නින්දේම අවසන් ගමන් ගිය කෝරා | දිනමිණ

නින්දේම අවසන් ගමන් ගිය කෝරා

හැටන් මත්ද්‍රව්‍ය නිලසුනඛ කෝරා පසුගිය දිනවල සිටියේ අස්ගිරිය පොලිස් නිල සුනඛ ඒකකයේය. ඒ... පුහුණුවක් සඳහා ගොසිනි.

පසුගිය තිස් වැනිදා උදේ වරුවේ ද පුහුණු කටයුතු වල නිරත වූ කෝරා කොස්තාපල් (43270) නිමල් කරුණාතිලක සමඟ සුරතල් වීමට ද අමතක කළේ නැත. දිවා විවේකයේ දී කුඩුවට ගොස් විවේක ගත් කෝරා සවස පැවැති පුහුණුවීම් වලට ද හොඳින් ඉදිරිපත් වුවාය. අනතුරුව ආහාර ගත් කෝරා යළි කුඩුවට දැමු නිමල් ද ටික වේලාවක් විවේක ගත්තේය.

නිල සුනඛයන් හසුරුවන පොලිස් නිලධාරීන්ට වැඩි වේලාවක් සුනඛයාගෙන් ඈත්ව සිටීම යම් තරමකින් සිතට දුකක්, පාළුවක් ගෙන දෙන කරුණකි. ඒ.. ඔවුන් ඒ තරමටම සුනඛයා හා ආත්මීයව බැඳී සිටීම නිසාය. මිනිසුන්ට වඩා බොහෝ හොඳ ගති ගුණ ඇති සුනඛයන්, කෙලෙහි ගුණ සැලකීම අතින් ද අති විශිෂ්ඨය.

එබැවින් දෝ සුනඛයන්ට ආදරය කරන සියල්ලෝම පාහේ තමා ගේ සෙවණේ හැදෙන වැඩෙන සුනඛයන්ට දැඩි ආදරයක් සැලකිල්ලක් දක්වන්නට පෙළඹ සිටී. නිමල් ගේ ක්‍රමවේදය ද එසේය. සවස කුඩුවට දැමුව ද යළිත් කෝරා දැක බලා ගැනීමට නිමල් ට අවශ්‍ය විය. ඒ.. නින්දට යාමට පෙර ආදරණීය සුරතලාට “ගුට් නයිට්ි“ කියා සුබ පැතීමටය.

රාතී‍්‍ර අටට පමණ කුඩුව අසලට ගිය නිමල් ට කෝරා ගෙන් ලැබුණ ආදර ප්‍රතිචාරයේ කිසිදු වෙනසක් තිබුණේ නැත. ක්‍රියාශීලී භාවය ද එලෙසමය. “ගුඩ් නයිට් කෝරා මම හෙට උදේම ඔයාව බලන්න එනවා. එතකම් හොඳට නිදා ගන්න.” කෝරා ගේ හිස අත ගා එලෙස කී නිමල් ආපසු යන්නට හැරෙද්දී කෝරා සිහින් සුසුමක් හෙළා නිමල් යන අයුරු දුක සේ බලා සිටියාය.

ඊට පසුදිනට එනම් තිස් එක් වැනිදාට හිරු උදා වන්නට පෙර පිබිදුණ නිමල් යාන්තමට මුහුණකට සෝදාගෙන ‘කෝරා’ බැලීමට ගියේ ඇය... තමා එනතුරු මඟ බලා සිටින බව දන්නා නිසාය. කුඩුව අසලට ගිය නිමල් දුටුවේ කිසිසේත්ම දකින්නට බලාපොරොත්තු නොවු දෙයකි. කෝරා මිය ගොසිනි. සිරුරට අත තබා බලද්දී නිමල් ගේ අතට සීතල ගතියක් දැණිනි.

ආදරණීය සුරතලියගේ හදිසි වියෝව නිමල්ට දරාගන්නට බොහෝ අපහසුය. ඔහු... දුකින් බරිතව කඳුළු සලද්දී කෝරා ගේ මරණය පිළිබඳ ඉතිරි කටයුතු කිරීමට ඔහු ගේ මිතුරන්ට සිදුවිය.

හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ කෝරා මිය ගියේ කෙලෙස ද යන්න කාටත් ගැටලුවක් විය. පසුව කෝරා ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කැරිණි. එහි දී හෙළි වුයේ ප්ලීහාවේ හටගත් පිළිකාවක් හේතුවෙන් කෝරා මිය ගිය බවයි.

මීට පෙර රෝගී තත්ත්වයකට පත් වූ අවස්ථාවේ කෝරා ගේ මුලු සර්වාංගයම පරීක්ෂාවට භාජනය කර තිබිණි. එහෙත්... එදා... පිළිකාවක් තිබු බවට කිසිම ඉඟියක් ලැබී තිබුණේ නැත. ආහාර ජීර්ණ පද්ධතියේ ප්ලීහාවේ හටගත් පිළිකාව කෝරා ට එතරම් කරදර ගෙන දී තිබුණේ ද නැත. කෝරා හොඳින් ආහාර ගත්තේය. ක්‍රියාශීලීව කල් ගෙව්වේය.

