ලව් කොටියා | දිනමිණ

ලව් කොටියා

මම දවසක් ‘සුපර් ඩෝරියෝ’ සෙල්ලම් කරමින් හිටියා. ජෙට් පැක් එකත් අරගෙන දිය අගලට උඩින් පියාඹලා යන්න විතරයි එතකොට ඉතිරි වෙලා තිබ්බේ. දිය අගලේ නිදාගෙන ඉන්න මකරා ඇහැරවන්නෙ නැතිව ගල් පඩිපෙළ උඩට ජෙට් පැක් එකේ නැඟලා යන එක ලේසි නෑ. තව එක ලයිෆ් එකයි ඉතිරි වෙලා තිබ්බේ. ඒ අව් අස්සේ ඉබන් ආවා ආතබූත නැතිව. සුදු පාට වයර් එකක් මගේ කකුල් දෙක හරියට සෙට් කරලා මාව ඇඳේ නිදි කෙරෙව්වා. ඊට පස්සේ පපායා වර්ගයේ ලැප්ටොප් එකක් මගේ ළඟින් තිබ්බා. මාව ‘ජබොක්’ ගාලා දිය අගලට වැටුණා. මකරා නැගිටලා පොඩි ගින්දරක් විදලා මාව අළු කරලා දැම්මා.

මම තරහටම තිරය නිවා ගත්තා. එයා පාස්කෝඩ් එක ටයිප් කරලා ආයෙමත් තිරය දල්ව ගත්තා. පපායා ලැප්ටොප් එක දිහා මම හොඳට බැලුවෙ ඒ වෙලාවෙ. එයා ලස්සන අළු පාටයි. තැන් කීපෙකම තැඹිලි පාටින් පපායා සලකුණ එම්බෝස් කරලා වගේ තිබුණා. එයාගෙ තිරය පත්තු වෙච්ච ගමන්ම අර එම්බෝස් වෙලා පෙනුණ පපායා ලකුණු ඔක්කොම දීප්තිමත් තැඹිලි පාටින් නලියන්න පටන් ගන්නවා. හරියට පොඩි ළමයි එයාලව වඩා ගන්නකන් ඉවසිල්ලක් නැතිව නලියනවා වගෙයි.

මම දෙපාරක් නොහිතා එයාට ‘හායි’ කියලා කිව්වා. එයා කිසි ආඩම්බරකමක් නැතිව හිනා වුණා. ඊට පස්සෙ ‘හායි ඇවකාඩෝ’ කිව්වා.

‘ඔයා ළඟ මොනවද තියෙන්නෙ?’

පපායා මගෙන් ඇහුවේ ලොකු කුතුහලයකින්.

‘ඇයි ඔයාට මොනවද ඕනා?’

ප්‍රශ්නෙකට, තවත් ප්‍රශ්නෙකින් උත්තර දෙන එක අපායෙ යන වැඩක්ද මන්දා.

පපායා එයාගෙ සලකුණු ඔක්කොම නිවන්නයි-පත්තු කරන්නයි පටන් ගත්තා. මාව ටිකක් විතර බය වුණා.

‘මිස්ටර් පපායා...මගේ ළඟ ගිගාබයිට් 16 ක පින්තූර තියෙනවා. ගිගාබයිට් 4 සිංදු තියෙනවා. වීඩියෝ 10 ක් තියෙනවා. තව නොයෙක් ජාති තියෙනවා.

ඊට පස්සෙ මිස්ටර් පපායා තොරණ නිවා ගත්තා. බොරු කියන්නෙ මොකටද අනේ, මට හුස්මක් වැටුණෙ ඒ වෙලාවෙ.

‘මට ගිගා 16 පින්තූර දෙන්න’

මට ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනා. පාස්කෝඩ් දාපු ෆෝල්ඩර් දෙකේ තියෙන ඒවා එයාට එහෙම දෙන්නන් වාලේ දීලා දාන්න බෑ. මට ඉබේම ඉබන් දිහා බැලුණා. එයා ගිගාබයිට් 16 පින්තූර පපායට දෙන්න ලෑස්ති නෑ. පාස්කෝඩ් තියෙන ෆෝල්ඩර්ස් නොඇර අනිත් ටික පපායාට දෙන්න කියලා එයා මට විධාන කළා. මම ඔළුව වැනුවා. ඒත් පොඩි කල්පනාවකට වැටුණා.

