බයි­සි­ක­ල­යට පෙම්බ­ඳින්නෝ | දිනමිණ

බයි­සි­ක­ල­යට පෙම්බ­ඳින්නෝ

බයිසිකල් පැදීමට උගත යුත්තේ වරක් පමණි. ඒ කෙනකුට කිසිදිනක අමතක නොවන හුරුවකි. පැත්තකට ඇලවූ බයිසිකලයට උඩින් කකුලක් දමා පතුල පැඩලය මත තබා බයිසිකල සමබර කර සැණෙන් එය පැද ගෙන යාම නොහික්මුණ අශ්වයකු හීලෑ කර පැද යෑම වැනි අත්දැකීමකි. පුරුදු වෙන තුරු බයිසිකලයත් තමන්ගේ හිතක් ඇති තමන්ට ඕනෑ විදියට හැසිරෙණ අශ්වයකු සේ දැනෙන බව සැබෑවකි. බයිසිකලය තමන්ගේ කොටසක් සේ හැසිරවීමට හුරුවන බොහෝ පාපැදිකරුවන් බයිසිකල් පැදීමේ අත්දැකීම 'නිදහස' යන තනි වචනයෙන් හැඳින්වන්නේ එය විඳීමෙන්ම තේරුම්ගත යුතු සරල අහිංසක අත්දැකීමක් නිසා විය යුතුය.

අපට වේගයෙන් තැනකින් තැනකට යෑමට දැන් ඕනෑ තරම් ක්‍රම ඇත. බයිසිකලය තනිකරම ප්‍රවාහන මාධ්‍යක් නොවේ. බයිසිකලය තනිකරම ගමන් යන්නට වෙනත් විකල්පයක් නැති නිසා වන උත්තරයක් පමණක් නොවේ. බයිසිකල් පැදීම ශරීර සුවතාව නඩත්තු කිරීමට ඇති ක්‍රියාකාරකමක් පමණක්ම නොවේ. එය හුදෙක් විනෝද ක්‍රීඩාවක් පමණක්ම නොවේ. මෙකි නොකී නොයෙකුත් හේතු මත බයිසිකල් පදින්නෝ අවසන බයිසිකල් පැදීමට පෙම් බඳිති.

දෙපතුල පොළොව මත ස්පර්ශ කරමින් ඇවිදීමට සැදී ඇති අපට, ඇවිදීමට කිට්ටුම ක්‍රියාවක් වෙනස් ආනන්දයකින් නමුත් වඩා හුරුපුරුදුකමකින් කරන්නට විඳින්නට ලැබීම නිසා බයිසිකල් පැදීම බොහෝ මිනිසුන්ට හෘදයාංගම බව ඇතැම් අයගේ විග්‍රහයයි. කාරණාව කුමක් වුවත් බයිසිකල් පැදීම බොහෝ අයට ප්‍රිය වේ. ඇතැම් රටවල ඇතැම් ජන පිරිස්වලට බයිසිකලය ජීවිතයේ කොටසකි. ඔවුන්ට බයිසිකල් නැති ජීවිත නැත. ඇතැම් රටවල ඇතැම් මිනිසුන්ට බයිසිකල් නැති නම් ජීවිතය/ජිවීකාව නැත.

