රජරට හෙළ බස එළිබැස්සීම | දිනමිණ

රජරට හෙළ බස එළිබැස්සීම

ගැහැනු දරුවකු වැඩිවියට පත්වූ පසු නැකතක් බලා ඒ අනුව දරුවා නාවා එළියට ගන්නාතුරු පිරිමි ඇස්වලින් සඟවා තබයි. නියමිත නැකත් දිනයේ රෙදි නැන්දා පැමිණ නැකතේ වේලාවට දරුවාට රෙද්දක් පොරවා එළියට ගැනීම එළිබැස්සීම යනුවෙන් හැඳින්වේ.

එළි බැහීම

පෙරදා ගැහැනු - පිරිමි කොයිකවුරුත් වැසිකිළි භාවිතයක් තිබුණේ නැත. එකට ඈඳුණු පවුල් හත අටකින් යුත් ගම්මැද්ද පිහිටියේ තිස්බඩයට යාවය. තිස්බඩය යනු ගම්මැද්ද වටේ පිහිටි කැලෑ රොදකි. මේ තිස්බඩය ලී දඬු කපා ගැනීමට - වැල් ඇදගැනීමට යාම ගමේ උරුමයක් ලෙස පැවතිණ. මෙම තිස් බඩයේ එක් ඉසව්වක් වැසිකිළි යාමට වෙන්කරගෙන ඇත. මෙම වැසිකිළි යන කොටස පිංගණය නමින් හැඳින්වේ. පිංගණයට යාම හඳුන්වන්නේ එළිබහින්න යනවා යන යෙදුමෙනි. පිංගණයට ගොස් එළි බැසීමෙන් පසු එතැනින්ම යාබද වැවට ගොස් අතපය සෝදා ගෙන ඒම එදා සිරිතය.

කුලම

‘කුලම’ යනු දෙමළ භාෂාවෙන් වැවට කියන නමකි. රජරට පුරාවට පවත්නා අති බහුතරයක් වූ වැව් බසවක්කුලම, පෙරියකුලම, නෙළුම්කුලම, පයිංඩිකුලම, බුලංකුලම ආදී දෙමළ නම්වලින් හැඳින්වේ. රජරට පෙරදා විසූ මාඝ, චෝල, එළාර ආදී පාලකයන් එකම වැවක්වත් හදා නැත. නමුත් සුද්දාගේ පාලන සමයේදී රජරට වැව් සිතියම්ගත කිරීමේදී ඒ රාජකාරිය කරන ලද්දේ ද්‍රවිඩ මිනින්දෝරුවන් විසිනි. ඔවුන් හැම වැවක්ම ‘කුලම’ යනුවෙන් නම් කෙරිණි. අභය රජු විසින් මුල්වරට ඉදිකළ ‘අභය වැවට’ පවා ‘බසවක් කුලම’ ලෙස නම් තබා ඇත.

ආචාරියා

කම්මල්වැව, රිදීරත්තරංවැව, ආදී ලෝහ වැඩකරන අය පෙ‍රදා හඳුන්වන ලද්දේ ‘ආචාරියා’ යන නමිනි. මේ කුලයේ පිරිමි අය ‘නයිදේ’ ලෙසද ගැහැනු අය ‘නාච්චිරේ’ ලෙසද එකල භාවිතා විය. මෙම කුල බෙදීම, කරන වැඩ අනුව වැඩ වසම් යුගයේ කරන ලද්දකි. දැන් මේවා භාවිතා නොකෙරේ.

පණ්ඩිතයා

අතීතයේදී වළං කර්මාන්තය කරන ලද අයට ව්‍යවහාර කරන ලද නමකි. සමහර පෙදෙස්වල මේ කුලයේ අයට “බඩහැල” වශයෙන්ද ව්‍යවහාර කෙරිණි. පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැරි යැයි කතාවක් පවතී. මේ වර්ගයේ පණ්ඩිතයන්ට ඒදණ්ඩ දිගේ යාම අපහසුය. ඊට හේතුව දෙපැත්තට වළං අහුරාගෙන කදක් බැඳගත්විට කද නිරතුරුව ඒ මේ අතට පැද්දෙයි. එවිට ඒදණ්ඩේ යා නොහැකිය. පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැරියැයි කියන්නේ ඒ නිසාය.

ඉහාක්කුවක් නෑ

“හිසට - හිතට විවේකයක් නෑ” යන අදහස මෙයින් කියවේ. නිතර වැඩවල යෙදී සිටින අය මෙසේ කියති.

කණතුරු

වියපත් - කණාටු ගසක හටගන්නා ඵලදාව නිස්සාරය. ඒවා පුංචිය. ප්‍රයෝජන අඩුය. කණකුරු කියන්නේ ඒවාටය.

