කීර­වැල්ල පර­පුර | දිනමිණ

කීර­වැල්ල පර­පුර

ශ්‍රී ලංකාවේ බොහෝ සිංහල රජවරු සිය අග මෙහෙසියන් සොයා ගැනීම උදෙසා ඉන්දියාව දෙසට නෙත් යොමු කළ බවට අපේ ඉතිහාසය සාක්ෂි දරයි. කන්ද උඩරට රජකළ දෙවන රාජසිංහ රජුගේ අග බිසව වූයේ මධුරාවේ නායක්කාර් වංශික කාන්තාවකි. රාජසිංහ රජු අනුව යමින් ඔහුගේ පුතු ද (දෙවන විමලධර්මසූරිය), ඉක්බිතිව මුනුපුරු ද (නරේන්ද්‍රසිංහ) බිසවුන් සොයා මධුරාවට යොමුවීම නිසා අවසානයේ ලක්දිව කිරුළ නායක්කාර් වංශිකයන් සතුවිය. එහෙත් කෝට්ටේ රජවරු ද, කන්ද උඩරට මුල් රජවරු ද ඉන්දියාවෙන් බිසවුන් ගෙන්වා ගැනීම වෙනුවට කීරවැල්ලේ පෙළපත වෙත සිය නෙත් යොමු කළහ.

සතර කෝරලයට අයත් බෙලිගල් කෝරලයේ එක් පත්තුවක් ‘කීරවැලි පත්තුව’ වෙයි. කිත්සිරිමෙවන් රජදවස දළදාව ලංකාවට රැගෙන පැමිණි රත්නමාලි කුමරිය (හේමමාලා) සහ දන්ත කුමරු කීරවැල්ලේ පදිංචි කරවන ලද බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් ය. කීරවැල්ලේ පවුල ගැන විස්තර දැක්වෙන ‘කීරවැල්ලේ රජ මූල පරම්පරාව’ නම් පුස්කොළ පොතක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බවත්, එහි මුල් තොරතුරු ඇතුළත් පිටු විනාශ වී සයවන විජයබාහු රජුගේ පටන් තොරතුරු පමණක් ශේෂ වී ඇති බවත් සිංහල විශ්ව කෝෂයේ ‍තුන්වන කාණ්ඩයේ දෙවන කලාපයේ සඳහන් ය.

දහහතර සහ පසළොස්වන සියවස්වල ලංකාවේ රජපවුල් බෝධිභාර කුලයන්ගෙන් පැවති එන බව සඳහන් වෙයි. එමගින් මෙම රජවරු ලම්භකර්ණ වංශයට අයත් බව හැඟවේ. මෙම ප්‍රයත්නය රාජවංශික බව හඟවන්නට යොදාගත් උපක්‍රමයක් විය හැකි බව සිංහල විශ්වකෝෂයේ සඳහන් ය.

කීරවැල්ලේ බිසෝවරුන් පිළිබඳ රාජාවලියේ හා අලකේශ්වර යුද්ධයේ මුලින් ම සඳහන් වන්නේ සවන පරාක්‍රමබාහු රජු කීරවැල්ලේ කුමාරිකාවක් සරණ පාවා ගත් බව ය. ‘අලකේශ්වර යුද්ධය’ පැරකුම්බා රජු “බෝධි වඩාගෙන ආ අනුරාධ කුමාර ගෝත්‍රයෙන් පැමිණි කීරවැල්ලේ බිසෝ කෙනෙකු” සරණ කොට ගත් බව පවසයි. (එහෙත් බෝධිය වඩා ගෙන පැමිණි කුමරුන් ගැන බෝධිවංශයේ එන සඳහනේ අනුරාධ නම් කුමාරයෙකු ගැන සඳහන් නො වේ.) රජුගේ මව වන සුනේත්‍රා දේවියට හෝ දියණිය වන උලකුඩය දේවියට සාපේක්ෂව කීරවැල්ලේ බිසව පිළිබඳ තොරතුරු සඳහන් වී නැත. ( මෙම බිසව ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකේ යයි ඇතැම්හු සඳහන් කරත්.) පරාක්‍රමබාහු රජු මලබාරයෙන් පැමිණි ‘පනිකල්’ නම් රාජ වංශයකට අයත් දක්ෂ සෙන්පතියාට සිය කීරවැල්ලේ බිසවගේ නැගණිය සරණ පාවා දී ඇත. පැරකුම්බා රජ සිය පුතුන් සේ හදා වඩා ගත් සපුමල් කුමාරයා සහ අම්බුළුගල කුමාරයා මෙම දෙපළගේ දරුවෝ ය. පැරකුම් රජ සෙවණේ ම දරුවෙකු සේ ඇති දැඩිව පසුව පැවිදි වූ තොටගමුවේ රාහුල හිමියන් කීරවැල්ලේ බිසවගේ වැඩිමහල් සොහොයුරියගේ දරුවා වෙයි. රාහුල හිමියන් සපුමල් කුමරු ආදීනට වඩා උලකුඩය දේවිය පිළිබඳව දැක්වූ සැලකිල්ලට හේතුවන්නට ඇත්තේ මව් පස ඤාතිත්වය විය හැකියයි ඇතැම් අය සඳහන් කරත්.

