විද්‍යා ව්‍යාපෘතිය | දිනමිණ

විද්‍යා ව්‍යාපෘතිය

මෙහි පළමු කොටස පසුගිය සතියේ පළ විය.

බොහොම අමාරුවෙන් හදා ගත්තු විද්‍යා ව්‍යාපෘතියත් අරන් මම ඉස්කෝලෙ ආව. මැරිච්ච මයිටාවො වෙනුවට ඊයෙ හවස් වරුවෙම මහන්සි වෙලා එකතු කරගත්තු තවත් මයිටාවො, බැක්ටොරෝයිඩාවො, සැල්මොනෙල්ලාවො වගේ අටෝ රාසියක් පොඩි සත්තු නිල් ග්‍රහලෝකේ පුරා රෝල් වේවි ඇවිදිමින් හිටිය. ඉතුරු ලෝක අට….? ඊයේ ටීනු කරල ගිය විනාසෙ (ටෝ.. ටෝ තමයි වග කියන්න ඕන! ඔව්!) හරිගස්සල ඉවර වෙද්දි එව ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ.

මම මගෙ ව්‍යාපෘතිය මේසේ උඩින් තිබ්බ. ඒ වෙලාවෙ තමයි නෙයි මගෙ ළඟට ආවේ.

නෙයි තමයි සිලිකන් වැලි එකේ ඉන්න බුද්ධිමත්ම ගෑනු ළමයා. එයාට තිබ්බෙ කළු පාට ඉතා සිහින් ඇස්. කළු, දිග, කෙලින් කෙස්. කොයි වෙලාවෙත් අතේ පොත්. එයා කතා කළෙත් අනික් අය කතා කරනවට වඩා වෙනස්, ක්ලැසික් දේවල්.

ටීනුට එයාව පෙන්නන්න බැරි නිසා මම නෙයි එක්ක කතා කරල තියෙන්නෙ අතේ ඇඟිලිවලටත් වඩා අඩුවෙන්.

“ඒක ලස්සනයි…මේකේ ග්‍රහලෝක කීයක් තියෙනවද ? ”එයා ඇහුව.

“හතළිස් දාහයි. ග්‍රහක අසූ පන්දාස් විසි හතරයි. පොඩි පොඩි කණ්ණාඩි කෑලි අලවල නිසා ඒවයින් ප්‍රතිබිම්බ හැදෙනව. ඒකයි ඔච්චර ගොඩක් පේන්නේ මේ පබළු තමයි ඔය වල්ගතරු වගේ එව්ව. “මම කිව්ව. “මම වැඩියෙන්ම ෆෝකස් කළේ මේ ග්‍රහලෝක අට හමාර ගැන. හතළිස් දාහම එක විදිහට හදන්න ගොඩක් කල් යනවනේ.. ”

“ඒක ලස්සනයි… ඔයාගෙ තින්කින් පැටන් එකට මං කැමතියි.. ”නෙයි කිව්වා.

“අපි මේක තව ලස්සන කරමුද?”

ඊට පස්සෙ එයා මේකප් බෑග් එකකින් තොල් පාටකරන කූරක් ගත්ත. ජග්ගුව ඇතුළු පැත්තෙන්, හරිම පරිස්සමට, වටේටම තිත් තිත් තියන්න පටන් ගත්ත.

“මේ ලිප්ස්ටික් එක කළුවරේ දිළිසෙනවා. කන්න පුළුවන් ෆොස්පරස් වර්ගයකින් මම ම හදාපු එකක්..”

මම කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව නෙයි තිත්.. තිත්.. තිත්.. තියන විදිහ බලාගෙන හිටිය.

—————————

“මොකක්ද අයිසෙ මේ…?” විද්‍යා ගුරුතුමා අප්පිරිය සහගත දෙයක් දිහා බලනව වගේ මගෙ ව්‍යාපෘතිය දිහා බැලුව. “මොක්කුද මේ? … තමුසෙගෙ ප්‍රොජෙක්ට් එක ඕල්රෙඩි ගුල්ලො ගහලද..? හං හං… ..හා ! “

“සර්.. මේ ග්‍රහලෝකෙ සත්තු… මේක ජීවී ග්‍රහලෝකයක්.. !” මම කිව්ව. මිනිහ කොහොමත් මාව ඒ තරම් සීරියස් ගන්නෙ නෑ. මම මොන දේ කළත් ඇදයක් කුදයක් විතරයි මිනිහට පේන්නේ.

“අනික මේක හෙන වේගෙන් කැරකෙනවනේ .. ආ ? ”

“ඔය තුන්වෙනි ග්‍රහලෝකේ තත්පරේකට වට අටක් කැරකෙනව සර්… ”

“මොකක්…?ඒ කියන්නෙ අපිට දවසක් ගතවෙද්දී මේ මයිටල සෙට් එකට අවුරුදු මිලියනයක් ගෙවෙනවා කියලද?.. පුහ්.. හං හං හා…”

මිනිහ හිනාවෙන අතරෙ වාතයක් පිට කරනවත් මට ඇහුණා. මම ඒ ගන්ධස්සාර බෝම්බෙන් බේරෙන්න කෝකටත් අඩියක් පිටිපස්සට වුණා.

“මුං මත් වෙලා වගේ ඉන්නේ මොකද අයිසේ.. ? “මිනිහ ආයෙත් ඇහුව. ”තමුසෙ මුංව ඇහින්දෙ තැබෑරුමකින්ද? .. හං.. හං… හා… “

පංතියේ අනික් එවුනුත් ඒ ගමන හිනාවෙන්න ගත්තා.

