ජපන් කවියේ කඳුළු බිඳුව | දිනමිණ

ජපන් කවියේ කඳුළු බිඳුව

සගවා චිකා ,යොසානෝ අකිකෝ

තම නිර්මාණ ලොව පුරා විසිර සිටින කාව්‍යලෝලීන් අතර පැතිර යනු දැකීමට අකමැති කවියකු හෝ කිවිඳියක මෙදියත සිටී දැයි සිතනු නොහැකිය. එහෙත් ඒ භාග්‍ය අත්පත් වන්නේ සීමිත පිරිසකට පමණි. ඔවුහු එක් එක් යුගයේ පහළ වූ විශිෂ්ටතමයෝ වෙති. නොඑසේ නම් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය වැනි දෙයකින් විශේෂ අවධානයට ලක්වූවෝය. සයිබර් අවකාශය ද, ආධුනික කවි කිවිඳියනට පවා නිදහසේ ලොව පුරා පියා සලන්නට ඉඩ සලසා දුන්නද, ඔවුනතරින් විශිෂ්ටයන් බිහිවීම නම් දුලබය.

කවියක් මුහුදින් එතෙර පැතිර යාමට භාෂාව ද හරස් වෙයි. බොහෝ විට එය ගමන් කරනුයේ වෙනත් භාෂාවකට පෙරැළීමෙනි.

යොවුන් වියේදීම කවි සිත විකසිත කර ගත් සගවා චිකා (Sagawa Chika) නමැති ජපන් කිවිඳියක ද, තම කවි පියාපත් ලබා ලොව පුරා පියාසලනු දැකීමේ ආශාවෙන් පසුවූවාය. එහෙත් දිගු ඉතිහාසයක් ඇති, මහා කාව්‍ය සම්ප්‍රදායකට උරුමකම් කියන ජපන් සාහිත්‍ය ලෝකය තුළ ඇය නිදැල්ලේ පාවී යන එක් සකුරා මලක් පමණක් විය.

හොකයිඩෝ දූපතේ උපන් සගවා වයස 17 දී තෝකියෝවට ගියාය. එහි විසූ ඇගේ සොහොයුරකු වූ කවසාකි නිබොරු, සාහිත්‍ය කවයන්හි ජනප්‍රිය චරිතයක් විය. ඔහු සඟරා සංස්කාරකවරයකු මෙන්ම නූතනවාදී කවියකු ද වූයෙන්, සගවාට ද තම කවි ශක්තිය දියුණු කර ගැනීමට මං පෑදුණි. එසේ ම, කවසාකිගේ මිතුරකු වූ ඉටෝ සෙයි, ඇගේ සිත දිනා ගත්තාය. එය පෙරළා නොලද ආදරයක් ලෙස ද සැලකේ.

වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක වූ සගවා බටහිර ලේඛක ලේඛිකාවන්ගේ කෘතීන්, ජපන් බසට පරිවර්තනය කළාය. ජොයිස්ගේ ‘යුලිසිස්‘ නවකතාව ද ඒ අතර විය. සගවාගේ පරිවර්තන සඟරාවල පළ කෙරුණි. ඒ අතරට ඇගේ ප්‍රථම කවිය ‘කෘමියෝ‘ (Insects) ලියැවුණි.

සගවා කිවිඳිය තෝකියෝවට යාමට ‍වසර පහකට පෙර එහි සිදුවූ මහා භූමිකම්පාව ජනජීවිතයට මහත් බලපෑමක් ඇතිකොට තිබුණි. එය සංස්කෘතික චින්තනය තුළ ද වෙනස්කම් ඇති කළේය. 1920 පසුවත්ම, ජපානයට බටහිර කලා මතවාද ගලා එන්නට විය. ඩාඩාවාදය, අනාගතවාදය, සංකේතවාදය හා අතිසත්වාදය, සාහිත්‍යකාමී තරුණ පරම්පරාව තුළ ආකර්ෂණයට ලක්විය.

