එකම කාසියේ දෙපැ­ත්තක් | දිනමිණ

එකම කාසියේ දෙපැ­ත්තක්

අපේ පොඩිඑකාට කැම්පස් එකෙන් ලියුමක් ඇවිත්. ලියුමක් කියන්නේ නිකම්ම නිකම් ආදර හසුනක් වගේ එකක් නෙවෙයි. නවකවධ සිදුවීමකට අදාළව පැවැත්වෙන පරීක්ෂණයකට සාක්ෂි කැඳවීමක්. පොඩි එකා, ලියුම හංග ගන්න හැදුවත් මං ඒක දැක්කා. විශ්වවිද්‍යාලයේ ලෝගෝ එකත් මට පුරුදුයි. උපාධිය සම්පූර්ණ කරන්නත් ඉස්සර කථිකාචාර්ය තනතුරකට වගේ කැඳවන්න විදිහක් නැති නිසා මං කොහොමත් ලියුම ගැන සැක කළා.

“මේක මේ මං සම්බන්ධ එකක් නෙවෙයි. මට නිකම් කටඋත්තරයක් දෙන්න කියලා තියෙන්නෙ. මං ඒ සිද්ධිය දැක්කද කියලා සැක කරලා“ පොඩි එකා, තමන්ගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න එහෙම කියනවා.

“ඒක තමා මං මේ බයවුණා. මේ වගේ 'පොල්ලෙන් ගහනවා' වගේ කියන්නෙ නැතුව විස්තර ඇතුව ලියුමක් එව්වනම් නොවැ වටින්නෙ“ මායියා කියනවා.

“පැමිණිලි කාරයටයි, විත්තිකාරයටයි, සාක්ෂිකාරයටයි ඔක්කෝටම යවන්නෙ නම විතරක් වෙනස් කරලා එකම ලියුම තමයි. ඒක තමා විශ්වවිද්‍යාල සම්ප්‍රදාය“ පොඩි එකා, අම්මට ලොකු විස්තරයක් කරනවා. මං ඉතිං ඇසුණු නෑසුණු ගාණට 'කොහොමත් ඉතිං ඔය පරීක්ෂණය තියෙන්නෙත් එහේ සම්ප්‍රදායකට විරුද්ධවම තමා' කියලා කීවා. පොඩි එකා එතැනින් සුටුස් ගාලා මාරුවුණා.

ඇත්තටම මේ වගේ නවකවදයට එරෙහි පරීක්ෂණ අවසානයේ සිසුන් වැරදිකරුවන් හැටියට ඔප්පු වුණොත් වැඩිම වුණොත් පංති තහනමක් කරයි. කොහොමත් දේශන වර්ජනය කිරීම කියන්නේ දැන් කාලෙ කොල්ලන්ගේ කෙල්ලන්ගේ දෛනික පුරුද්දක් නිසා ඒක එයාලට දැනෙන්නෙම නෑ. එහෙමත් නැත්නම් සුමානෙකට හමාරකට ශිෂ්‍යභාවය අහෝසි කරයි. ඒක ඉතිං මාසයක් හමාරක් වුණොත් 'උදුරා ගත් ශිෂ්‍යභාවය නැවත ලබාදෙනු' කියලා ආයෙමත් පංති වර්ජන, උද්ඝෝෂණ සූදානම් කෙරෙයි. ඊට පස්සෙ ඔන්න ටික දවසකින් ඒකත් ඉවරවෙනවා. රෝදෙ දුවන්නෙ ඒ විදිහට. එකක් පස්සෙ එකක්. ඒත් නැවතීමක් නෑ. ඊළඟ අවුරුද්දෙ ආයෙත් අලුත් සිසුන් කණ්ඩායමක් බඳවාගත්තම ආයෙමත් නවකවදය, ඊට විරුද්ධ පරීක්ෂණ..ආදී වශයෙන් මේ රෝදෙ දිගටම කැරකෙනවා.

“අන්න අහවල් නිලධාරියත් මුදල් ගසාකෑමකට විරුද්ධව අත්අඩංගුවට අරන්“ මායියා, වැඩියෙන්ම උනන්දු ඒ වගේ ප්‍රවෘත්තිවලටයි.

“හොඳ වෙලාවට දේශපාලනඥයෙක් ගන්නෙ නැත්තේ“ මං කිව්වා.

“ඇයි. එයාලව තමා ගන්නම ඕන. ‍තෝරු, මෝරු අතෑරලා පැත්තක ඉන්න හාල්මැස්සො ගන්නෙ නැතිව.“ මායියා කියනවා.

“නෑ ඉතිං එහෙම වුණොත් ඒක ඔය කියන චෝදනා මුදල් ගසාකෑම් වෙන්නෙ නෑනෙ. එහෙම වුණානම් 'දේශපාලන පලිගැනීම්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට හවුල්වෙලා දේශප්‍රේමීන් හිරකිරීම්' වගේ දෙයක් වෙනවනෙ“ මං කීවා.

“ඒක නම් එහෙම තමයි“ පොඩි එකත් කාමරේ ඉඳලා කතාවට හවුල් වෙන්න හිතාගෙන මැද්දට පැන්නා. මායියත් ඔළුව හොලවලා ඒ කතාව අනුමත කරන බවක් ඇඟෙව්වා. පළවෙනි වතාවට එක වහලක් යට අප්ච්චිටයි, අම්මටයි, පුතෙකුටයි එකම අදහසකට එකඟවෙන්නට හැකිවීමේ ප්‍රීතිය ටික වෙලාවක් තිබ්බා.

“ඕක ඉතිං නිදහස් අධ්‍යාපනයටත් ඔය වගේම අදාළයි නොවැ“ මං කතාව වෙනතකට හැරෙව්වා.

“ඒ කොහොමද?“ මායියා, එහෙම ඇහුවේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ රඳවගෙනමයි. 'නිකං නොහොබිනා කතාවක්' කියලා මේ සමගිය බිඳගන්නෙ මොකටද?' වගේ කියන නෝක්කාඩු බැල්මකුත් ඒකෙ තිබ්බා.

“නෑ ඉතිං නවකවදය දීලා, ළමයි පීඩාවට පත් කරලා මොනව හරි පරීක්ෂණයක් කරලා දෙතුන් දෙනෙකුට දඬුවමක් දුන්නොත් ඒකත් වරදකට‍ දඬුවමක් හැටියට පිළිගන්න අපේ ශිෂ්‍ය ව්‍යාපාරයෙ දරුවො සූදානම් නෑනෙ. ඒ වෙනුවට ඒක 'නිදහස් අධ්‍යාපනයට විරුද්ධ කුමන්ත්‍රණේක ප්‍රතිඵලයක්' හැටියට නොවැ කියාපාන්නෙ. ඉතිං ඒක ඔය කියන දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි. ඔහෙලට වුණත් එකවගේම අදාළයි“ මං කීවා.

“මං හිතුව අප්පටයි පුතාටයි ටික වෙලාවක් හරි එක මතයක එකට ඉන්න පුළුවන්' කියලා.“ මායියා, ‍ගස්සගෙන යන්න ගියා. මං ඉතිං නිහඬවම හිටියා. පොඩි එකා මොකුත්ම කීවෙ නෑ. ඒත් ටිකක් කල්පනා කරන බවක් නම් පෙනුණා.

බණ්ඩි රාල

නව අදහස දක්වන්න