එතකොටම ලයිම්ස්ටෝන් එකක් රඳවල තිබුණු රබර් පටියක්, හයවෙනි ග්‍රහලෝකෙ වටේ මාලයක් වාගේ වැටුණා.

“වැඩක් නෑ අයිසෙ මෙව්ව..මේ.. කෑලි හැලෙනව දැන්මම ”

එහෙම කියල මිනිහ හෙන පැතලි, කැත සී ප්ලස් එකක් ලකුණු කළා.

“තමුසෙ පාවිච්චි කරල තියෙන පාටවලට මං කැමතියි.. ප්ලස් එක ඒ හින්ද.. ”මිනිහ මහ නක්කල් හිනාවක් එක්ක කිව්ව.

මිනිහ හොඳටම දන්නව මේකෙ පාට තේරුවේ ටීනු බව.

“තමුසෙ දවස් දෙකෙන් දෙකටවත් මුංට කන්න දානව. නැත්නම් මුං බඩගින්නට එක එකාව කා ගනී.. හං හං. හා.. ”

මම ආපහු ගිහින් වාඩි වෙද්දි මිනිහ කිව්වා.

—————————————

සීනුව වැදුණට පස්සෙ මම ටීනුව හොයාගෙන ගියා. මට ඕන වුණේ එයාව යාළු කරගන්න. ඊයෙ තරහ වෙලා ගියාට පස්සෙ කෝල් එකක්වත් නෑ.

එයා හිටියෙ තද රෝස පාට නිල් මල් වැටුණු ගවොමක් ඇඳගෙන. කෙල්ලො එක්ක කදේ දමාගෙන.

“හේ ! ඔයා කැමතිද අද හවස ෆිල්ම් එකකට යන්න..?”මම ඇහුව. එයා මාව එච්චර ගණන් ගත්තෙ නෑ.

“බෑ.. ”එයා ගත් කටටම කිව්ව. ”අද ටෝගෙ පාටිය.. ”

පුදුමෙකට වගේ මට වෙනදට එයා එහෙම කිව්වම දැනෙන ලොකු හිතේ අමාරුව දැනුණේ නෑ.

“ඕකේ..”

මම ආපහු ආව. දොර ගාවදි මට නෙයිව මුණගැහුණ.

“අද හවස මම අලුත් ෆිල්ම් එකක් බලන්න යනව ..” මම කිව්ව. පුදුමෙකට වගේ වෙනදට ගැහැනු ළමයි ළඟදී දැනෙන සබකෝලේ මට දැනුණෙත් නැහැ. “ඔයත් එන්න කැමති නම්..”

“අද හවස ටෝ ගෙ පාටිය..” නෙයි කිව්වා. “ම්.. ම්.. කමක් නෑ.. අපි යමු ෆිල්ම් එකට.. මම කැමතියි පාටිවලට වඩා ෆිල්ම්වලට..”

“හේ…!” එයා ටිකක් දුර ගිහින් ආපහු හැරුණා.

“ඒක ඒ ප්ලස් එකක්..!”

—————————————

මම කඩිමුඩියේ, ඒත් ඉතා සැළකිල්ලෙන් ඇඳුම් ඇඳගත්ත. හොඳින් මැදපු කමිසයක්, ලා නිල් ජැකට් එකක් සහ කළු කලිසමක්. ඉතා හොඳින් ඔප දැමූ සපත්තු.

කවදාවත් නැතිව සුවඳ විලවුන්.

මම මේසේ උඩ තිබ්බ වොලට් එක සාක්කුවෙ දාගන්න ගමන් ජග්ගුවට එබුණා.

“මං ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න ඩාලිංලා…”

දොර වහගෙන එළියට යන්න කලින් මම මගෙ සෞරග්‍රහ මණ්ඩලේ එකම ජීවී ග්‍රහලෝකෙ ඉන්න මගෙ ජීවියො ටිකට කිව්ව.

නෙයි අද එද්දී එයාගෙ කළුවරේ දිළිසෙන ලිප්ස්ටික් එක ගාගෙන එයිද ?

—————————————

තුන් වැනි පාර්ශවයක ඇසින් කළ පසුව ලිවීමක් :-

බූ දොර වහල එළියට යනවත් එක්කම කාමරේ විදුලි ආලෝකය නිවුණා. ජග්ගුව ඇතුළේ අලවල තිබ්බ Glow in the dark තීන්ත බිංදු කළුවරේ දිලිසෙන්න පටන් ගත්ත. බාගෙට ඇලවිලා තිබ්බ දිළිහෙන පබළුවක් ගැලවිලා දෙවෙනි ග්‍රහලෝකෙයි තුන්වෙනි ග්‍රහලෝකෙයි අතරින් ඇදිල ගිහින් ජග්ගුවේ පතුලට වැටුණා.

හරියටම ඒ වෙලාවෙ තුන් වෙනි ග්‍රහලෝකෙ, වතුරෙන් නොගිලිලා තිබ්බ කොටසක සිගරට් දුමෙන් මත්වෙලා හිටපු මයිටාවෝ ටිකක්, තමන් ජීවත්වෙන ග්‍රහලෝකෙට පෘථිවිය කියල නමක් තිබ්බා.

සඳිනි තෙන්නකෝන්

නව අදහස දක්වන්න