කණාටුවීම

ගසක් ඵලදැරිය නොහැකි තරමට වියපත් වීම.

කිරිකෝඩු

කිරිවලින් බරවූ පයෝධරවලට මේ නම යෙදේ. දරුවන්ට කිරිදෙන කාලයට මවුවරුන්ගේ පයෝධර සැබෑ කිරිකෝඩු ලෙස කිරිවලින් බරවේ.

පත්නිව්‍රතය

විවාහක සැමියන් විසින් බිරිය වෙනුවෙන් රැකියයුතු ශීලයයි. බිරිය පතිව්‍රතය රකිනවිට සැමියා පතිනිව්‍රතය රැකීම සදාචාරයයි.

ඉස්මත්ත - පාමත්ත

මළ මිණියක හිස පැත්ත ඉස්මත්ත ලෙසද පය පැත්ත පාමත්ත ලෙසද සැලකේ. හේනක - කුඹුරක - ඉඩමක ඉස්මත්ත හා පාමත්ත පවතී. අලයක වැනි දෙයක නම් මේවා ඉහටිය සහ පහටිය ලෙස නම් කෙරේ.

මරික්කලය

සේරුව, ලාහ, කුරුණිය වැනි වී මැනීමට ගන්නා තවත් උපකරණයකි. පෙරදා මරික්කලයෙන් වී මැනගැනීමට ගෙදර දොරට එන මුස්ලිම් වෙළෙඳුන්ට “මරික්කලයා” යයි ජනව්‍යවහාරයක් පටබැඳී තිබුණි. පසුකලෙක ‘මරක්කල’ ලෙස අකුරු පෙරලීයන්ට ඇත්තේ “මරික්කල” වචනය විය හැකිය.

පෙත්මග

වගාවන් දෙකක් අතරින් පයින් ඇවිදගෙන යාමට වෙන්කර ඇති කුඩා බිම්තීරුව මෙනමින් හැඳින්විය. ලියදි මැදින් යන නියර ද පෙත්මගකි.

හෝම්පළ

මළමිනී කැලේ ගැසීම, වැළලීම, පිළිස්සීම වැනි දේ කරන ස්ථානය. කැරකොප්පුව, මිනීපිටිය, කනත්ත, සොහොන්පිටිය, ආදී නම්වලින් හඳුන්වන්නේද හෝම්පළයි. දුරාතීතයේදී මළමිනී පිළිස්සුවේ හෝ වළදැම්මේ නැත. මළමිනිය රැගෙන ගොස් මිනීපිටියේ පවතින කැලයට දමා කොළ අතු කපා දමා මළමිනිය වසා පැමිණෙයි. අද අලි ඇතුන් අතර මේ සිරිත පවතී.

පුෂ්කර යෝගය

අඟහරුවාදා සහ සිකුරාදා දිනවල “පුෂ්කර” නමින් අපල යෝගයක් හටගනී. මෙම යෝගය මතුවී ඇති මොහොතක විශේෂයෙන් චාරිත්‍රානුකූලව මළමිනියේ වැඩකළ අය මළමිනිය තිබූ කාමරයේ එම ස්ථානයට වී මතකබත ආහාරයට ගත්විට යම් අයුරකින් ගනු ලැබූ ආහාරය අජීර්ණයට පත්වුවහොත් ඒ හේතුවෙන්ම එම තැනැත්තාත් මියයන බවට ජන ඇදහිල්ලක් විය. මෙවැනි අකල්මරණ ඇතිවේ යයි බියෙන් පුෂ්කර යෝගය යෙදෙන අඟහරුවාදා සහ සිකුරාදා දිනවල මළමිනීවල වැඩකරන්නේ නැත. නමුත් දැන් මතකබත කෑමක් නැති නිසා මෙය ගතානුගතිකව එන පුහු විශ්වාසයක් පමණි.

කුළුමාව

ලිංගික යෝග්‍යතාවයට පත්ව සිටින දෙනක් පසුපස ගවරැළ කුලප්පුවෙන් හඹායාම මෙනමින් හැඳින්වේ. “හැල්මේයාම” - ඉයල්ලේයාම යන යෙදුම්ද මීට සමානය. වෙල්වල ඉපැනැලි කාලයට කුළුමාව ඇතිවේ.

‍පොට කෙටීම

තමන් වගාකරන කුඹුරුපංගුව වෙනුවෙන් වෑබැම්මේ හෝ යාය වාරිමාර්ගයේ තමන්ට නියමිත කොටස කැලේ කපා සුද්ධකිරීම.

සටහන
බණ්ඩාර ඒකනායක


නව අදහස දක්වන්න