තොර­තුරු පන­තයි සුද්ද පුතයි | දිනමිණ

තොර­තුරු පන­තයි සුද්ද පුතයි

කෝච්චි ගමනාගමනයේ මොකක් හරි හුටප්පරයක්. ප්‍රධාන පාරේ අදත් කෝච්චි නෑ. ටවුමට ගිය ඉස්කෝලෙ මහත්තයා ඉහින් කනින් දාඩිය පෙරාගෙන පෙට්ටිකඩේ ළඟට ආවා. '‍අදත් කෝච්චිය පරක්කුයි අනේ මන්දා' ඉස්කෝලෙ මහත්තයා, කළු ජෙමාගෙන් ප්ලේන්ටියක් ඉල්ලන ගමන් කීවා. 'චහ්' සුද්දා පුතා ඔළුව අත ගහ ගත්තා. කෝච්චි ප්‍රමාදයයි, සුද්ද පුතාගෙ ඔළුවෙ අතගහගැනිල්ලයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉස්කෝලෙ මහත්තයා, කළු ජෙමාගෙ මූණ බැලුවා. කළු ජෙමා යාන්තමට හිනාවෙලා බිම බලාගත්තා.

“මොකෝ ඉස්කෝලෙ මහත්තයා වෙලා තියෙන්නේ?“ සුද්ද පුතා ඇහුවා.

“මාත් හරියට දන්නෙ නෑ. අර ස්ට්‍රයික් එකක්ද කොහෙදත් තිබ්බනෙ. මං හිතන්නෙ ඒ ප්‍රශ්න හරිහැටි විසඳිලා නෑ වෙන්න ඇති“

“ඔව්. ඔව්. මං ඊයෙත් ප්‍රවෘත්තිවලට ඒ ගැන එක එක වෘත්තීය සමිති එක එක කතා කියනවා දැක්කා. ඒවායෙත් ඉතිං සමගියක්, එක කතාවක් නෑ නොවැ“ කළු ජෙමා කීවා.

“මං අහන්නෙ ඇත්තටම මොකද දන්නෙ නෑ වෙලා තියෙන්නේ?“ සුද්ද පුතා ආයෙම ඇහුවා.

“එච්චර සහ සුද්දෙන් ඕක උඹට දැනගන්න ඕන තියෙන්නෙ මොකටද? මොකෝ උඹ කෝච්චියේ යන එන එකෙක් නෙවෙයි නොවැ“ ඉස්කෝලෙ මහත්තයා කඩා පැන්නා. සිද්ධවෙච්චි‍ දේට පොඩි ලැජ්ජාවක් වගේ දැනුණත්, සුද්ද පුතත් ඉතිං පුතය වගේ ඔළුව ටිකක් කහල, ඉස්කෝලෙ මහත්තයාගෙන් ගේම ඉල්ලුවා.

“මං මේ රටේ පුරවැසියෙක්. මේ ක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මටත් තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා“ සුද්ද පුතා කීවා. මට ටිකක් හිනා ගියා.

“ඇයි බණ්ඩි මාමා හිනාවෙන්නේ?“ ඌ මටත් තර්ජනය දාන්න ගත්තා.

“නෑ. මටත් හිනාවෙන්න අයිතියක් තියෙනවා“ මං ගාණකට නොගෙන කීවා.

“ඒක නෙවෙයි සුද්දා. ඉතිං උඹට පුළුවන් නොවැ අර තොරතුරු පනත යටතේ කොච්චි ප්‍රමාද ඇයිදැයි අහලා දුම්රිය දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියාට ඉල්ලීමක් යවන්න. එහෙම වුනාම මනුස්සයා සුටුස් ගාලා තොරතුරු දෙයි“ ජෙමා, පෙට්ටිකඩේ ලෑලි අස්සෙන් එබි එබී සුද්ද කොල්ලා අවුස්සනවා.

“ඒක පුළුවන් තමා. ඒත් මං මේ කල්පනා කරලා බැලුවේ එහෙම ඉල්ලුවාට ලැබෙන්නෙ අවුරුදු තිහකින් නම් වැඩේ කේස්“ සුද්දා පුතා කීවා.

“ඒ මොකෝ. බන් මොකක්ද ඒ හරුපෙ තේරුම?“ ඉස්කෝලෙ මහත්තයා ඇහුවා.

“ආන්න ඒකනෙ කියන්නෙ. ඉස්කෝලෙ මහත්තයා වුනත් මොනවද දන්නේ? අර කාගෙදෝ ලාච්චුවෙන් ලක්ෂ ගණන් ගත්තැයි කියන 118 දෙනෙක් ගැන කතාවෙ. ඒ අය ගැන තොරතුරු දෙන්න පුළුවන් වෙන්නේ අවුරුදු තිහකින් කියලා නොවැ කියන්නේ“ සුද්ද පුතා කීවා.

“ඒ වගේ සීරියස් දේවල් වගේයැ බන්. මේ කොච්චි ගැනනෙ? උඹට සුටුස් ගාලා දෙයි“ ඉස්කෝලෙ මහත්තයා කීවා.

