නිල නොලත් වීර­ය­කුගේ කතාව | දිනමිණ

නිල නොලත් වීර­ය­කුගේ කතාව

සර­දි­යෙල් සහ මරි­ක්කාර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙනගිය අයුරු,සර­දි­යෙල් ගල , මරි­ක්කාර් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, මරණ දඬුවම දෙන අවස්ථාව  (සරදියෙල් ගම්මානය)

අවිස්සාවේල්ලේ සිට කෑගල්ලට පැමිණෙන විට අවිස්සාවේල්ල පාර නුවර පාරට සම්බන්ධ වන ගලිගමුව හන්දියේ නුවර පාරට මුහුණ ලා යෝධ ප්‍රතිමාවක් දක්නට ලැබෙයි. මෑත කාලයේ දී ඉදිකරන ලද එම ප්‍රතිමාව ‘උතුවන් කන්දේ සරදියෙල්’ ගේ ය. සරදියෙල් නමින් හඳුන්වනවාටත් වඩා ‘සූර සරදියෙල්’ නමින් හැඳින්වෙන මේ තැනැත්තාගේ වැදගත් ම තැනක ඉඳිවූ විසල් ප්‍රතිමාව දකින විට අප අයත් කෑගලූ දිස්ත්‍රික්කයෙන් මෑත හා ඈත ඉතිහාසයේ බිහි වූ වීරයා සරදියෙල් දැයි හැඟීමක් මගේ සිතට නම් ඇතුළු වෙයි.

සීතාවක රාජසිංහ රජු රජකම් කළේ කෑගලූ දිසාවේ එක් කොනක ය. මහා පාරාක්‍රමබාහු රජු උපන්නේ කෑගල්ලේ දැදිගම ය (සරදියෙල් ප්‍රතිමාව පිහිටි තැන මදක් දුරිනි.) ඩඩ්ලි සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ආදී දේශපාලකයන් නියෝජනය කළේ කෑගලූ දිස්ත්‍රික්කය යි. වීර කැප්පෙට්ටිපොල නිළමේ කෑගල්ලේ ගොලහැල ය. තවත් මහා පුරුෂයෝ බොහෝ ය. එහෙත් ඒ හැම පරදවා සරදියෙල් වීරත්වයට නැංවිණි දැයි යන හැඟීම ගලිගමුවේ සරදියෙල් පිළිරුව දකින හැම වතාවකම මගේ හිතට නැඟෙයි.

සරදියෙල් එවකට පැවති ඉංගිරිසි ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන එල්ලා මරා දමන ලද්දේ අපරාධකාරයකු සේ ය. ඉංගිරිසි ආණ්ඩුව වෙනුවට අපේ ආණ්ඩුවක් පැවතියේ නම් ඔහුට ඊට වඩා වෙනස් දඬුවමක් දෙති යි සිතන්නට ද අපහසු ය. ඔහුට මරණ දඬුවම ලැබුණු ක්‍රි. ව. 1864 මැයි මස 07 වනදා සිට මේ දක්වා ගෙවී ඇති කාලය අවුරුදු 154 කි. මේ කාලය තුළ සරදියෙල් පිළිබඳ බොහෝ දෙනා කතා කොට ඇත. ලිපි ලියැවී තිබේ. කවි කතා, චරිත කතා, ගීත එමට ලියැවෙන්නට ඇත. චිත්‍රපට මතු නොව සරදියෙල් චරිතය අරභයා ටෙලි නාට්‍යය ද නිෂ්පාදනය වී ඇත. ඔහුට ‘ලංකා රොබින් හුඩ්’ යනුවෙන් අපර නාමයක් ද ආරෝපණය වී තිබේ. අද දවසේ ද ඔහුට වීරත්වය ආරෝපණය වෙයි. කොල්ලකන ලද ධනය සරදියෙල් විසින් දුප්පත් අය අතර බෙදා දුන් බව ද ප්‍රසිද්ධ ය. එහෙත් ඔහු මූලික වශයෙන් චෞරයෙකි. මිනිසුන් මරා දැමූ අපරාධකරුවෙකි.

