පර්යේ­ෂ­ණ­කාමී ලේඛ­ක­යන්ට තහංචි පැන­වීමේ විහි­ළුව | දිනමිණ

පර්යේ­ෂ­ණ­කාමී ලේඛ­ක­යන්ට තහංචි පැන­වීමේ විහි­ළුව

ලේඛකයා කියන්නෙ පර්යේෂණකාමි නිර්මාණකරුවෙක්. තමන්ට ලැබෙන අත්දැකීමක් අමුවෙන්ම ඉදිරිපත් කරන්න ලේඛකයා සුදානම් නැහැ. ඔහු ඒ අත්දැකීමට අලුත් යමක් එකතු කරනවා. ලේඛකයා ඒ කාර්යය කරන්නේ් සිය පරිකල්පන ශක්තිය උපයෝගි කර ගනිමින්. එවිට තමා ඒ නිර්මාණය පාඨකයාගේ සිත් පැහැර ගන්න අපුරු නිර්මාණයක් බවට පත් වෙන්නෙ. මේ කියන අපූර්වත්වය නිෂ්පාදනය කරගන්න ලේඛකයාට උපකාර වෙන ප‍්‍රධාන මෙවලම තමා භාෂාව.

තමන්ට කියන්න අවශ්‍ය දේ පාඨකයාගේ හිතේ හරියටම සිත්තම් කරන්න ලේඛකයා භාෂාව වහලෙක් බවට පත් කරගන්නවා. බැරි වෙලාවත් ඒකෙ අනිත් පැත්ත සිද්ද වුණොත් ඒ කියන්නෙ ලේඛකයා බසෙහි වහලෙක් වුණොත් සිද්ද වෙන්නෙ මොකක්ද? එවිට ලේඛකයා අපේක්ෂා කළ අර අපූර්ව චිත්‍රය වෙනුවට පාඨකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමට සිදු වෙන්නේ විකෘති නිර්මාණයක්.

මා මේ පූර්විකාව ගෙනහැර පෑවේ සිය භාෂා විලාසය හේතුවෙන් වාරණයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ ලේඛකයකු වන අජිත් තිලකසේන වෙනුවෙන් අපට නැවතත් හඬ නැඟීමට සිදු වී තිබෙන නිසයි. පසුගිය සතියේ මේ කොලම මගින්ම අජිත් තිලකසේනයන්ගේ වතුර කෙටිකතාවට අත් වී තිබෙන ඉරණම ගැන කතා කළා ඔබට මතක ඇති. උසස් පෙළ සඳහා තෝරාගත් අජිත්ගේ ”වතුර” කෙටිකතාව එහි ඇතූළත් වගන්ති කීපයක් නිසා උසස් පෙළ සඳහා නිර්දේශිත කෙටිකතා සංග‍්‍රහයෙන් ඉවත් කිරිමට ජාතික අධ්‍යාපන ආයතනය තීන්දු කළ බවයි පහුගිය සතියෙ කොලමෙන් මා ලීවෙ. ඊට විරෝධය පළ කරමින් එම කෙටිකතා සංග‍්‍රහයේම කතා ඇතුළත් ලෙඛකයන් සිව් දෙනෙක් වන මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ජයතිලක කමම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ හා නිශ්ශංක විජේමාන්න ලියූ ලිපිවලට මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයෙන් පිළිතුරු ලැබී තිබෙනවා.

ඒ පිළිතුරු ලිපි මගින් ජාතික අධ්‍යාපන ආයතනය පෙන්වා දී තිබෙන්නේ අජිත් තිලකසේනගේ වතුර කතාව ඉවත් කිරීමට තීරණය කළේ එහි භාෂා විලාසය හේතුවෙන් මතු වී ඇති ගැටලු කීපයක් නිසා බවයි. අජිත් තිලකසේනගේ කෙටිකතාවල කිසියම් සුවිශේෂත්වයක් ඇත්නම් ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අජිත් භාවිත කරන භාෂා රටාව බව පාඨක, විචාරක ප්‍රජාව මැනවින් දන්නවා. තමන් මේ භාෂා විලාසය භාවිත කරන්නේ මන්ද කියන කාරණයත් අජිත් ඉතා තර්කානුකූල ලෙස පොත්පත්වලට ලියූ ලිපි සිය ගණනක් මගින් පෙන්වා දී තිබෙනවා. මෙවැනි පසුබිමක් පැහැදිලිව දකින්න තිබියදීත් අජිත් තිලකසේනගේ කෙටිකතාවක් උසස් පෙළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා තෝරාගැනීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කිරීමට ඇත්තේ පර්යේෂණකාමී ලේඛකයකු දිරිගැන්වීමට විය හැකි යයි සිතමින් සහෝදර ලේඛකයන් වශයෙන් අපිද ලොකු සතුටක් ලැබුවා.