ඔය කතා බහ යද්දී ඈතින් පන්සලේ ලොකු හාමුදුරුවෝ වඩිනවා. පිටිපස්සෙන් උන්වහන්සේගෙ කුඩෙත් අරන් අබරං ආතා යනවා. ඊටත් පිටුපසින් ඇබිත්තයා යනවා. එකත් එකටම 'පන්සලේ ඉඩම් නඩුව ගැන කතා බහකට පෙරකදෝරු මහත්තයලැ දිහා යනව වෙන්න ඇති' මට හිතුණේ එහෙමයි. මේ ගමන දැකපු සුද්ද පුතා, ඉස්කෝලෙ මහත්තයා දිහාට හැරුණා.

“ඉස්කෝලෙ මහත්තයා ඔය කියන ‍තොරතුරු අයිතිය යටතේ පන්සලේ පිං කැටේ තියෙන ගාණ දැනගන්න විදිහක් තියෙනවද?“

“හ්ම්...මං දන්නෙ නෑ.“ ඉස්කෝලෙ මහත්තයා කීවා.

“මමත් දන්නෙ නෑ. ඒත් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්ට ලියලා ඇහුවොත් ඒක දැනගන්න පුළුවන්ද බැරිද කියන එකට නම් උත්තරයක් ගන්න පුළුවන් වෙයි“ මං කීවා.

“ඒකට උත්සාහයක් ගන්න ඕන“ එහෙම කියපු සුද්ද පුතා, ඉස්සි ඉස්සී පාර දිහා බලනවා. මේ වෙද්දි හාමුදුරුවෝ ඇතුළු තුන්දෙනත් වංගුවෙන් හැරිලා පෙන්නෙ නැති තරම් දුරට ගිහින්. 'දැන් උඹ ඔය පාර බලන්නෙ තොරතුරු පනත යටතේ දැනගන්න බැරි දෙයක් දැනගන්නද? කළු ජෙමා ඇහුවා. ඒ කතාවට ඉස්කෝලෙ මහත්තයටත් හිනා ගියා. ඒ දෙන්නා දිහා රවා බලපු සුද්ද පුතා, තමන් කාපු බනිස් ගෙඩියේ සල්ලි 'සරාස්' හඬින් පොඩි සල්ලිවලින් පෙට්ටිකඩේ කැෂියර් වීදුරුව උඩින් තිබ්බා. ඒ වෙලාවෙ මාලා නැන්දා, තමන්ගෙ දෝණියන්දැත් එක්ක ටවුමට ගිහින් එනු ඈත තියා දුටුවා. සුද්ද පුතාගෙ බෙල්ල ටිකක් ඉස්සිලා මූණ කළු ගැහුණා. අහළ ලයිට් කණුවකට හේත්තු කරලා තිබිච්චි බයිසිකලය අරන් හදිසියේම පැඩ්ල් කරලා පාරට ගත්තා. මාලා නැන්දත් හනි හනික ගිනි කසයා වගේ එතෙන්ට ආවා.

“අර නොසන්ඩාලයා මෙතන හිටිය නේද? මං ඕකව හම ගහන්නයි හෙව්වේ“ මාලා නැන්දා කියනවා. ඉස්කෝලෙ මහත්තයා වටපිට බලනවා. ඒ වෙද්දි සුද්ද පුතා පේන තෙක් මානයක නෑ. කළු ජෙමා බිම බලාගනෙ හිනාවෙනවා. මං ඉතිං මොකුත්ම නොදන්නා නිසා සද්ද නැතුව හිටියා.

“යං අම්මෙ යං “ දෝණි, අම්මගෙන අතින් ඇදගෙන යන්න ගියා. කළු ජෙමා තාමත් හිනාවෙනවා. මාලා නැන්දයි, දෝණියන්දැයි ටිකක් ඈතට ගිහින් නොපෙනී ගියා. පාරෙ අනිත් පැත්තෙන් ආයෙමත් සුද්ද පුතා බයිසිකලයත් එක්කම මතුවුණා.

“ඔන්න දැන් නම් කෝච්චි ස්ට්‍රයික් එකයි, තොරතුරු පනතයි අතර තියෙන සම්බන්ධය තේරෙනවා“ ඉස්කෝලෙ මහත්තයා හිනාවෙවී කීවා.

“තොරතුරු වුණත් ඉල්ලන්න ඕන යහපත් චේතනාවෙන්. එහෙම වුණානම් දාඩිය පිඹගෙන මහ දවල් ඔය වගේ වටයක් බයිසිකලය පදින්න වෙන්නෙ නෑනේ“ කළු ජෙමත් කීවා.

ඒත් ඉතිං අන්තිමට කවුරු කවුරුත් කරලා තියෙන්නේ සුද්ද පුතාට කඩේට ගිහින් තියෙන එක විතරයි. ඒකට උත්තර දෙන්න මොකට වචන අපෙතෙ යැව්වද මන්දා. කාලය කන්නයි, ආතල් ගන්නයි ප්‍රශ්න අහන හැමෝටම උත්තර දිදී කාලය නාස්ති කරගන්න එක ‍කොයි තරම් මෝඩ වැඩක්ද? මමත්, මටම හිනාවෙමින් එන්න හැරුණා.

බණ්ඩි රාල

නව අදහස දක්වන්න