රාජකාරිය ද කිසිදු පැකිලීමකින් තොරව කරගෙන ගියේය. එහෙත්... ඒ පිළිකාව කෝරා ට අකාලයේ හදිසි මරණයක් ගෙන ආවේය. බෙල්ජියම් මෙලනොයිස් වර්ගයට අයත් කෝරා මෙලොව එළිය දුටුවේ නෙදර්ලන්තයේ දීය.

ඒ... 2010 වර්ෂයේ සැප්තැම්බර් මස විසිහත් වැනිදාය. එනම් මීට අවුරුදු හතකුත් මාස හතරයි දින හතරකට පෙරය. ගැහැණු සතකු වූ කෝරා ලංකාවට එන්නේ රුපියල් ලක්ෂ හතකට අධික මුදලකට පොලිස් දෙපාර්තමේන්තුව විසින් මිල දී ගැනීමෙන් අනතුරුවය. මෙරටට ආ පුංචි ‘කෝරා’ පැටියා ගේ වගකීම් නිමල් ට හිමි වු අතර නිමල් කෝරා බලා ගත්තේ දරුවකු බලාගන්නවාටත් වඩා ආදරයෙන් වගකීමකිනි.

රටේ විවිධ ප්‍රදේශ වල රාජකාරි කළ ‘කෝරා’ ගංජා කිලෝ ගණන් සොයා දී ඇත.

හෙරොයින්, කසිප්පු ආදී මත්ද්‍රව්‍ය තොග ගණනින් සොයා දුන් කෝරා අවසන් කාලයේ රාජකාරී වල නිතරව සිටියේ හැටන් පොලිස් කොට්ඨාසයට අනුයුක්තව ය. ශ්‍රී පාද වන්දනාවේ යන බොහෝ දෙනකු මත් ද්‍රව්‍ය, මත් වතුර ආදිය රැගෙන යන බවට කලක සිට අසන්නට ලැබුණු තොරතුරු වලට අනුව හැටන් හිදී සියලුම බැතිමතුන් හා වාහන සෝදිසි කිරීමට පොලිසිය වැඩ පිළිවෙලක් දියත් කළේය.

ඒ සඳහා තෝරාගත්තේ කෝරාය. වසර එකහමාරක පමණ කාලයක දී ශ්‍රී පාද වන්දනාවේ ගිය පුද්ගලයන් හා වාහන සෝදිසි කළ කෝරා මත්ද්‍රව්‍ය සිද්ධි 341 ක් අල්ලා දී තිබිණි. බස් වල වහළය පවා ඉව කරමින් නිවැරදි ලෙස අකුරටම රාජකාරිය කළත් ඇය ඒ වන විට ද පිළිකා රෝගයෙන් පෙළෙන බව කිසිවකුත් දැන සිටියේ නැත.

කෝරා ගේ වියෝවෙන් නිමල් ට අමතරව තනි වූ තවත් කෙනකු ඇත. ඒ... හැටන් අපරාධ නිල සුනඛ “ජොනී” ය. මේ දෙදෙනා හැටන් වල දී කල් ගෙවුයේ එකම කුඩුවේය. ජොනී තවමත් ලාබාල වයසේ පසුවන සුනඛයෙකි. කෝරා ඊට වඩා වැඩිමල් සුනඛ දේණුවකි. එබැවින්... ජොනී ට අහිමිව තිබු මවු සෙනෙහස කෝරා ගෙන් ලැබිණි.

දෙදෙනා ආදරයෙන් කෙළි දෙලොන් කල් ගෙවුයේ මවක හා පුතකු ලෙසය. දැන්... ජොනී ද බලාගත් අත බලාගෙන සිටින්නේ “කෝරා” නොඑන්නේ ඇයි දැයි කොස්තාපල් රංජීත් බණ්ඩාර මොරේමඩ ගෙන් ඇසීමට ක්‍රමයක් නොමැතිව විය යුතුය. අකාලයේ මෙලොවින් සමුගත් කෝරා ගේ දේහය හැටන් පොලිසියට රැගෙන ගොස් නිල සුනඛ ඒකකයට අයත් ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ තැන්පත් කර තිබිණි. කෝරා ගේ අභාවය ගැන ඇසු ප්‍රදේශ වාසී බොහෝ පිරිසක් පැමිණ අවසන් ගෞරව දැක්වීම නෙතට කඳුලු උණන දසුනක් විය.

විල්ලුද වලින් සැරසු පෙට්ටියක සැතපුණ කෝරා ගේ සිරුර දිලිසෙන රෙදි කඩකින් වසා මල් වඩම් වලින් සරසා තිබිණි.

අවසන් කටයුතු සඳහා රැගෙන ගියේ පෙට්ටිය පොලිස් ධජයකින් ආවරණය කිරීමෙන් අනතුරුවය. හැටන් කොට්ඨාසය බාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී රංජීත් දසනායක යන උසස් නිලධාරින් ප්‍රමුඛ හැටන් පොලිස් කොට්ඨාසයේ බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු සිදු කැරිණි.

“නම්බර් සෙරමෝනියල්” නිල ඇඳුමින් සැරසුණ සිව් දෙනකු කෝරා ගේ දේහය කර තබා ගෙන ගිය අතර පොලිස් නිලධාරින් ගේ උත්තමාචාර මැද කෝරා මහපොළොව මත සැතපුනේ මේ ලිපි පෙළ ලියන මාගේ ද දෙනෙතට කඳුලක් එක් කරමිනි.

(තක්ෂිලා ජයසේකර)

නව අදහස දක්වන්න