කොහොමටත් අපරාධකාරයන් ලාංකීය සමාජ තලයේ ඉහළට ඔසවා තැබෙත්. මෑත අවධියේ අපරාධකරුවන් සේ ප්‍රකට වූ මරදන්කඩවල යකඩයා, සිරිපාල හෙවත් මරු සිරා, පොඩි විජේ ආදීන් ගැන පුවත්පත් වල පිටු ගණන් ලියැවිණි. මරු සිරා හා පොඩි විජේ ගේ කතාපුවත් සති අන්ත පුවත්පත් වල කොටස් වශයෙන් පළවන විශේෂාංග බවට පත් විය. මරුසිරා අරභයා එදවස චිත්‍රපට එකක් නොව දෙකක් ම නිෂ්පාදනය විය. රවීන්ද්‍ර රන්දෙනිය හා මාලනී ෆොන්සේකා රඟ පෑ ‘සිරිපාල හා රන් මැණිකේ’ අමරනාත් ජයතිලක අධ්‍යක්‍ෂණය කළ අතර, විජය කුමාරතුංග හා ගීතා කුමාරසිංහ රඟ පෑ ‘මරුවා සමඟ වාසේ’ චිත්‍රපටය ටයිටස් තොටවත්ත අධ්‍යක්‍ෂණය කළේ ය. (මුලින් අම්මා බුදු වේවා ! යි පච්ච කෙටූ සිරිපාල පසුව ‘මරුවා සමඟ වාසේ’ යනුවෙන් පච්ච කෙටීමේ ඛේදවාචකය ටයිටස් තොටවත්ත සිය චිත්‍රපටයෙන් ඉස්මතු කළේ ය.) සිරිපාල හා රන් මැණිකේ චිත්‍රපට කථාව ධර්මසිරි ගමගේ විසින් පොතක් සේ ලියා පළ කළ විට එය බෙහෙවින් අලෙවි වූ බව ද මට මතක ය. මරදන්කඩවල යකඩයා අරභයා චිත්‍රපටයක් නීල් රූපසිංහ අධ්‍යක්‍ෂණය කළ අතර, ගාමිණී ෆොන්සේකා එහි යකඩයාගේ චරිතය රඟපෑවේ ය. ‘පොඩි විජේ’ ද සිනමාවට නැඟිණි.

මා ගුරු පත්වීමක් ලැබ පොළොන්නරුවට ගිය දවස්වල මට අපේ ගමේ පොඩි විජේ පන්නයේ වැඩවලට ප්‍රසිද්ධ ජයේ හමු විය. (ජයේ ඒ දවස්වල තමාටත් ‘මරු චුට්ටේ’ යන අපර නාමයක් ආරෝපණය කරගෙන තිබිණි.) ‘මහත්තයා පොළොන්නරුවෙ කොහෙද වැඩ?’ ජයේ මගෙන් ඇසීය. ‘ජයන්තිපුර’ මම පිළිතුරු දුනිමි. ‘මරුනෙ ජයන්තිපුර කියන්නේ පොඩි විජේ ගේ ගම’. තමන්ගේ ගමේ එකෙක් සිය මනසේ ජීවත් වන වීරයාගේ ගම් පළාතට උගන්වන්නට හෝ යාම ගැන ඔහු අවංකවම සතුටු විය.

සරදියෙල් පත් වූ වීරත්වයට නම් එවකට පැවති සුදු ආණ්ඩුව අරභයා සාමාන්‍ය ජනතාව තුළ තිබූ විරෝධය ද හේතුවන්නට ඇත. ඔහු එල්ලා මරා දැමුණු 1864 සුදු ආණ්ඩුව කොළඹ සිට නුවර දක්වා දුම්රිය මාර්ගය සකස් කරමින් සිටි අවධියයි. කරත්ත දැක්කීම ආදී රැකියාවලින් දිවි සරිකරගත් බොහෝ දෙනෙකු දුම්රිය දෙස බලන්නට ඇත්තේ නොසතුටු සහගත සිතිනි. සාමාන්‍ය ජනතාවට රේල් පාර ඉදිකිරීමේ කටයුතු වලට සහභාගී වන්නට සිදුව තිබිණ. බදු බර ජනතාව මත පැටවී තිබිණ. ඉතින් සල්ලිකාරයන්ගෙන් මුදල් කොල්ල කා සාමාන්‍ය ජනතාවට ද මුදල් බෙදන සරදියෙල් වීරයෙක් සේ එදවස ජනතාව සලකන්නට ඇත.