අමොර්ගෙ රහස් ඇල්බම් නොදී ඉන්න මම තීරණය කළා. ඒකෙ පින්තූර විතරක් නෙවෙයි වීඩියෝ එකකුත් තියෙනවා. ඒවා පපායා දැනගන්න ඕන ඒවා නෙවෙයි. අනේ ඇත්තට මේ ඉබන්ගෙ වනචර වැඩ!! හැම එකම වීඩියෝ කර ගන්නකන් එයාට නින්ද යන්නෑ. කාට පෙන්නන්නද දන්නෑ ඔය හැටි වීඩියෝ!!

එක අතකින් ගිගාබයිට් 16 පපායාට දීලා දානවා කියන්නෙ මට ලොකු සැනසීමක්. මටත් එපා වෙලා උන්නේ පරණ පින්තූර, වීඩියෝ බලලම. දැන් මට තියෙන්නෙ අමොර්ගෙ රහස් ෆෝල්ඩර් එක ළඟට එනකොටම බොරු හේතුවක් කියලා පින්තූර යවන එක තාවකාලිකව නවත්තන්න. ඊට පස්සෙ තවත් බොරු ප්‍රශ්න දෙක, තුනක් පෙන්නුවම ෆෝල්ඩර්ස් දෙකක් අඩු බව පපායාට අමතක වෙනවා. එයා ඊළඟ ෆෝල්ඩර් එකේ ඉදන් පින්තූර ටික ගන්න කැමති වෙනවා සහතිකයි. කොහොමත් එහෙමනෙ හැමදාම වුණේ.

ඒ අතරේ පපායා මගෙත් එක්ක කතාවට වැටුණා. එයා මගෙන් ගන්න සමහර පින්තූර ආසාවෙන් ආයෙ, ආයෙ බලන එක මට තේරුම් ගන්න බැරි වුණා. එයාට ඕනෙ පින්තූර ගැන විස්තර මගෙන් දැනගන්න.

‘අර කවුද ඇවකාඩෝ? ඒ අමොර් නෙවෙයි නේද?’

ඉබන් සීත රටක ගිහින් බියංකා එක්ක ගත්ත පින්තූරයක් දිගෑරගෙන පපායා නළලෙ රැළි හතක් හැදුවා. එක අතකින් මිනිස්සු බේරන්න මැෂින්වලට බොරු කියලා පලක් තියේවියෑ. මම තීරණය කළා පපායාට සමහර දේවල් විතරක් කියන්න.

‘ඒ ඉන්නෙ බියංකා. එයා බැඳපු කෙනෙක්. ඒත් ඉබන් එක්ක යාළුයි. එයාලා ‘කාශ්මීරේ’ ගිය වෙලාවකයි ඔය පින්තූරෙ අරන් තියෙන්නේ.’

පපායා දීර්ඝ කල්පනාවකට වැටුණා. ආයෙත් එයාගෙ සලකුණක් නලියන්න පටන් ගත්තා. අනේ මන්දා!! එක අතකින් පපායාත් නිකං සෙල්ලම් බෝනික්කෙක් වගෙයි. පොඩ්ඩ එහේ-මෙහේ වෙන්න බෑ, වෙව්ල, වෙව්ල තොරණෙ ලයිට් පත්තු කරනවා. මට මේ බබ්බු නලවන එක දැන් එපා වෙලා ඉන්නේ. කිසි එකෙක් නෑනෙ අප්පා වගකීමක් ගන්න. හැම එකටම මට කරගහන්න වෙලා. ඇයි ඉතිං මම මැෂින් එකක්නෙ. තිරය නිවිලා යනවා මිසක් මටයි කියලා වෙන වෙන්න දෙයක් නෑනේ. දුකක්-සතුටක් දැනෙන්නෙත් නෑනේ.

