පළාත් සභා ඡන්දයට එජාපය සූදානම් | දිනමිණ

පළාත් සභා ඡන්දයට එජාපය සූදානම්

පැරැණි ක්‍රමයට අවධානය

එක්සත් ජාතික පක්ෂය පළාත් සභා මැතිවරණයට ඕනෑම අවස්ථාවක සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ බලපිටිය රේවත ජාතික පාසලේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව ගැටලු රැසක් පවතින බවට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන මෙන්ම විවිධ බුද්ධිමතුන් කරුණු දක්වා ඇති බවත්, පෙරේදා (31) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ද ඒ පිළිබදව සාකාච්ඡා කළ අතර, පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව එහිදී අවධානය යොමු වූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

නව මැතිවරණ ක්‍රමය යටතේ බහුතර බලය ලබා ගත් කිසිදු පක්ෂයකට ස්වාධීනව බලය පිහිටුවීමට නොහැකි තත්ත්වයක් මතුවීම ඇතුළු ගැටලු රැසක් මතුවී ඇති බැවින් ඒ සදහා අවශ්‍ය සංශෝධන සිදු කෙරෙන තුරු පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා කීය.

නව අදහස දක්වන්න