එහෙත් දැන් සිදු වී තිබෙන්නේ ලාංකික කෙටිකතා කලාවේ නිම්වළලූ පුළුල් කළ ලේඛකයා ලෙස සහෝදර කෙටිකතාකරුවන් අතර මෙන්ම සාහිත්‍ය රසිකයන් අතරත් බුහුමනට ලක්ව සිටින අජිත් තිලකසේන නැමති ජ්‍යෙෂ්ඨ ලේඛකයා දැඩි අවමානයක ලක් කිරීමක්. වතුර කෙටිකතාව උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කර මේ වන විට වසරකටත් වැඩි කාලයක් ගත වී තිබෙනවා. එය තෝරාගැනීමට පෙර තෝරාගැනීම් මණ්ඩලවල සිටි ආචාර්ය මහාචාර්යවරු හා අධ්‍යාපන විශේෂඥයන්ට අජිත් තිලකසේන භාවිත කරන භාෂා රටාව ගැන අවබෝධයක් තිබුණේ නැද්ද කියන ප්‍රශ්නය මෙහිදී පැන නඟිනවා. එසේ අජිත්ගේ භාෂාව පිළිබඳ අවබෝධයකින් තොරව වතුර කෙටිකතාව උසස් පෙළ සඳහා නිර්දේශ කළා නම් ඔවුන් අතින් සිදු වී ඇත්තේ බරපතළ වරදක් නොවේද?

කටවහරේ ව්‍යාකරණයට අනුව භාෂාව පරිහරණය කීරීම ඇරඹූ පළවෙනියා හෝ අන්තිමයවත් අජිත් තිලකසේන නෙවේ. ඔහුට පෙර හා පසුත් ලේඛකයන් රැසක්ම ඒ ක්‍රමය අනුගමනය කර තිබෙනවා. එසේ අජිත්ට පෙර නිර්මාණ සාහිත්‍යයේදී ව්‍යවහාර සිංහලය භාවිත කිරීමට නිර්භීත වූ විද්වතුන් අතර යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන්ට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. 1947 දී උන්වහන්සේ ලියූ ”මිතුරන් කෙටවීම” පොතට යොදාගත් භාෂාව ගැන කතා කරමින් උන්වහන්සේ පවසන්නේ ”පොත ලිවීමේදී මා තුළ බලපැවැත්වූ ප්‍රධානම ප්‍රතිපත්තිය නම් සිංහල රටේ සිංහල මිනිස්සුන්ට, සිංහල පොතක් කියවන්නට පුළුවන් කාට වුවත් කරුණ කොයි තරමට ගැඹුරු වුවද , කරදරයක් නැතුව පහසුවෙන් තේරුන් ගන්නට පුළුවන් වන පරිද්දෙන් ලිවීමයි.” (මිතුරන් කෙටවීම-1947)

යක්කඩුවේ හිමියන්ගේ මෙම අදහසට පූර්ණ සහය පළ කළ ලේඛකයා වූයේ අන් කවුරුත් නොව මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයි. ”පොදු ජනතාව කතා කරන බසෙහි වියරණය සොයා බලා , සිත් කා වදින සේ අපේ සිතුම් වඩාත් පැහැදිලිව කීමට උපයෝගි වන නීති රීති හා වචන එහි තිබේ නම්, ඒ සියල්ල ඇතුළු කිරිමෙන් අපේ පණ්ඩිත ප්‍රිය ව්‍යාකරණය සකස් කළ යුතුය. කීමටත් ලිවීමටත් බාධා කරන හෝ නිෂ්ඵල හෝ නීති රීති, පණ්ඩිත ප්‍රිය ව්‍යාකරණයේ ඇත්නම්, ඒ සියල්ල බැහැර කළ යුතුය. ලේඛන කලාවේ නිපුණයන් සුලබ වන කල මේ පෙරළිය වඩාත් ඉක්මනින් සිදු වෙයි. (සාහිත්‍ය කලාව- 1950)

වික්‍රමසිංහ සූරීන් මේ ප්‍රකාශය කිරිමත් එක්ක ව්‍යවහාර සිංහලය ග්‍රන්ථකරණය සඳහා භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ ලොකු කතාබහක් වියතුන් අතර පැනනැඟුණා. මහාචාර්ය සෙනරත් පරණවිතාන ”සිංහල ප්‍රකෘතය ලිවීමට ගත යුතුයි” හිසින් (1961) ලියූ ලිපිය හා අචාර්ය සුගතපාල ද සිල්වා ඉනික්බිති ලියූ ”සිංහල භාෂාවේ අනාගතය” ඇතුළු තවත් ලිපි කීපයක් මගින්ද මේ සංවාදය ඉදිරියට රැගෙන ගිය බවක් දැකිය හැකියි. නවකතාකරණයේදී මේ ක්‍රමය වඩාත් ප්‍රායෝගික ලෙස යොදා ගත් ලේඛකයා ලෙස හැඳින්වෙන්නේ මහාචාර්ය සිරි ගුනසිංහයි. විඥානධාරා රීතිය නම් ආඛ්‍යාන ශිල්පය යටතේ ඔහු නිර්මාණය කළ ”හෙවනැල්ල” නවකතාවෙන් පසුව භාෂණ රීතිය ගැන නව ප්‍රබෝධයක් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ බව පෙනෙනවා. ඒ අනුව මඩවල එස්. රත්නායකගේ ”සිත නැති බඹලොව” හා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගෙ ”හෙවනැලි ඇද මිනිස්සු” නවකතා බිහි වුණා.

