පොලී­සියේ වීර­යෝ ද ආද­රය හඳු­න­න්නෝ ද | දිනමිණ

පොලී­සියේ වීර­යෝ ද ආද­රය හඳු­න­න්නෝ ද

පොලිස්පති පූජිත් ජයසුන්දර, විමලරත්නගේ දරුවන්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාව, ඩිලාන් සම්පත්, අවසන් ගමන් ගිය විමලරත්න යුවල

මම පොලීසියට, පොලිස් නිලධාරීන්ට එතරම් කැමැත්තක් නොදක්වමි. හේතුව කුමක්දැයි නිශ්චිතව කීමට නොහැකිය. එහෙත් පොලීසිය මගේ ජීවිතයට සම්බන්ධ වන්නේ මගේ බාල කාලයේදීමය. බෙලිඅත්ත ශ්‍රී පඤාඤන්ද මිශ්‍ර පාසලේ පළමු හෝ දෙවන වසර අකුරට ගිය කුඩා දරුවකු ලෙස පොලීසිය ඉදිරියේ තබා තිබූ පැන්තාලිය හෝ පිංතාලියෙන් වතුර බී ගෙදර ආ ගමන මතකය. මගේ අම්මාගේ ගෙදර ආසන්නයේම පොලිස් ස්ථානාධිපතිතුමාගේ නිල නිවාසය තිබුණු බැවින් එතුමන්ගේ ද පොලිස් නිලධාරීන්ගේ ද දැකුම සාමාන්‍ය එකක්ම වීය. වසර කිහිපයකට පසු, යළි පොලීසිය සමඟ මගේ මතකය, අත්දැකීම අලුත්වන්නේ තාත්තාගේ ගමෙහි ගන්දර දී හතර හෝ පස්වන පන්තියේ දී ඉගෙනුම ලබද්දී ගන්දර පොලිස් පරිශ්‍රයේ දී දුටු දසුනකිනි.

මහාමාර්ගයේ සිදුවන අනතුරු වළක්වා ගන්නේ කෙසේද යන අධ්‍යාපනික වැඩසටහනකට කොළඹින් ගොස් සිටි පොලිස් මහජන සම්බන්ධතා අංශය විසින් පවැත් වූ වැඩ සටහනක් හා එහිදී ඉදිරිපත් වූ නාට්‍යමය හා සංගීතමය විශේෂාංග ඇතුළත් වැඩසටහන හා, එහි දී බයිලා ගී ගැයූ ගායක පොලිස් රාලහාමි කෙනකු පිළිබඳ මතකයයි බාල කාලයේ මතකය. බැංජෝ ගිටාරයක් වාදනය කරමින් කාකි කොට කලිසමකින් සැරසී බයිලා ගැයූ පොලිස් ගායකයා ජනප්‍රිය වොලී බැස්ටියන් බව දැනගත්තේ උසස් පෙළ පන්තියේ දී හෝ සරසවියේදීය.

හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක, නර්ස් නෝනා, අය්රින් ජොසපින් කැතරින් ඇන්ජලින් වැනි අතිශය ජනප්‍රිය බයිලා ගායනා වොලී බැස්ටියන් නම හා මතකයට එයි. පොලීසියට හෝ පොලිස් නිලධාරීනට එතරම් කැමැත්තක් නොවූවත්, මා මිත්‍ර පොලිස් නිලධාරීන් ද රැසක් වේ. මිත්‍රයන් ලෙස මා ඔවුනට කැමතිය. අප අකුරු කළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පොලිස්පතිවරුන් රැසකම බිහි කළ විද්‍යාස්ථානයයි. ඒ අතර, විශ්‍රාමික පොලිස්පතිවරුන් වූ චන්ද්‍රා ප්‍රනාන්දු හා ජයන්ත වික්‍රමරත්න අපගේ සමකාලීනයන්ය. වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර ද ජ'පුර ආදි විද්‍යාර්ථියෙකි.

පොලීසිය හෝ පොලිස් නිලධාරීන් පිළිබඳ ජනතාව තුළ ඇත්තේ එතරම් සුබවාදී සුහද ආකල්පයක් නොවන බව අසත්‍යයක් නොවේ. කුමන හෝ හේතුවක් නිසා පොලීසියකට යන්නට සිදුවනවාය යන්න සිතට බිය ගෙන දෙන අවස්ථාවක් ලෙස බොහෝ දෙනා සිතති. එය අනියම් බියක් ද විය හැකිය. පොලීසියේ මහජන සම්බන්ධතා අංශය කෙතරම් ශක්තිමත් වුවද , ඔවුන් විසින් වෙසක් උත්සවය සඳහා වෙසක් භක්ති ගී ගැයූව ද, නත්තල සඳහා කැරොල් ගී ගායනා කළ ද, පොලීසිය යනු මහජනතාවගෙන් ඈත් වූ ආයතනයක්ය යන ආකල්පය වෙනස් වී ඇත්තේ මඳ වශයෙන්ය කියා සිතෙන වාර අපමණය. අපරාධකරුවන්ට සලකන අයුරින්ම සැකකරුවන්ට ද සැලකීම ඇතැම් අවස්ථාවක පොලිස් ස්ථානවල දී සිදුවන බැවින් එසේ වී ඇද්දැයි නොදනිමි. එහෙත් පොලීසිය පිළිබඳ, පොලීසියේ නිලධාරීන් පිළිබඳ ඉතා මෑතක දී මාධ්‍යය තුළ කියවන්නට ලැබුණු පුවත් දෙකකින් මා දුටුවේ මානව දයාව, ආදරය මෙන්ම ජනහිතවාදී, නිර්භීත නිලදරුවන් ද පොලීසියේ සිටින බවයි. පොලිස් දෙපාර්තමේන්තුව ඔවුන් පිළිබඳ ආඩම්බර විය යුතු යැයි සිතමි. නිල ඇඳුමින් වැසුණ ද, ඊට යටින් ජීවත්වන සැබෑ මිනිසුන් දෙදෙනකුගේ ගුණරුව, මා දුටු පුවත් වාර්තා සනාථ කොට තිබිණ.