කීරවැල්ල නැවතත් ඉතිහාසයේ පරිච්ඡේද තුළින් මතු වන්නේ ධර්මපරාක්‍රමබාහු රජු හා ඔහුගේ සොහොයුරන් පිළිබඳව කියැවෙන පුවත් වෙනුවෙනි. ධර්මපරාක්‍රමබාහුගේ සහෝදරයන් අතුරින් මැණික්කඩවර පෙදෙස පාලනය කරමින් ශ්‍රී රාජසිංහ හා විජයබාහු යන කුමාරවරු දෙදෙන එකම බිසවක් සරණ පාවා ගෙන වෙසෙති. මේ දෙදෙන එකගෙයි කෑමේ චාරිත්‍රය මත විවාහ කර ගෙන සිටින්නේ කීරවැල්ලේ බිසවකි. මෙම බිසවගේ නම ‘අනුලා කහතුඩ’ බව එකම මූලාශ්‍රයක පමණක් සඳහන් වෙයි. (වෙනත් කිසිදු මූලාශ්‍රයක එවන් සඳහනක් නොඑයි.) ඒ මහාචාර්ය රිසිමන් අමරසිංහ විසින් මානියම්ගම විහාරයෙන් ලබාගෙන ‍ඓතිහාසික සීතාවක නම් ග්‍රන්ථයට ඇතුළු කොට ‍‍ප්‍රසිද්ධ කර ඇති මානියම්ගම විහාරවාසී ‘සිටිනාමළුවේ ධර්මපාල’ හිමියන් විසින් ලියන ලද ‘සීතාවක රාජසිංහ රාජ්ජ කාලය’ පුස්කොළ ලිපියෙනි.

උඩරට රජු කෝට්ටේ රාජ්‍යයට අවනත නොවී කටයුතු කරන හෙයින් ඔහුට දඬුවම් කිරීම සඳහා ධර්ම පරාක්‍රමබාහු යවන්නේ සිය සොහොයුරු මැණික්කඩවර සිටින ශ්‍රී රාජසිංහ කුමාරයා ය. රාජසිංහ රජු යටිනුවර කුණුකොහොල්පිටියේ වාඩි ලා සිය සුහුරු (බිරිඳගේ සොහොයුරා) කීරවැල්ලේ රාලහාමිට හමුදාව භාර දී යුද්ධයට යවයි. උඩරට රජු සාමදාන වන්නේ කීරවැල්ලේ රාලහාමිට ඇතුන් තුන්දෙනෙක් හා පනං ලක්ෂයක් දී තම දියණිය කීරවැල්ලේ රාලහාමිට විවාහ කර දෙමිනි. මෙහි සඳහන් උඩරට රජු සෙංකඩගල මුලින් රජකම් කළ ‘සේනාසම්මත වික්‍රමබාහු’ රජු විය යුතු ය. කීරවැල්ලේ රාලහාමිට හා උඩරට බිසවට පුතුන් සයදෙනෙක් හා දියණියක් ඉපදුණු බව රාජාවලියේ සඳහන් ය. වැලිකෝරලේ රාලහාමි, ගුම්ගොමුවේ රාලහාමි, ඔබ්බේරියේ රාලහාමි, වළගෙයි රාලහාමි, ඇන්නොරුවේ රාලහාමි, කීරවැල්ලේ රාලහාමි මෙම පුත්තු වෙත්. දියණිය උඩරට ඊළඟට රජ පැමිණි ජයවීර බණ්ඩාර රජු හා සරණ ගියා ය.

