දොස්ත­ර­ලාට සටන් පුහු­ණු­ව | දිනමිණ

දොස්ත­ර­ලාට සටන් පුහු­ණු­ව

රෝගින්ගෙන් බේරීමට ඉන්දියාවේ දොස්තරලා සටන් පුහුණුුවක් ලබන බවට ආරංචි පැතිරෙනවා. මේ පුවත අහපු ගමන් මට හිතුණේ අපේ දොස්තර මහත්තයලටත් මේ ලෙඩේ බෝ වෙයිද කියලයි. මොකද නිතර නිතර වැඩ වර්ජනය කිරීමේ බරපතළ රෝගයකින් අපේ දොස්තර මහත්තයලත් පෙළෙන බව දකින්න ලැබෙන නිසයි. දොස්තර මහත්තයලා මෙහෙම වැඩ වරන්න පෙළඹෙන හේතු කොයිතරන් සාධාරණද අසාධාරණද කියන එක කතා කරන්න නෙමේ මම මේ ලිපියෙන් උත්සහ කරන්නෙ. නිදහස් සේඛ්‍ය සේවයක වටිනාකම හා එහි උපරිම පල ළො ගැනිමට ජනතාවට ඇති අයිතිය ගැනයි මෙහිදි මගේ අවධානය යොමු වෙන්නේ.

අද වෙනකොට කවුරුත් දන්න කාරණයක් තමා ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින හැම රටකම වගේ පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරත් ඊට සමාන්තරව වර්ධනය වෙමින් තිබෙන බව. පෞද්ගලික වෛද්‍ය සේවයට දොර කවුළු විවර කරද්දි ඕනාම ආණ්ඩුවක් කියන කතාව තමා ඇති හැකි අය මුදලට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පෙළඹවීම මගින් නැති බැරි ජනයාට නිදහස් සෞඛ්‍ය සේවයේ වැඩි පල භුක්ති විඳීමට අවකාශ සැලසීමට පුළුවන්ය කියන එක. නමුත් ඇත්තටම සිද්ද වෙන්නෙ රජයේ රෝහල්වල තදබදය වැඩි වන විට තමන්ගේ ඉඩම්කඩම් ගෙවල් දොරවල් විකුණලා හරි පෞද්ගලික රෝහල් වෙත ඇදී යාමට ජනතාවට සිද්ධ වීමයි.

දැන් මේ තත්ත්වය ලෝකයේ රටවල් රැසක ඉතා බරපතළ සමාජ හා දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම මින් වැඩි වශයෙන් බැට කන්නේ ලංකාවද අැතුළු සංවර්ධනයේ අරුණළු දකින්නට වෙහෙස වන රටවල් බව අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් අපේ රට ගත්තහම ඉතාම දක්ෂ වෛද්‍යවරුන් වගේම දියුණු වෛද්‍ය සේවයක් සහිත රටක් බව අපි දන්නවා. නමුත් ගැටලුව වන්නේ නිදහස් සෞඛ්‍ය සේවය වර්ධනය කිරීමට අපට ඇති නොහැකියාවයි. එය කෙළින්ම රටේ ආර්ථික ශක්තිය සමඟ බැඳී පවතින කාරණයක්. අපේ අසල්වැසියන් වන ඉන්දියාව හා බංගලිදේශය වැනි රටවලට සාපේක්ෂව බලන විට අපේ තත්ත්වය හොඳ වුණත් ජනගහනයට සාපේක්ෂව අවශ්‍ය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ගත්තහම අපි තාමත් පසු වෙන්නේ ලෝක සෞඛ්‍ය සේවයේ නිර්දේශවලට පිටුපසින්.

ඉන්දියාව වගේ රටක් දෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු විම ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නෙ එහි දකින්න ලැබෙන සංවර්ධනයේ අසමතුලිතතාව නිසයි.

ඉන්දියාවත් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක් තහවුරු කළ රටක්. නමුත් ප්‍රායෝගිකව බලන විට රජයේ රෝහල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා වෛද්‍ය පහසුකම් අඩු වීම වගේ කාරණා මත පෞද්ගලික අංශය වෙත ඇති නැඹුරුව වැඩි වී තිබෙනවා. අනිත් අතට ඉන්දියාවේ සෞඛ්‍ය සේවය මධ්‍යම රජයේ පාලනයෙන් බැහැර වී තිබීමත් සෞඛ්‍ය සේවයේ බිඳ වැටීමට හේතුවක් වශයෙන් පෙන්වා දෙනවා.