ඉංගිරිසි පුවත්පත් පමණක් නොව එදවස පැවති සීමිත සිංහල පුවත්පත් ද සරදියෙල් අපරාධකාරයකු, මංපහරන්නකු හා මිනීමරුවකු ලෙස හඳුන්වන්නට උත්සුක වූහ. ලක්මිණි පහණ හා ලක් රිවිකිරණ යන සිංහල පුවත්පත් දැරුවේ සරදියෙල් මර්දනය කළ යුතු ය යන මතයයි. සරදියෙල් අල්ලා ගන්නට සුදු ආණ්ඩුවට ඔහු පිළිබඳව පැවති දැඩි බිය මධ්‍යයේ වුව ද සහයෝගය දුන් සාමාන්‍ය ජනතාව ද එදවස සිටිය හ. එහෙත් බොහො දෙනා රහසිගත ව හෝ සරදියෙල් ආරක්‍ෂා කරන්නට කටයුතු කළ බව ට තොරතුරු තිබිණ. මහනුවර දී පැවති නඩු විභාගයේ දී විනිශ්චයකාරවරයා කෑගල්ලේ සුළු මුලාදෑනින්ගේ් කටයුතු දැඩි විවේචනයට ලක් කොට තිබේ.

1864 පෙබරවාරි මාසයේ දී ඉංග්‍රීසි ආණ්ඩුව සරදියෙල් අල්ලා දුන් අයෙකුට හෝ අල්ලන්නට ඔත්තුවක් දුන් අයෙකුට පවුම් සියයක ත්‍යාගයක් ද, මම්මලේ මරික්කාර්, සාමත්, හවඩියා හා බයියා යන අනුගාමිකයන් සඳහා පවුම් විසිපහ බැගින් ත්‍යාග ද ලබාදෙන බව නිවේදනයක් නිකුත් කළේ ය. කොහොමටත් ත්‍යාගයක් ලබා දෙන බවට දුන් ප්‍රසිද්ධිය සරදියෙල්ට ද අනුගාමිකයන්ට ද අවාසිදායක විය. සොරුන් කොටුකර දී මුදල් ලබා ගැනීමේ ආශාව පුහුදුන් මිනිසුන් තුළ ඇතිවිය. මුස්ලිම් මිනිසුන් දෙදෙනකු එක්ව ‘සාමත්’ නම් මැලේ ජාතික සරදියෙල්ගේ සගයා පොලීසියට හසුකර දුන්නේ ත්‍යාගය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙනි. සරදියෙල් අල්ලන්නට තීරණාත්මක ඔත්තුව දෙන ලද්දේ කලක් ඔහුගේ සගයෙකුව සිටි සිරිමලා නමැත්තා විසිනි.

සරදියෙල් අල්ලන්නට කෑගලූ දිසාවේ උප ඒජන්ත එන්. ආර්. සෝන්ඩර්ස් විශාල බළ ඇණි කැඳවා තිබිණ. සරදියෙල් ඇල්ලූ විට හමුදා බළ ඇණි ජයඝෝෂා නඟමින් ඔවුන් පෙරටු කොට ගමන් කොට ඇත.

සරදියෙල් මෙන් ම ඔහුගේ සගයා වන මම්මලේ මරික්කාර් ද මරණ දඬුවම නියම කළ විට නොසැලී සිටි බව වාර්තා ගත ය.

වසර 154 තිස්සේ ලියැවුණු කියැවුණු සූර සරදියෙල් අපදානය ඉදිරියටත් එසේම ලියැවෙනු ඇත. නිර්මාණ කෙරෙනු ඇත. අනාගතයේ බිහිවන චෞරයන්ට ද අපේ සමාජය අපට ඉතිහාසය පුරා හුරුපුරුදු වීරත්වය උරුම කර දෙනු ඇත.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න

Or log in with...