මාධ්‍ය විෂය නිර්දේශ සහ ආප්ප | දිනමිණ

මාධ්‍ය විෂය නිර්දේශ සහ ආප්ප

ඇම්බන් මහත්තයා කොමිපියුටරේ ඒ මේ අත යමින් සිටියේය. ඒ අතර හදිසියේ දුටුවේ උසස් පෙළට මාධ්‍ය විෂය නිර්දේශයක් අලුතින් දාලා තිබෙන බවයි. හරිම අපූරුය. ඉස්සෙල්ලා එකත් අංජබජල් වෙච්චි එකේ මේ සැරේ නම් ටක්කෙටම හරියට හදලා ඇති. ඇම්බන් මහත්තයා විෂය නිර්දේශයේ අන්තිම පිටුව දක්වා කියවා ගෙන ගියේය. බැලින්නම් විෂය නිර්දේශය හදාපු ලේඛක මණ්ඩලයක නමුත් දාලාය.

‘‘ ටොම්සන් මහත්තයා... දැන් මේ විෂය නිර්දේශ හදන කොට ලේඛක මණ්ඩල ඉන්නවාද? මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ... කියා ඇම්බන් මහත්තයා ටොම්සන් මහත්තයාගෙන් ඇසුවේය.

‘‘ ඒ මොකද ඇම්බන් මහත්තයා...?

‘‘ දැන් මේ තියෙන්නේ අභ්‍යන්තර ලේඛක මණ්ඩලයකුයි. බාහිර ලේඛක මණ්ඩලයකුයි. එහෙම ඉන්නවද? කියා ඇම්බන් මහත්තයා නැවතත් ඇසුවේය.

‘‘ මේකයි ඇම්බන් මහත්තයා... විෂය නිර්දේශයක් කියන්නේ රටක ජාතික ලියවිල්ලක්. ඒක හදන්න පුද්ගලයන් සහභාගි වෙනවා තමයි.. ඒ වුණාට ඒ පුද්ගලයන් අයිතිකාරයෝ වාගේ විෂය නිර්දේශයේ පෙන්නන්නේ නෑ... එහෙම පෙන්නන්නේ ගුරු අත්පොතේ විතරයි නේ... අනික විෂය නිර්දේශයකට ඉන්නේ සම්පාදක මණ්ඩලයක්, උපදේශක මණ්ඩලයක්, සම්පත්දායක මණ්ඩලයක් නේ... මේකනේ දැන් ඔය ඔස්තාද්ලා විෂය නිර්දේශ හැදීමේ ශාස්ත්‍රීය ප්‍රමිතීන් මොකක්වත් දන්නේ නෑ නේ.. ඒක නේ ඔය විදිහට නම් ලැයිස්තු දාන්නේ. ඉතින් කියන්නකෝ ඇම්බන් මහත්තයා ඔය ඔස්තාද් ලේඛකයෝ කවුද කියලා...

ඇම්බන් මහත්තයා ඉස්සෙල්ලා කීවේ අභ්‍යන්තර ලේඛක මණ්ඩලයයි. ඒක අසා සිටි ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

‘‘මොකද ටොම්සන් මහත්තයා නිකම් කොචොක් එකට...“ කියා උන්නැහේද එතැනට එමින් ඇසුවේය.

‘‘ වෙන මොනව කරන්නද උන්නැහේ.. දැන් ඔය අභ්‍යන්තර ලේඛක මණ්ඩලයේ ඉන්න තුන් දෙනා ගෙන් දෙන්නෙක්ම ඔය සන්නිවේදනය විෂය ගැන ඉගෙන ගත්තේ නැති අය නේ.. එතකොට එහෙම අයද මේ ඉස්කෝලේ ළමයින්ට ඉගෙන ගන්න විෂය නිර්දේශ හදන්නේ... ?

‘‘ දන්නේ නෑ ටොම්සන් මහත්තයා... ඔන්න බාහිර ලේඛක මණ්ඩලය... “ කියා ඇම්බන් මහත්තයා බාහිර ලේඛක මණ්ඩලයේ නම් ටික කියෙව්වේය.

ටොම්සන් මහත්තයා ආයෙත් හොක් හොක් ගා සිනහසුණේය.

‘‘ මට නම් අල්ලන්නේ නෑ ටොම්සන් මහත්තයා මේ ජාතික විෂය නිර්දේශයකට ඔහොම කොචොක් කරන එක... එහෙම නෙවෙයි ටිකක් ශාස්ත්‍රීය විදිහට කතා කරන්නකෝ... “ කියා උන්නැහේ කීවේය.

‘‘ හරි.. ශාස්ත්‍රීය විදිහට මෙහෙමනේ.. ඔන්න එක ඔස්තාද් කෙනෙක් තමයි ගිය සැරේ උසස් පෙළ විෂය නිර්දේශය හදන කොට කට් ඇන්ඩ් පේස්ට් ක්‍රමයට ඒක සංශෝධනය කළේ...“ කියා ටොම්සන් මහත්තයා අභූත කතාවක් කීවේය.