‘මේහ්...ෂ්...ෂ්...ඇවකාඩෝ...ඒයි...මේ මොකක්ද අනේ?’

පපායා ඒ පාර තව පින්තූර ටිකක් දිගෑරගෙන. මම නිකමට කර පොවලා බැලුවා. සන්තානම් මෑණියනේ!! මේ මොනවද? මේවා කොහේද තිබ්බේ? මීට කලින් මමවත් මේවා දැකලා නෑනේ.

ඒ පාර මගේ ඇවකාඩෝ සලකුණ නිවෙන්නයි-පත්තු වෙන්නයි පටන් ගත්තා. කොච්චර හිතුවත් හිත සන්සුන් කරගන්න බැරි වුණා.

ඉබන් මගේ කකුල ළඟට ගහලා තිබුණ වයර් එක නොනවත්වා හොල්ලන්න පටන් ගත්තා. පපායා එයාගෙ කනට ගහලා තිබුණ වයර් එක ගැලවෙන්න නොදී අල්ලගන්න උත්සාහ කරමින් උන්නා.

‘ඇවකාඩෝ.... ඇවකාඩෝ...ඔයාට අසනීපයක්ද? මොකද වුණේ? මට සමාවෙන්න. මගෙයි වැරැද්ද. මම ඒ පින්තූර ටික ඔයාට පෙන්නපු නිසානෙ ඔයාගෙ හදවත අක්‍රීය වෙන්න ගියේ. අනේ මට සමාවෙන්න ඇව්’

ටික වෙලාවකින් මට යථා සිහිය ලැබුණා. ඒත් ඒ පින්තූර ටික මගේ ළඟවත්, ඇවකාඩෝ ළඟවත් තිබ්බෙ නෑ. හරියට මැජික්කාරයෙක් හාවෙක් අතුරුදන් කරන්නා වාගෙ ඒවා කොහේටද අතුරුදන් වෙලා.

‘ඔයාගෙ වරදක් නෑ පපායා. මගේ හදවත දුර්වල එකයි එකම ප්‍රශ්නේ. මට වාවන්නෙ නැතිව ගියා ඒ පින්තූර දැකලා.’

‘මේහ්!! ඇව්.. ඉන්න මම ඔයාට හිනා යන බඩ්ඩක් පෙන්නන්න.’

එහෙම කියලා එයා ඉබන්ගෙ ඊමේල් එකේ ස්පෑම් මැසේජස් තියෙන ටැබ් එක ඇරලා පෙන්නුවා. ඒකෙ මැද හරියෙ තරු ලකුණක් එක්ක තිබ්බෙ ‘ලව් ලෙටර්’ එකක්.

‘මගේ රැවුල්කොට හාවාට’ කියලා පටන් අරන් තිබ්බ ලියුමෙ පුදුම ආදර කතා තොගයක් ලියලා තිබ්බේ. අපි දෙන්නා වාක්‍යයක් ගාණෙ ‘හක...හක...සද්දෙන් හිනා වුණා. ලියුම මැදට යද්දි එක තැනක තිබ්බා ‘අනේ මගේ ලව් කොටියෝ’ කියලා. ඒකට හිනා වෙච්ච සැරට මගේ කකුලට ගහලා තිබ්බ වයර් එකත් ගැලවිලා වීසි වුණා. පපායාගේ වයර් එක ඉබන් හයියෙන් අල්ලගෙන උන්නු නිසා ගැලවුණේ නෑ. ඒ ජරමර අස්සේ ලියුමෙ එව්වෙ කවුද කියලා බලාගන්නත් බැරි වුණා. ඊමේල් එඩ්‍රස් එක නම් බොරුම බොරු එකක්. ‘වොන්ඩර් වුමන් 007’ වගේ නමක් ඒකෙ තිබ්බේ. මට දැන් සිහියක් නෑ ආයෙ වයර් එක කකුලට ගහනකන්. පපායා අරහේ තනියෙම ‘හක....හක...’ගානවා ඇති. එයා දැක්කද දන්නෑ ලියුම එවපු කෙනාගෙ නම?