ජපන් තරුණ පරපුර තුළ මොගාස් හා මොබෝස් (Mogas - Mobos) නමින් හැඳින්වුණු බටහිර ගැති අලුත් කල්ලියක් බිහිවුණි. ඔවුහු රාත්‍රී සමාජ ශාලා ජීවිත ගතකරමින්, ජෑස් සංගීතය රසවිඳිමින් බටහිර ඇඳුම් විලාසිතා අනුකරණය කරමින් නව දිවි පෙවෙතකට හුරු වූහ. සගවාගේ කවිය ස්ථානගත කෙරෙන්නේ එබඳු පරිසරයකය.

ජපන් සාහිත්‍යයේ කාන්තා ආගමනය සිදුවන්නේ 11 වන සියවසේදී, මුරසාකි ෂිකිබු ආර්යාව විසින් ‘ගෙන්ජි මොනොගතරි‘ වෘත්තාන්තය රචනා කිරීමෙන් බව ප්‍රකටය. එසේම 9 - 14 ශතවර්ෂයන්හි විසූ රාජ සභා කිවිඳියන් හා ‘කොජිකි‘ නමින් හැඳින්වුණු පැරණි ජන කවි නිර්මාණය කළ කතුන් ද ජපන් කවියේ මුල් යුගයේ ඉදිරි පෙළෙහි දක්නට ලැබුණි.

අතීතයේ සිට පැවත ආ සාම්ප්‍රදායික කවියෙන් මිදුණු සගවා චිකාගේ කවිය, අතිසත්වාදි (Surrealism) ලක්ෂණ පිළිබිඹු කළේය. ඇය මෙන්ම ඇගේ සමකාලීන කිවිඳියන් කීප දෙනා ද ටන්කා, හයිකු වැනි රීතීන්ගෙන් මිදී, ගවේෂණාත්මක නව කවියකට පුරෝගාමී විය. ඔවුන්ගේ නව කවි ‘Shi to Shiron‘ (Poetry and Poetics) කවි සඟරාවෙහි පළ කෙරුණි.

පසුකාලීනව සගවාගේ කවිය විචාරයට ලක්කළ ඇතැම් විචාරකයෙක්, ඇය නූතනවාදී වුවද, පැරණි වකා ශෛලියද එහි දක්නට තිබූ බව හෙළි කළේය. ‘Pomonade‘ නමැති කවිය ඊට නිදසුනක් ලෙස දැක්වුණි.

බොහෝදෙනකු නොසිටියත්, සගවාගේ සමකාලීන කිවිඳියන් අහුර සමන්විත වූයේ හිතුමතේ කවි ලියූ නිදහස් මතික තරුණියන්ගෙනි. නිදසුනක් ලෙස ඇගේ මිතුරියක වූ එමා ෂෝකෝ (Ema Shoko) ගේ කවි, සිත් අවුළුවාලන තරම් සරාගී විය. සගවාගේ සමකාලීන, යොසානෝ අකිකෝ (yosano Akiko), සමාජවාදයට නැඹුරු යුද විරෝධී හා ස්ත්‍රීවාදී කිවිඳියක වූවාය. විචාර ලිපි හා නවකතාකරණයේද යෙදුණු අකිකෝ, ජපන් කාව්‍ය සම්ප්‍රදායන්හිද ආභාෂය ලබන්නට මැළි නොවූවාය. අකිකෝගේ කවි අගැයූ, අමෙරිකානු කිවියර කෙනත් රෙක්සෝත් වරක් සඳහන් කළේ, ඇය ලෝකයේ විශිෂ්ටතම කිවිඳියන් හා සමතැන්හි තැබිය හැකි බවය. (අදාළ කරුණක් නොවුණද, යොසානෝ අකිකෝ දරුවන් 13 දෙනෙකු මෙලොවට බිහිකළ බවද සඳහන් කරනු කැමැත්තෙමි. ඉන් පැහැදිලි වනුයේ ඇය ඉතා නම්‍යශීලී, කිංකර භාර්යාවක බව නොවේද? කෙසේ වෙතත්, අකිකෝ කිවිඳියගේ කව් තුළ ඇගේ මව් ගුණය කෙළෙස පිළිබිඹු වීදැයි කීමට මට දැනුමක් නැත. 1999 දී අකිකෝ කවි එකතුවක් ඉංග්‍රීසියෙන් පළවුණි. ‘River of Stars - Selected Poems of Yosano Akiko‘ නමැති එය, ඇගේ නිර්මාණ බටහිර ලෝකයට ගෙන ගියේය.)

