 1.1 ක ජීවිකා වෘත්තියට බාධා එල්ල විය. අනතුරුව එළැඹියේ ගංවතුර තර්ජනයයි.

මියන්මාරයේ ගම් 146ක් නියඟයට හසුවූ අතර මලයාසියාව, කාම්බෝජය සහ පාකිස්තානය රටවල් ද කාලගුණික විපත් නිසා ආහාර සුරක්ෂිතභාවයට හානි සිදුවිය.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලය පුරා දක්නට ලැබුණු වගා හානියට බලපෑ ප්‍රධානම බාධකය වූයේ කාලගුණික විපර්යාසය සමග එකට ගමන් කළ ස්වභාවික විපත් සමුදායයි. එහෙයින් කෘෂිකර්මාන්තය ඉහළ නංවන අතර කාලගුණික ආපදා ගැනද සැලකිලිමත් විය යුතුවේ.

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය ද රටට සුබදායක නැත. ආපදා කළමනාකරණ, වන්දි මුදල් සහ අලාභහානි ප්‍රතිසංස්කරණයට මහජන මුදල් වැයකළ යුතු අතර යල කන්නයේ කෘෂි නිෂ්පාදනය අඩුවීම වැළැක්විය නොහැකිය. යහපත් වැසි සහිත කාලගුණය තේ නිෂ්පාදනයට සුදුසු තත්ත්වයකැයි තේ ව්‍යාපාරික අංශ අනාවැකි පළ කළද, පවතින වැසි නිසා තේ වෙළෙඳ පොළට ලැබෙන තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් දසලක්ෂ 7 සීමාවට වඩා අඩුවිය හැකි යැයි දැන් තේ ව්‍යාපාරික අංශය බිය පළ කරයි. රබර් කිරි කැපීම හා නිෂ්පාදනයට මෙය බලපාන අතර සිය වගාවනට පොහොර යෙදීමට නියමිත ගොවියෝ වගා කාලසටහන් වෙනස් කිරීමට පෙලඹේ. මේ කාලගුණ තත්ත්වයේ වාසිය ජල විදුලිබල නිෂ්පාදනයේ ශක්තිය වර්ධනය වීමයි.

අයහපත් කාලගුණය නිසා වගා කරන බිම් ප්‍රමාණය අඩුවන අතර වගාවෙන් අස්වනු නෙළා ගැනීම් කළ යුතු බිම් ප්‍රමාණය අඩුවෙයි. එසේම හෙක්ටයාරයකින් ලබන පලදාවද අඩුවෙයි. 2016 මැද භාගයේ ඇති වූ ගංවතුර හා නායයෑම් නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය පහළයෑමක් 2016 දෙවන කාර්තුවේදී දක්නට ලැබුණි.

අයහපත් කාලගුණය සහ තවත් හේතුන් නිසා සිදුවන දැවැන්තම පාඩුව නම් අස්වනු නෙළා ගත යුතුව ඇති වී වගාවන් අත්හැර දැමීමට ගොවියා පෙලඹීමය. මේ නිසා වගා කළ බිම් ප්‍රමාණය සහ අස්වනු නෙළාගත් බිම් ප්‍රමාණය අතර බලවත් පරතරයක් හා හිදැසක් නිර්මාණය වේ.

අස්වනු නාස්තිය

2015 වර්ෂයේ හෙක්ටයාර 1254000 ක වී වගා කළත්,අස්වනු නෙළාගත්තේ හෙක්ටයාර 1088000 කින් පමණි. 2016 වසරේ හෙක්ටයාර 1144000 ක වී වගා කළ නමුත් අස්වනු නෙළාගත්තේ හෙක්ටයාර 1011000 ක පමණි. 2017 තත්ත්වය ද එසේමය. හෙක්ටයාර 792000 ක වී වපුරන ලද නමුත් අස්වැන්න නෙළාගත්තේ හෙක්ටයාර 555000 ක පමණි. ගොවියාගේ කාලය, ධනය හා ජාතික නිෂ්පාදනයට එකතු විය යුතු අස්වැන්න අපතේ ගොස් ඇති අන්දම මෙයින් පැහැදිලි වේ.

කාලගුණයේ වෙනස්වීම් නිසා ඇතිවන ඉඩෝරයට සහ ගංවතුරට අපේ අතේ ඇති විසැඳුම් කවරේ ද? ඉඩෝරයට ඇති විසැඳුමක් නම් හැකිතාක් දුරට වැසි ජලය ගබඩා කර ගැනීමයි. දැනට ක්‍රියාත්මක වන්නාවූ කුඩා වැව් ප්‍රතිසංස්කරණය මගින් ඒවායේ ගොඩගැසී ඇති රොන් මඩ ඉවත් කිරීමෙන් ජල ධාරිතාව වැඩිකර ගත හැකිවේ. එහෙත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ දී ඒවායේ පැරැණි තාක්ෂණය ගැන සැලකිලිමත් විය යුතුව තිබේ. යන්ත්‍ර සූත්‍ර තිබූ පමණින් වැව් නැවත සකස් කිරීම අසීරුය. ජලාශවල රොන් මඩ තැන්පත් වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වන විනාශය සහ පාංශුඛාදනය ‍ යි.