මා කුඩා කාලයේදි අපේ පවුලේ සමහර පිරිමි වැඩිහිටියන්ට කළුපාට ලොකු බයිසිකල් තිබූ බව මට මතක ඇත. ඒවා ඇල්ලීමටවත් පොඩි ළමයින්ට අවසර නොතිබුණි. අපේ තාත්තා කාලයක් බයිසිකලයකින් වැඩට ගියේය. කෑම පාර්සලයත්, ඇතැම් විට ගෙදර ගෙන එන රාජකාරී වැඩ ඇති ලිපි ගොනුත්, පත්තරයත් වෙනුවෙන් බයිසිකලයේ කලු පෙට්ටියක් එල්ලා තිබුණි. වැහි දිනවලට අපේ තාත්තා බටහිර චිත්‍රපටියක රහස්පරීකෂකයකු සේ ඉතා දිගු කළු වැහිකබායක් සහ තොප්පියක් පැලැඳ බයිසිකලයෙන් බොරැල්ලේ ඩි. එස්. සේනානයක හන්දියට බයිසිකලය පැද්දේය. එම ගමන තනිකරම විනෝදජනක එකක් වන්නට ඇතැයි මම නොසිතමි. නමුත් එය කදිම අත්දැකීමක් වන්නට ඇති බව මම තදින්ම විශ්වාස කරමි.

අප වැඩෙද්දි අපේ වයසට, ප්‍රමාණයට සහ අපගේ පවුල්වල ආදයමට ගැළපෙන බයිසිකල් අපට හිමිවිය. මගේ ඥාති සොයුරියකට වටිනා බයිසිකලයක් පිටරටින් ගෙන්වා දී තිබිණි. අපි නිවාඩු දිනවල ඇගේ නිවසට එන පටු පාරේ කකුල්, දණහිස, වැලිමිට (බයිසිකලයෙන් වැටෙද්දි වැඩිපුරම තුවාල වෙන තැන්) ලෙලි යන තුරු බයිසිකල් පැද්දෙමු. ඩබල්, ට්‍රිපල්, ක්වොඩ්‍රපල් පමණක් නොව, පැඩල උඩ හිටගෙන යෑම, හැඬල අත්හැර පැදීම, එකෙක් හැඬල උඩ තබා ගෙන තවකෙක් හරස් පොල්ලේ තබා ගෙන පදින්නා වැනි නොයෙක් අඩම්තේට්ටම් කරමින් බයිසිකලයට අපි වද දුන්නෙමු. ගෙයින් වඩා ඈතට බයිසිකලය පැදීමට නිර්භය කෙනා තේරීම, කන්දේ පහළට බයිසිකලය වේගයෙන් පැදීමට හැකි අය තේරිම වැනි ක්‍රීඩා අපි නිර්මාණය කර ගතිමු.

යුද්ධයෙන් බැටකන පැතිවල දරුවනට, බීමට වතුර පොදක් ණැති පැති වල දරුවනට දවසින් දවස ජීවිතය පවත්වාගෙන යෑමට බයිසිකලයක් නැතුව බැරිවේද්දී, අපි අපේ මධ්‍යම පාන්තික ආරක්ෂිත වටපිටාවේ අප දන්නා අපට තේරෙන අහිංසක ක්‍රමයට අපේ ළමා කාලය වින්දෙමු.

මගේ මුල්ම බයිසිකලය බොරැල්ලේ වූ සාප්පුවකින් තාත්තා විසින් මිලදී ගැනුණ නිල් පාට බී.එම්.එක්ස්. වර්ගයේ එකකි. බයිසිකලය මිලදී ගැනීමට මා රැගෙන ගියේ නැත්තේ ඇයිද, බයිසිකල නිල්පාට එකක් වූයේ සාප්පුවේ රතු පාට ඒවා නොවු නිසා නොවන බව තේරුම් ගැනීමට මට ඒ තරම් කාලයක් ගියේ නැත. අම්මා තාත්තා එකතුව මා රැවටූවත් බයිසිකල ගෙනැවිත් ඇත්තේ මල්ලි වෙනුවෙනි. ගස් නැගීමට මට පැනවුන තහනම සමඟ ඉතා ඉක්මනින් බයිසිකල් පැදීමේ තහනමක් මට පැනවිණි. නමුත් බයිසිකල් පදින්නන් ලේසියෙන් මෙල්ල කළ හැකි උන් නොවේ. අදටත් මල්ලිලාට වඩා හොඳින් බයිසිකල් පැදීමට මට හැකි බව මම නොබියව ප්‍රකාශ කරමි.