රාජකාරියේ යෙදෙමින් සිටිය දී නිර්භීත වීරෝධාර පොලිස් භටයකුගේ ජනහිතවාදී ගුණය ප්‍රකට කළ මාදම්පේ පොලීසියේ කොස්තාපල් ( 88587 ) ඩී.පී. ඩිලාන් සම්පත් මගේ කතාවේ පළමු කතා නායකයායි. මාදම්පේ ගල්මුදුව උඩලවෙල ප්‍රදේශයේ දී ගංවතුරට හසු වී ගසාගෙන යමින් සිටි තිදෙනකු බේරා ගැනීමට උත්සාහ ගනිද්දී සැඩ ජල පහරට හසු වී ඔහු මිය යන්නේය. දින කිහිපයකට පසුවය ඔහුගේ සිරුර සොයාගනු ලබන්නේ. මියගිය පසු ඔහු පොලිස් සැරයන්ගේ තනතුරට උසස් කරනු ලැබූව ද විසිනව හැවිරිදි ඩිලාන් සම්පත් යෞවනයාගේ වියොව ඔහුගේ දෙමාපියනට, සහෝදර සහෝදරියනට, ඥාතීන්ට, මිත්‍රයන්ට දරා ගත නොහෙන දුකක්ම බව අපට දැනේ.

වසර නවයක සේවා කාලයක් සම්පූර්ණ කරමින් ජීවිතය ඇරඹූ ක්‍රීඩාවට හපන්, මහජන සම්බන්ධතා සුරැකි දීප්තිමත් ජීවිතයක් අකල්හි අහිමි වීමේ පාඩුව රටට දැනෙන්නකි. ගිරිඋල්ල විල්ගමුවේ පදිංචි වී සිටි අවිවාහක සම්පත්ගේ අනාගත සිහින ලෝකය තවත් ජීවිත තුනක් වෙනුවෙන් බිලි වූ අයුරු ශෝකජනකය. ඔහුගේ වීර භූමිකාව පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයෙහි මෙන්ම ජනතාවගේ සිත් සතන් හි ද නොමැකෙන ලෙස සටහන් වී හමාර යැයි සිතමි.

පොලීසියේ සිටින ආදරය හඳුනන මානව දයාව පිරි හදවතින් යුතු පුද්ගලයන් පිළිබඳ මෙම කතාවේ දෙවන කතානායකයා වන්නේ ගොකරැල්ල පොලීසියේ කොස්තාපල්වරයකු වූ කේ.ජී. විමලරත්නයි. ඔහුගේ කතාව ඩිලාන් සම්පත්ගේ කතාවට වඩා හාත්පසින්ම වෙනස් වුවත්, එය සිත කම්පාකරන අනුවේදනීය සිදුවීමක් ලෙසයි අපට දැනෙන්නේ. විමලරත්න 48 හැවිරිදිය. තිදරු පියෙකි. රිදීගම, කිතුල්ගල්ල, ඊරියගොල්ල පදිංචිකරුවකු වූ විමලරත්නගේ බිරිය, ඩබ්ලිව්.කේ.කේ. නිල්මිණී කොස්තාපල්වරියකව සිට සේවයෙන් ඉවත් වූ කාන්තාවකි. වසර හතරකට පමණ පෙර, විමලරත්න තම බිරිය හා දරුවන් සමඟ බිරියගේ ගමට, එනම් තංගල්ලට ගොස් පැමිණෙන මොහොතේ ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රිය අනතුරකට ලක් වී බිරිය බරපතළ තුවාල ලැබුවාය. ඇගේ කොඳු ඇට පෙළට සිදුවූ හානි නිසා ඉනෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අක්‍රිය වී නිවසේ ඇඳකට වී ප්‍රතිකාර ලබන්නට සිදු වූවාය. විමලරත්න , බිරියගේ රෝගී තත්ත්වය පිළිබඳ දැඩි ලෙස දුකට පත්ව සිටියේය. ඈ ඔහුට දායාද කළ දරුවන් තිදෙනා රැක බලා ගනිමින් රාජකාරියේ යෙදුණ ද, ඔහුගේ සිත නිතර නැවතී තිබුණේ බිරිය නිල්මිණි ළඟමය.