‘‘ මට නම් තේරෙන්නේ නෑ... ඒ කතාව...“ කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් කීවේය.

‘‘ ඒක මෙහෙමනේ.. ඔන්න කතුරකුයි ගම් ටිකකුයි කඩදාසි ටිකකුයි ගේන්න කීවා. ඊට පස්සේ අර හදලා තිබු‍ණු විෂය නිර්දේශය කතුරෙන් කෑලි කෑලිවලට කැපුවා... ඊට පස්සේ අර කඩදාසිවල ඒක කෑලි කෑලි ඇලෙව්වා. ඔන්න එතකොට කවුරු හරි ඇහුවා දැන් ඔය කෑලි කෑලි අලවන්නේ මොකක්ද ඒකේ අරමුණ කියලා.. ඉතින් මේ ඔස්තාද් උන්නැහේ කිව්වා.. කැමති අරමුණක් පස්සේ දාගන්න කියලා.. ඔන්න විෂය නිර්දේශ හැදිල්ලේ කතාව...“

‘‘ හරි ඉතින් එක්කෙනයි නේ... ඔය අනික් කෙනා ගැන මොකද කියන්නේ? ටොම්සන් මහත්තයාට ඒ ගැන නම් කියන්න දෙයක් නෑ...“ කියා උන්නැහේ කුතුහලයෙන් යුතුව ඇසුවේය.

‘‘ ඔව්.. ඒක නම් එහෙම තමයි.. ඒ ඔස්තාද් තමයි අර අවලංගු කරපු විෂය නිර්දේශය හැදුවේ. නිකම් හිතන්න කොන්ත්‍රාත්කාරයෙක් වැරදි විදිහට ගොඩනැගිල්ලක් හැදුවොත් ඒ කොන්ත්‍රාත්කාරයා අසාදු ලේඛනගත කරනවානේ.. මේවා එහෙම නෑ... අවලංගු කරපු විෂය නිර්දේශයේ කෑලි මේකට ගන්න එපායැ.. දැන් එහෙම තමයි ඒක හදලා තියෙන්නේ...කියා ටොම්සන් මහත්තයා හුන් තැනින් නැඟිට්ටේය.

‘‘ අනේ මන්දා ටොම්සන් මහත්තයා... එතකොට ඉස්කෝලේ ළමයි මේවාද ඉගෙන ගන්නේ..?“ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ නැතුව නැතුව... ඉතින් අනිත් ඔස්තාද් ගැන කීවේ නෑනේ..“ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ ඔතන එක ඔස්තාද් කෙනෙක් පහු ගිය කාලේ පෙළ පොත් ලියන්න ගිහිල්ලා වරද්දපු කෙනෙක්. ඒ ගෞරවයට තමයි මේ කමිටුවට ගත්තේ. “

‘‘ එතකොට මේ ගුරුවරු තුන් දෙනෙක්ම ඉන්නේ... ඒ ගොල්ලෝ කොහොමද ?

‘‘ කොහොමවත් නෑ.. ඉතින් එහෙයි කියන එක නේ.. මොකද ගුරා සහ ගෝලයෝ නාට්‍යය නේ... නැතිනම් මේකේ ඔය සහජීවනය සඳහා සන්නිවේදනය, සන්නිවේදන කුසලතා හා නිපුණතා වගේ අත්‍යවශ්‍ය පාඩම් අයින් කරලා.. සිද්ධි කළමනාකරණය, සන්නිවේදනයේ අධ්‍යාපනයේ ඉතිහාසය, සන්නිවේදන සමීක්ෂණ වගේ පාඩම් දායියැ... ඒ ඔක්කොටම වැඩිය බරපතළ කාරණේ ඕක නෙවෙයි..

‘‘ ඒ කියන්නේ...?

‘‘ දැන් ඔය ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සාමාජිකයෙක් ඉන්නවානේ බාහිර ලේඛක මණ්ඩලයේ. එතකොට ඔය ජාතික අධ්‍යාපන පනතට අනුව එහෙම ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සාමාජිකයෙක්ට විෂය මාලා කමිටුවක ඉන්න බෑ. නීති විරෝධියි. මොකද විෂය මාලා කමිටුව හදන විෂය නිර්දේශ ගැන ප්‍රශ්න කරන්න බලය තියෙන්නේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයට නේ.. මෙහෙම වුණාම මොකද වෙන්නේ... ප්‍රශ්න කිරීමක් නෑ.. අනුමත වෙනවා. ඉතින් මේ කාරණේ හින්දම මේ විෂය මාලා කමිටුව නීති විරෝධියි. ඒ හින්දම මේ විෂය නිර්දේශයත් අවලංගුයි. ඒකයි ඇත්ත කතන්දරේ... කියා ටොම්සන් මහත්තයා කතාව නැවැත්තුවේය.

බන්දුල පී දයා­රත්න

නව අදහස දක්වන්න