ඉබන්ගෙ දුෂ්ටකමේ තරම කියන්නෙ මගේ වයර් එක ආයෙ කකුලට ගහනවා නෙවෙයි එයා පපායාගෙ කන ළඟට ගහල තිබ්බ වයර් එකත් ගලවලා දැම්මා. එවේලෙ ඉබන්ගෙ මූණ රාස්සයෙක්ගෙ වගේ.

‘මේ බඩකඩුත්තුවෙන් කිසි ප්‍රයෝජනයක් නෑ. ඊට එහා අර පපායා ලදරම. ෆයිල් ට්‍රාන්සර් කරන්න නෙවෙයි මේවා හොඳ, ගංවතුරට ගිලෙන්න දාන්න. ඇහුවොත් නම් ඇවකාඩෝ. කරදර අඩුම ෆෝන් එක. ඒ වෙන එවුන්ට වෙන්න ඇති. මාව නම් කන්නම උපන් එකක්. හිටපන්කෝ ඔහොම හිතූ, හිතූ දේ කරමින් තව ටික දවසක්. දෙන්නම්කෝ මම ළඟදිම ඔහේට ජම්බූ’

මට මේ ජම්බු කතාව විතරයි ඔළුවට දාගන්න පුළුවන් වුණේ. මේ මිනිහට සමයං. මට මොකටද ජම්බු? අනික මැෂින්වලට ජම්බු දෙන්න හිතන මේ මිනිහා මොකෙක්ද? ඉබන් බතූතා කියලා නෙවෙයි මූට නම දාන්න තිබ්බේ. ඉබේ බත්කූරා කියලා. මට මේ ලෝකෙ කිසිම යාළුකමක් ඇති කරගන්න ඉඩ දෙන්නෑ. හොඳම වෙලාවට මැද්දට පනිනවා. ඊට පස්සෙ ඔක්කොම කාබාසිනියා කරලා දානවා. ඊටත් පස්සෙ ඔළුව බදාගෙන හරකෙක් වගේ අඬනවා. මට මේ නරි නාටක දැන් ඇති වෙලා තියෙන්නෙ.

මම ආවේගය වැඩිකමට ආයෙත් තිරය නිවන්නයි-පත්තු කරන්නයි පටන් ගත්තා. ඊට සමගාමීව වගේ මාව වයිබ්‍රේට් වෙන්නත් පටන් ගත්තා. මට ඉබන්ව සම්පූර්ණයෙන්ම අමතක වෙලා හිටියේ. ඒත් එයා ‘බැස්කර්විල්හි රුදුරු බලුව’ වගේ ඇස් රතු කරන් කෝපයෙන් මගේ දිහා බලාගෙන හිටියා. එහෙම බලාගෙන ඉදලා දුන්නා මට පයින් පාරක් ඇඳ උඩින් වීසිවෙලා බිමට වැටිලා උළුවස්සෙ හැපෙන්න.

මම හිතන්නෙ ‘සුපර් ඩෝරියෝ’ ගේම් එකේ අන්තිම කොටසේ මම හිටියේ. ජෙට් පැක් එකත් අරගෙන පියාඹගෙන ගල් පඩිපෙළ උඩට ගියා විතරයි. මාව පාවෙලා....පාවෙලා...ආවා දිය අගලේ මකර අන්තයට. මකර සිල්වා කම්මැලිකමෙන් වගේ කට බාගෙට ඇරියා. මාව පුළුන් රොදක් වගේ මකර කටට පාවෙලා...පාවෙලා ගියා.

‘අනේ මාව මේ ඇවකාඩෝ ආත්මභවයෙන් ගලවා ගොළුබෙල්ලෙක් කරනු මැනවි!! එහෙම බැරි නම් බිම් පණුවෙක්වත් කරනු මැනවි’ කියලා ප්‍රාර්ථනා කරගෙන මම උන්නා. ඊට පස්සෙ මාව ලොකු කළුවරක ගිලුණා.

කාංචනා අමිලානි
@moogater


නව අදහස දක්වන්න

Or log in with...