ධර්ම පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් කෝට්ටේ රජු බවට පත්වන්නේ විජයබාහු කුමාරයා ය. (සයවන විජයබාහු) මේ වන විට කීරවැල්ලේ බිසවත්, රාජසිංහ කුමාරයාත් මියගොස් සිටිත්. විජයබාහු කීරවැල්ලෙන් ම තවත් බිසවක් පාවා ගනියි. ඇය එන්නී ‘දේවරාජ’ නම් කුමාරයෙක් සමඟ ය. අර්බුදය පැන නගින්නේ විජයබාහුගේ පුතුන් තිදෙනා වන බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර (පර රාජසිංහ), මායාදුන්නේ යන පුතුන් සිටිය දී කුඩා දේවරාජ කුමාරයාට රජකම පවරන්නට විජයබාහු රජ කුමන්ත්‍රණය කරන හෙයිනි. කුමන්ත්‍රණය දැනගත් සොහොයුරෝ පලා යති. මායාදුන්නේ ආධාර පතා උඩරට ජයවීර රජු වෙතට යයි. අලකේශ්වර යුද්ධයේ මෙසේ සඳහන් ය. “උඩරට රජකරන ජයවීර රජ්ජුරුවන් කෙරෙහි තමාගේ ඇවැස්ස බැදෑණියන් වූ උඩුගම්පොළ සකලකලාවල්ලභ රජතෙම පුත්‍ර ප්‍රේමයෙන් ඇති කළ හෙයින් අක්කා කියණ්ඩත් සුදුසු කීරවැල්ලේ බිසෝ බණ්ඩාර එතන වැඩ ඉන්නා උදවිය උදෙසා වැඩියයි දතයුතු.” කීරවැල්ලේ රාලහාමි මායාදුන්නේ කුමාරයාගේ මවගේ සොහොයුරා වෙයි. එබැවින් ඔහුගේ දියණිය (ජයවීර රජුගේ බිසව) මායාදුන්නේගේ නෑනා ය. ඇය තම දරුවකු සේ හදා වඩා ගෙන ඇත්තේ විජයබා රජුගේ වැඩිමහලු සොහොයුරා වන උඩුගම්පළ සකලකලාවල්ලභ රජු ය. ඉතින් ඇය නෑනා මතු නො ව අක්කා ද වෙයි. මායාදුන්නේට යුද ආධාර ලැබෙයි. ඒ නෑදෑකමට ම නොවේ. කෝට්ටේ රාජධානියේ අර්බුද ඇතිවීම උඩරට රජුට වාසිදායක හෙයිනි. ඉතිහාසයේ ප්‍රකට සිද්ධියක් වන ‘විජයබා කොල්ලය’ ඇතිවන්නේත්, එයින් සයවන විජයබාහු ඝාතනය වන්නේත්, කෝට්ටේ රාජධානිය සහෝදරයන් අතර බෙදී යන්නේත් මෙම සිද්ධි දාමයේ ප්‍රතිඵලයක් සේ ය.

කෝට්ටේ දළදාව භාරව සිටියේ ද ‘කීරවැල්ලේ හිරිපිටියේ රාල’ ය. දොන් ජුවන් ධර්මපාල කතෝලිකාගම වැළඳගෙන පෘතුගීසීන්ගේ රූකඩ පාලකයකු වූ පසු සිහිනෙන් පෙනී සිටි කෙනෙක් කීරවැල්ලේ හිරිපිටියේ රාල ට මෙසේ කීවේ ලු.

“කෝට්ටේ කලාලේ කිසිල්ලේ - දත මැද ගන්න රාලේ”

(කෝට්ටේට කළ ආලයෙන් පලක් නැත. රාලේ දත මැද රටට ගෙනයන්න.) සිහිනයෙන් පසු වහා ක්‍රියාත්මක වූ හිරිපිටියේ රාල දන්තධාතු කරඬුවට ව්‍යාජ ලෙස සැදූ දන්ත ධාතුවක් බහා සැබෑ දන්ත ධාතුව සිය කිරිච්චියේ කොපුවේ බහා ගෙන වෙස්වලා ගෙන මැද රට (සීතාවක) මායාදුන්නේ රජුට දන්තධාතුව ගෙන ගොස් භාර දුන්නේ ය. මායාදුන්නේ රජු මහත් සේ සතුටුව දළදාව කුරුවිට දෙල්ගමුව විහාරයේ ආරක්ෂා සහිතව කුරහන්ගලක තැන්පත් කොට, පූජා පැවැත්වී ලු.

දහහත්වන සියවස පමණ වන විට කීරවැල්ල පරපුර අප්‍රකට වූ බව පෙනෙයි. පසුකලෙක පෘතුගීසීන් හමුවේ කතෝලිකාගම වැළඳගත් ‘දොන්ජෙරනිමෝ කීරවැල්ලේ බණ්ඩාර’ කෙනෙක් ගැන ද කියැවේ. කීරවැල්ලේ පරපුරේ වාසස්ථානය ගැන සඳහන් කරන ක්වේරෝස් “ මනිකරඋඅරේ (මැණික්කඩවර) සිට යොදුනක් ඈතින් පිහිටි පිටිගල්දිනි (පිටගල්දෙණිය) කන්දේ කීරවැල්ලේ දිසාව විසූ” බව කියයි. විජයබාහු හා රාජසිංහ දෙදෙන කීරවැල්ලේ කුමරියක් සමඟ විසූ මාලිගාව හෙළි කරන නටබුන් කිසිවක් මැණික්කඩවර නැති බව 1890 දී පමණ එහි ගිය එච්. සී. පී. බෙල් සිය කෑගලු වාර්තාවේ සඳහන් කරයි. එහෙත් ‘මාලිගාවත්ත’ නම් ඉඩමක් මැණික්කඩවර ඇති බව මා හා කීවේ මැණික්කඩවර උපන් දසනායක කීරවැල්ල මහතා ය.

කීරවැල්ල මධ්‍යකාලීන යුගයේ දී රජබිසෝවරුන් ගණනාවක් බිහි කළ පරම්පරාවකි. ඒ පිළිබඳ අනාවරණය නොවූ තොරතුරු ඇත්නම් අනාවරණය කිරීම අපේ ඉතිහාසයට බෙහෙවින් වැදගත් ය.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න

Or log in with...