මෑත කාලයේ භාෂණ රීතිය පිළිබඳ කතිකාව පෝෂණය කිරීමට ප්‍රබල දායකත්වයක් කළ වියතකු වශයෙන් මහාචාර්ය ජේ. බී. දිසානායකයන් හඳුන්වන්න පුළුවන්. “භාෂාවක රටා සමුදාය” හා ” සිංහල ජනවහර” ඇතුළු කෘති රැසක් ඔස්සේ වාග්විද්‍යාත්මක පදනමකින් සිංහල භාෂාවට නව මුහුණුවරක් ලබා දීමට මහැදුරු දිසානායක විශාල මැදිහත්මක් කළා. වර්තමාන පරපුරේ සාහිත්‍යකරුවන් අතර කටවහර ඇසුරු කරගෙන සිය භාෂා රීතිය ගොඩනැඟීමට උත්සාහ දරන ලේඛකයන් අතර කේ. කේ. සමන්කුමාර, ටෙනිසන් පෙරේරා, ලියනගේ අමරකිර්ති, කීර්ති වැලිසරගේ, මොහාන්රාජ් මඩවල ඇතුළු ලේඛකයන් ගණනාවක් සිටින බවද මෙහිදී පෙන්වා දිය හැකියි.

මේ සියලූ දෙනා අතර අජිත් තිලකසේන කැපී පෙනෙන්නේ ඔහු හඳුන්වා දී තිබෙන “නව ලේඛන රීතිය” නම් ලේඛන ක්‍රමය නිසයි. එමගින් අජිත් පෙන්වා දෙන්නේ ඔහු කටවහරේ ව්‍යාකරණය සමඟ පිලි සමරූපීකරණයක්ද අනුගමනය කරන බවයි. ඒ අනුව ඉස්පිලි හා පාපිලි එකම රටාවකට යෙදෙන අතර න-ණ-ල-ළ භේදයද ඉවත් කෙරෙනවා. කටවහර වඩාත් සවිබල ගැන්වෙන්නේ එවිටය කියලයි අජිත් තර්ක කරන්නේ. මෙවර උසස් පෙළ සඳහා තෝරාගෙන තිබුණු ඔහුගේ “වතුර” කෙටිකතාව ලියවී තියෙන්නෙත් මේ රීතිය යටතෙයි.

දැන් ප්‍රශ්නය මතු වන්නේ ඒ කතාව ඉවත් කිරීමට අධ්‍යාපන බලධාරීන් උන්හිටි හැටියේම තීරණයක් ගත්තේ උසස් පෙළට සිංහල භාෂාව හදාරන ශිෂ්‍ය ප්‍රජාව වෙතින් මේ පිළිබඳ විරෝධයක් මතු වීමේ ප්‍රතිඵලයක් හැටියටද කියන එකයි. විභාගයකට කිසියම් සාහිත්‍ය නිර්මාණයක් නම් කළ පමණින් ඊට අනිවාර්යෙන්ම ඊට පිළිතුරු ලිවිය යුතුය කියා නියමයක් නැහැ. මෙය කෙටිකතා 16ක් අතරින් එකක් පමණයි. අවශ්‍ය නම් සිසුන්ට මේ කතාව මඟහැර ඉන්න ඕනාතරම් අවකාශ තිබෙනවා. ඒ වගේම මේ කතාව ඇතුළත් කළ පමණින් අජිත් තිලකසේන අනුගමනය කරන භාෂා රටාව අධ්‍යාපන බලධාරින් විසින් අනුමත කර ඇතැයි කියා හුඹස් බියක් ඇති කරගත යුතුත් නැහැ. මොකද මෙයත් දැනට භාවිතයේ පවතින එක් ලේඛන රටාවක් පමණක් නිසයි. ඒ නිසා මීට තහංචි පනවනු වෙනුවට අධ්‍යාපන බලධාරීන් කළ යුතුව තිබුණේ අජිත් තිලකසේනද ඇතුළු ලේඛකයන් රැසක් විසින් භාවිත කරනු ලබන මේ රිතිය පිළිබඳ නූතන සිසු පරපුරේ ප්‍රතිචාරය විමසා බැලීම සඳහා මෙය අවස්ථාවක් කරගැනීම නොවේද? මෙරට අධ්‍යාපන බලධාරින්ගේ මෙවැනි පටු මෙන්ම හදිසි තීන්දු තීරණ මඟින් නැවත නැවතත් තහවුරු වන්නේ පර්යේෂණකාමී සාහිත්‍යකරුවන්ට තහංචි පැනවීමට හැර ඔවුන් දිරිමත් කර නව පරපුරට හඳුන්වා දීමට මහජනතාවගේ බදු මුදලින් යැපෙන නිලධාරි පැලැන්තිය තවමත් හුරු වී නැති බවයි.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...