එහෙත් පසුගිය 25 වන සිකුරාදා ඔහුට අසන්නට ලැබුණු දුක්මුසුම පුවත අදහා ගන්නට, විඳ දරා ගන්නට ඔහුට නොහැකිවූයේය. ඔහුගේ සෙවණැල්ල සේ රෝගීව වුවත් ජීවත්ව සිටි බිරිය රෝගී තත්ත්වය උත්සන්නව මිය ගියාය යන පුවත ඔහුගේ ජීවිතයේ ද දුක්මුසුම අවස්ථාව වේ යැයි කිසිවකුටත් නොසිතෙන්නට ඇත. එහෙත් එය එසේ සිදු වී හමාරය. ඒ මොහොතේ ඔහුට දරුවන් තිදෙනා සිහියට නැඟුණේ නොමැත. ඔහු පොලිස් නිවස්නය වෙත ගොස් තමාගේම රාජකාරි පිස්තෝලයෙන් හිසට වෙඩි තබා ගන්නේ බිරිය ගිය ලොවටම යන්නට විය යුතුය. අවුරුදු නවයක්, හතක්, හා පහක් වයසැති දියණියන් දෙදෙනා හා පුතණු තම මාපියන්ගේ වියොව දරා ගත නොහී හඬන්නට පටන් ගන්නේ මෙපුවත ඇසු දුටු සියල්ලන් ගේ සිත් නෙත් දුකින් කඳුළින් පුරවාලමිනි. එකම දවසක දී අම්මාත් තාත්තාත් දෙදෙනාම ජීවිතයෙන් සමු ගත් පසු ඔවුන් දෙදෙනා සෙවණේ වැඩුණු දරුවන් තිදෙනකුට දැනුණු දුක ශෝකය කෙබඳුදැයි සිතා ගැනීම අපහසු නොවේ.

විමලරත්න තම ගිනි අවියෙන්ම දිවි තොර කර ගැනීම අපට පෙනෙන්නේ, තම ප්‍රාණ සරි බිරිය කෙරෙහි ඔහු සිත තුළ වූ අප්‍රමාණ ආදර භක්තිය හා දයාව පිරුණු ස්වාමිපුරුෂයකු ගේ ක්ෂණික එහෙත් එක්තරා ආකාරයක අනුවණ තීරණයක් ලෙසයි. එකම දින මව්පියන් අහිමි වූ දරුවන් තිදෙනකුගේ අනාගත ජීවිතය කෙබඳු විය හැකිද? මේ දියණියන් හා පුතුගේ අනාගත ජීවිතයට රැකවරණය සැලසීමට ඔවුන්ගේ මුත්තණුවන්ට, මිත්තණියන්ට, අනෙක් ඥාතීන්ට හැකිවේද? මේ දරුවන්ගේ අධ්‍යාපනය, සුරක්ෂිතභාවය, රැකවරණය සලසන්නට ඉදිරිපත්වන්නෝ අප අතර වෙත්ද? සිය පණ හානි කර ගැනීම අනුවණ ක්‍රියාවක් සේ අපට හැඟුණ ද කොස්තාපල් විමලරත්න හා ඔහු බිරිය අතර පැවතියා වූ ගේහසිත ප්‍රේමයේ උදාරත්වය නොවේ ද තම බිරිඳගේ වියොව පිළිබඳ පුවත ඇසූ සැණින් සිත වාවා ගත නොහී ඔහු ද ඈ සොයා එලොවට යන්නට හේතු වූයේ? පොලීසියේ බහුතරය හැඩි දැඩි, සැර පරුෂ ළතෙත් ගුණය හද නොරැඳුණු පිරිසක් සිටින රාජ්‍ය ආයතනයක්ය යන්න විමරත්නගේ දිවි පිදුම පුවතින් ප්‍රතික්ෂේප වේ. මුහුණු පොත, සමාජ මාධ්‍ය ජාලා ඉදිරියට පැමිණිය යුත්තේ මෙවන් සමාජ සංසිද්ධීන් වෙනුවෙනි.

දෙමාපියන් අහිමි වූ දරුවන් තිදෙනකුගේ අනාගත ජීවිතය, ඔවුනගේ අධ්‍යාපන කටයුතු, ජීවත්වීමට අවශ්‍ය මුදල් හදල් පිළිබඳ සොයා බලන්නට ඉදිරිපත් වන්නෝ අප අතර නොවෙත්ද? විමලරත්න කොස්තාපල්වරයා සිතෙහි වූ ආදරය තරම්, මිනිසුන් කෙරෙහි පතළා වූ ආදරය, දයාව, කරුණාව සිත පිරුණු මිනිසුන් අප සමාජයෙහි තවමත් ජීවත් වන බව අපට විශ්වාසය. මානව දයාවෙන් පිරුණු හිතැත්තෝ මේ අහිංසක, අසරණ දරුවන් තිදෙනා දෙස බලත්වා! ඔවුන්ගේ ජීවිත රැක ගනිත්වා!

බුද්ධදාස ගලප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...