මුහුදින් එතෙර රටවලට තම කවිය ගෙන යාමේ සිහිනය සැබෑ කරමින්, සගවා චිකාගේ කවි දහයක් සහිත කව් එකතුවක් 2011 දී ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණි. 2015 දී දෙවෙනි වරටත් ‘The Collected Poem of Chika Sagawa‘ නමින් කව් එකතුවක් පළකෙරුණු අතර, ඒ දෙකෙහිම පරිවර්තිකාව වූයේ සවාකෝ නකයාසු (Sawako Nakayasu) ය.

ජපන් කවියට පොදු ලක්ෂණයක් වන සොබාදහම, සගවා චිකාගේ කවි තුළද නොතිබුණා නොවේ. එහෙත් ඇගේ බොහෝ කවි සංකල්පනාවන්, අළු පැහැති සැඳෑවක සුළ‍ඟේ පාව යන කළු පැහැ සේලයන් බඳු විය. ‘ඩාඩා‘ කලා ගෝත්‍රයට ‘ශුන්‍යත්වය‘ (Nothingness) ප්‍රියතම වචනයක් වූවාක් මෙන්, සගවාගේ කවි තුළින්ද නිතරම අපේක්ෂා භංගත්වයක් හා අවිනිශ්චිත භාවයක් පිළිබිඹු විණි. මරණය ඇගේ වදන් වැල් තුළින් එබිකම් කළේය. ඊට හේතුවක් තිබුණි.

සගවා කිවිඳිය ඉතා තුරුණු වියෙහිදීම ආමාශයේ පිළිකාවකට ගොදුරු වූවාය. එකල අද තරම්වත්, පිළිකාවට ප්‍රතිකාර නොවූයෙන්, එය දින නියමයක් නැති මරණ දඬුවමක් සේ ඇය මානසික හිංසනයකට ලක් කළේය. ජීවිතයත්, මරණයත් අතර දෝලනය ඇගේ කවියට රිද්මය සැපයීය. පහත දැක්වෙන්නේ ‘මල බැඳුණු පිහිය‘ (Rusty Knife) මැයින් ඇය ලියූ කවකි.

නිල් පැහැති ගොම්මනේ

මීදුම බැඳුණු කවුළුවකි.

කතකගේ ගෙල සදිසි පහනක්

සෙමින් ඒ මේ අත සැළෙයි.

තනි පොරෝණාවක් සේ

අඳුර ඇතිරෙයි. කුවිය තුළ

පොත්, තීන්ත සහ මල බැඳුණු පිහිය

කිමෙක්ද පවසනුයේ මේ

කෙමෙන් කෙමෙන්

සොරාගෙන යන බවකි

ම දිවිය මවෙතින්.

සෑම දෙයෙහි අවඥා බැල්මකි

රාත්‍රිය දැනටමත් මා අසය.

සගවාගේ ඇතැම් කවි, සැල්වදෝර් දාලිගේ චිත්‍ර හා සමාන යැයි එක් විචාරකයෙක් ලියා ඇත. ඒවා අති වේදනාවන් හා අති රමණීයත්වය අතරින් උපන් පරිකල්පනාවන්ය. ‘මතක සයුර‘ (Ocean of Memory) ඊට නිදසුනකි.

අපිළිවෙළ හිස කෙස්

උර‍හිසෙහි විහිද ගිය

උමතු කත අයාලේ ඇවිද යයි

සුදු වදන් ගොන්නක්

සුන්බුන්ව යයි - අඳුරු සයුරෙහි.

කැඩුණු එකෝඩියනයක්

සුදු අසෙක් හා කළු අසෙක්

පෙණ පිඬු නංවමින්

කුණාටු සයුර තරණයෙහි.

දුලබ කවිත්වය ඇති අය, තම පළමු කවියෙන්ම පූර්ණ අනන්‍යතාව පළකර සිටිති. සගවා චිකා ද එබඳු කිවිඳියකි.

සගවාට ජීවත්වීමට ලැබුණේ අවුරුදු 24 ක් වැනි කෙටි කාලයකි. තාරුණ්‍යය පසුකර යාමටත් පෙර, ඇය ජපන් කවිය තුළ තම ලකුණ සළකුණු කර තැබුවාය. පහත දැක්වෙන කවි ත්‍රිත්වය, ජපන් බසින් සිංහලට නැඟුවේ නිර්මලා පොන්නම්පෙරුම විසිනි.