එසේම ජලවේලි ප්‍රතිසංස්කරණය ද ගංවතුරින් සිදුවන අලාභහානි අවම කිරීමට විසදුමක් ලෙස හඳුනාගෙන තිබේ. රාජාංගනය, අංගමුව සහ මහවිලච්චිය වැනි වේලි ආවරණය කරමින් වේලි ආරක්ෂණ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වේ. එසේම රුපියල් දසලක්ෂ 400 ක වියදමින් ජල සංරක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි. වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතිය මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කෙරේ. ප්‍රදේශ 9 ක ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘති 21 ක් දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. ඒ සඳහා වන වියදම රුපියල් දසලක්ෂ 4750 කි.

2012 - 2016 සඳහා වන ලෝක අවදානම් දර්ශකයේ රටවල් 171 ක් අතරින් ශ්‍රී ලංකාව 63 වන ස්ථානයට පත්ව තිබේ. ඉන්දියාව 75 වන ස්ථානයත් පාකිස්තානය 73 වන ස්ථානයත්, නේපාලය 107 වන ස්ථානයත් අත්කරගෙන තිබේ. නිරන්තර ආපදා නිසා බංගලිදේශය මේ දර්ශකයේ 5 වන ස්ථානය අත්කර ගෙන සිටී. ශ්‍රී ලංකාව අවදානම් විපත් රටක් ලෙස ඉහළ අගයක් කරා ළඟාවීම රටේ ආර්ථිකයට සුබදායක නොවේ. 2017 වසරේදී ගංවතුර හා නියං සහන කටයුතු සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 0.1ක් වියදම් කිරීමෙන් ඒ බව පැහැදිලි වේ.

අවදානම් දර්ශකය

2013 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ව්‍යසනවලින් මරණ 837 ක් තුවාල සිදුවීම් 792 ක් අතුරුදන්වීම් 352 ක්, පූර්ණ නිවාස හානි 13037 ක් අර්ධ නිවාස හානි 90040ක් වාර්තා වී ඇත.

2017 වසරේදී ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට ම වගා හානි, දේපොළ හානි සහ ජීවිත - හානි සිදුවිය. ස්වභාවික ව්‍යසනයකට පසු ගෘහ ඒකකයක ණය බර තීව්‍ර වන බව රටවල් 147 ක් ආවරණය කරමින් මෑතක දී කරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙනි. පුද්ගල මාසික ආදායම අඩුවුවහොත් එබදු පවුල් දිළිදු ජනගහණයේ රේඛාව තුළම ඇදවැටීමේ ඉඩකඩ වැඩිකරයි.

ලොව බොහෝ රටවල් ස්වභාවික ආපදා මගින් ජනතාවට හා වෘත්තියන්ට ඇතිවන හානි අවමකරගැනීම සඳහා රක්ෂණ ආවරණ පිහිට පැතීමට පුරුදුව සිටිති. ඉන්දියාව, බංගලිදේශය, ඉතියෝපියාව, කෙන්යාව , මලාවි සහ තායිලන්තය එබදු රටවල් කීපයකි. එහෙත් ශ්‍රී ලංකාව තවම ඒ ගැන විධිමත් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නේ නැත.

ස්වාභාවික ආපදා නිසා කෘෂි අපනයනය හා කෘෂි නිෂ්පාදන අංශයට ද හානි සිදුවේ. ඒ සමගම සෙසු සුළු හා මධ්‍යම පරිමාණ අයතනද අඩාල වේ. 2017 මැයි මස ඇති වූ ගංවතුර හා ආශ්‍රිත විපත් නිසා හානියට පත් ව්‍යාපාර සහ ඒවායේ මෙහෙයුම් කටයුතු යළි නගාසිටුවීම සඳහා පියවර රාශියක් හඳුන්වා දී තිබේ. එසේම බලපත්‍රලාභි සියලු බැංකු සඳහා ද අවශ්‍ය උපදෙස් දී තිබේ. එමගින් අදහස් කරන්නේ කර්මාන්ත ආයතන ද අඛණ්ඩව ක්‍රියාත්මක කර ගැනීමයි. ණය සහන ලබාදීමද එයට ඇතුළත් ය.

ශ්‍රී ලංකාවේ ආපදා මගින් ආර්ථිකයට සිදුවන වාර්ෂික හානිය ඇ.ඩොලර් බිලියන 50ක් යැයි ලෝක බැංකුව කියයි. එයින් බිලියන 32ක් ගංවතුර ආශ්‍රයෙනි. වන විනාශය නැවැත්වීම, ඉහළ ගංගාධාරයන්හි නැවත වන වගාව හා භූගත ජල පද්ධති පිළිබඳ අවධානයෙන් සංවර්ධන කටයුතු කිරීමත්, කෘෂිකර්මාන්තයෙහිලා බෝග විවිධාංගකරණය ස්වභාවික ආපදා අවම කිරීමට තුඩුදෙන හේතුන් ලෙසත් හඳුනාගෙන තිබේ.

කරුණාරත්න අමරතුංග 


නව අදහස දක්වන්න

Or log in with...