මම ලැබෙන හැම මොහොතකම ඕනෑ තැනක ඕනෑ කෙනකුගේ බයිසිකලයක් පදින කෙනකු වීමි. ඕස්ට්‍රේලියාවට පිටත් වී ගිය පසුව අපි දෙදෙනා අපේ පුතු බයිසිකල් අසුනක තබාගෙන බයිසිකල් මංපෙත් සොයමින් අප අවට පරිසරය පුරා පැදයාම පුරුද්දක් ලෙස කරගෙන ගියෙමු. අපි දුරුගමනක පවා යද්දී වාහනයේ බයිසිකල් බැඳගෙන යෑම කරන්නට වීමු. වාසනාවකට ඕස්ට්‍රේලියාව වැනි රටවල ඒවා කිරීමට අවැසි උපකරණ පහසුකම් එමටයි. මිනිසුන් පිරෙන්නේ නැති කාර්යබහුල නොවන වේලාවට දුම්රිය ස්ථානයට බස් නවැතුම්පොළට බයිසිකලයෙන් එන අයට ඔවුන්ගේ බයිසිකල් බස්, කෝච්චි ඇතුළේ දමාගෙන යන්නට පවා ඒ කාලයේ ඉඩ අවසර ලබා දුනි. මම දැන් ජීවත් වෙන අමෙරිකාවේ පවා දුම්රිය ස්ථාන, බස් නැවතැම් සහ බොහෝ තැන්වල සුරැකිව බයිසිකල් නවත්වා යෑමට පහසුකම් ඇත. ඇතැම් බස්වල බයිසිකල් රැක් පවා සවි කොට ඇත. නගරවල කුලියට හෝ නොමිලේ ලබාගත හැකි බයිකල ඇත. සමහර පාසලවල ඉතා කුඩා දරුවන්ට පවා පයින් පැමිණීම සහ බයිසිකල පැද ඒමට අනුබල දීමට කටයුතු කරන්නේ බොහෝ ඵලදායී හේතු නිසා වේ. නිසි වීසා බලපත් නැතිව අමෙරිකාවේ ජීවත් වෙන බොහෝ සංක්‍රමණිකයන් වාහනයක් පැදීමට බලපත් ලබාගැනීමට නොහැකි නිසා ඔවුන්ගේ ගමන් බිමන් කරන්නේ බයිසිකලයෙනි. ඔවුන් දුම්රියට, බස්රියට බයිසිකලයෙන් පැමිණ ඒවා ඒ තැන්වල අගුළු දමා යයි. කෙතරම් උඩ පන්තියේ ආරක්ෂිත පරිසරයක විසූවත් එළියේ අගුළු නොදමා තැබූ බයිසිකලයක් අතුරුදන් වීමට ඉඩක් ඇත. නැති වූ බයිසිකල හොරුන්ගේ පවා ප්‍රේමයට බඳුන්වන බව බයිසිකල් හිමිකරුවෝ දනිති.

යන්තම් සීත කාලය පහවී ගෙන යන්නට පටන් ගෙන ඉර පොළොව රත් කරන්නට පටන් ගනිද්දී අපේ බයිසිකල් පැදීමේ වුවමනාව යටපත් වී තිබූ රෝගයක් සේ මතු වේ. මඬින්නට බැරි ඇබ්බැහිවීමක් සේ බයිසිකලය පැදින්නැයි අප තුළින් අපව පොළඹවයි. බයිසිකල් ඔවුන්ව පදින්නැයි අපෙන් ඉල්ලයි. සමහරවිටෙක ඒවාට ඔවුන්ට හිමි සිතක් සහ අපට කතා කිරීමට හැකියාවක් තියෙනවා වෙන්නත් පුළුවනි.

හිමාලි එන්. ලියනගේ


නව අදහස දක්වන්න

Or log in with...