සැන්ඳෑව (Afternoon)

මල්පෙති වන් වැසි බිඳු පතිතව

එබරින් පෙළි කෘමීන්

තුරු සෙවණින් ඉවත්ව යයි.

විසල් පවුර අස, මඳ සුළං හා එක්ව

රළ නඟන හඬ

නසයි හිරු කිරණින්.

මගේ ඇටකටු මත

විසිරෙයි සුදු මල්

සිතිවිලි දහරට බාධා කරමින්

මසුන් නගී ගල් පව් මත.

අඳුරු ගීතය (Dark Song)

ඇතිරූ අලුත් බුමුතුරුණු මත

කරත්තයක බැඳි

බූරුවන් දෙදෙනෙකු

නිහඬව, සෙමින් ඇවිද යයි

මල්පෙති ගිනි ඇවිළුණු වීදියේ

රිදී පියාපත් මිය යයි.

ඇගේ දෙපා ගැටුණු තැන

සුදු පැහැ දේදුන්නක් ඇඳී තියේ.

සාගර දෙවඟන (Ocean Angel)

තොටිල්ල පැද්දෙයි

හඬ දෙමින්.

ජල බිඳු විහිදෙයි ඉහළට

පිහාටු විසිරෙන විලසින්

බලා හිඳිමි

නිදනවුන් යළි එනතුරු.

සතුට පිරි මොහොතක් දක්වමින්

මියැසි හඬ නැ‍ඟෙයි.

ඒ වළකනු පිණිස උස් හඬින්

කෑ ගසමි.

පසුපසින් එන රළපතර

ඒ හඬ මකා දමයි

අතැර දමා ඇත

මා සාගරයට.

යළි සුව නොලබන සේ ගිලන්ව, රෝහල් ඇ‍ඳේ වැතිර සිටි අවසන් සමයේ, සගවා ලියූ දින සටහන් ද ඇගේ කවි සේම ශෝකීය.

ඔක්තෝබර් 16 - උදෑසන කවුළුවෙන් පිටත බැලූ විට ඇස ගැසුණේ, රෝහල් ගේට්ටුවෙන් පිටව යන අවමඟුල් රථයකි. මීදුම අතරින් ඈතට ගිය කාලවර්ණ හැඩය දෙස බලා සිටි මගේ හදවත නැවතුණා සේ දැනුණි. ඒ දසුන, මගේ මුළු දවසම අවුල් කළේය.

ඔක්තෝබර් 29 - අද සුන්දර දවසකි. මගේ නෙතට කඳුළක් නංවනුයේ ද ඒ සුන්දරත්වයමයි.

ඔක්තෝබර් 30 - උදෑසන ආහාරය ගැනීම තරම් වේදනාවක් තවත් තිබේද?

ඔක්තෝබර් 25 - මා එක්ස්රේ කාමරය වෙත ගෙන යන අතර, හෙදියන්ගේ කඩිමුඩි ගමනත්, වැඩෙහි යෙදෙන උද්‍යෝගි බවත් දැක, මගේ දෑස් දිදුළන්නට විය. පිටත වීදියේ මෝටර් රථ ගමන් කරයි. මට ද එහි දිවයන්නට සිත්වුණි.

ඇතැම් විට, ඉතා සුළු දෙයකින් යළි සිත තුළ සොම්නස උපදවා ගැනීමට ඇය තැත් කරයි. ඉංග්‍රීසි වචන තුනක් ඉගෙන පැමිණි කුඩා දරුවෙක් හෝ තමා බැලීමට පැමිණි අමුත්තෙකු ගෙනා දෙළුම් ගෙඩි ඊට සෑහෙයි.

1936 ජනවාරි මාසයේ දිනෙක සගවා චිකා නමැති තුරුණු කවිඳිය මිය ගියාය. එහෙත්, තම කවියේ පරිවර්තන තුළින් නැවත උපන් ඇය, දැන් රටින් රටට යමින් සිටී. අද ඇය සිටින්නේ ශ්‍රී ලංකාවෙහිය.

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න

Or log in with...