මෙයට හොඳම උදාහරණය තමා ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රාන්තවල හා ආර්ථික වශයෙන් පසුගාමී ප්‍රාන්ත අතර පවතින අසමානතාව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට අනුව කේරලය වැනි පොහොසත් ප්‍රාන්තයක උපතේදී සිදු වන ළදරු මරණ සංඛ්‍යාව දහසකට 12ක් වන අතර ඇසෑමය වැනි දුප්පත් ප්‍රාන්තයක එම සංඛ්‍යාව දහසකට 56ක් වෙනවා. වැඩි සේවා පහසුකම් තිබෙන ප්‍රාන්ත රෝහල් සීමිත වීමත් ජනතාව පීඩාවට පත් වන තවත් කරුණක්. වැඩි පහසුකම් සහිත සීමිත රෝහල්වලට අසීමිත ලෙස රෝගීන් ඇදී ඒම වැළැක්විය නොහැකි කාරණයක්. මෙසේ පොදිගැසෙන දහස් සංඛ්‍යාත රෝගීන්ට වෛද්‍ය පහසුකම් සලසන්න බැරි වීම හේතුවෙන් රෝගීන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ වාචික හා කායික පහරදීම්වලට එම වෙද්‍යවරුන්ට මුහුණ දීමට සිදු වීම අද සුලබ සිද්ධියක්. 2017 අවුරුද්දේ පමණක් පොදුවේ සලකා බලන විට ඉන්දියාවේ එක් රෝහලක 40‍ක් පමණ වෛද්‍යවරුන් මෙසේ අඩත්තේට්ටන් වලට ලක් වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

රෝහල්වල තදබදය දරාගත නොහැකි රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් කෝපයට පත්වෙලා වෛද්‍යවරුන්ට පහර දෙනඑක අද ඉන්දියාවේ සාමාන්‍ය සිද්ධියක් බවට පත් වී තිබෙනවා. පහු ගිය මැයි මාසයේ පටන් වෛද්‍යවරුන් ආරක්ෂක සටන් ක‍්‍රම පුහුණුවක් අරඹා තිබෙන්නේ මීට පිළියමක් හැටියටයි. බැලූ බැල්මට මේක එක්තරා හාස්‍යජනක සිද්ධියක් වුණත් මෙය තමා ඉන්දියාවේ රෝගී ජනයා හා වෛද්‍ය වෘත්තිකයන් අද මුහුණ දි තිබෙන ප්‍රශ්නයේ යථා ස්වරූපය. මේ විදිහට අද වන විට ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටා තිබෙන සමස්ත ඉන්දියානු වෛද්‍ය විද්‍යා ආයතනයේ (අපේ G.M.O වැනි) අරඹා තිබෙන ස්වයං ආරක්ෂාව පිළිබඳ සටන් පුහුණු පාඨමාලාවට එක් විමට වෛද්‍යවරුන් පුදුමාකාර උනන්දුවක් දක්වන බවත් ආරංචියි.

මේ පිළියමත් හරියට ”පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා” වගේ වැඩක් කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මින් සිදු විය හැකි එකම දෙය තමා වෛද්‍යවරුන් හා ජනතාව අතර දැනටමත් පැන නැඟී තිබෙන ගැටුම්කාරී වාතාවරණය තව තවත් වර්ධනය වීම. අනිත් පැත්තෙන් මෙහි වක්‍ර වාසිය යන්නෙත් පෞද්ගලික අංශයටයි. පෞද්ගලික වෛද්‍ය සේවය වහාම අහෝසි කළ යුතුයි කියන අන්තවාදි අදහස මීට ප්‍රතිකර්මයක් නොවන බවත් පැහැදිලියි. මේ වෙන විට අන්තවාදි දේශපාලන ව්‍යාපාරයක් වත් එවැනි සටන්පාඨ ඉදිරියට දාන්න එතරම් කැමැත්තක් දක්වන්නේ නැති බවත් පෙනෙනවා. ඒ වෙනුවට මධ්‍යස්ථ මතධාරීන්ගේ යෝජනාව වී තිබෙන්නේ පෞද්ගලික අංශවලද සහයෝගය ලබාගෙන නිදහස් වෛද්‍ය සේවය තවදුරටත් පුළුල් කිරීමට මධ්‍යම රජය කටයුතු කළ යුතු බවයි.

අද ඉන්දියාවේ ඇති වී තිබෙන මේ අර්බුදයෙන් අපටද ඉගෙනගත හැකි පාඩම් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ පාලකයන්ගේ හා තීන්දු තීරණ ගැනීමට බලයක් ඇති නිලධාරීන්ගේ දැඩි අවධානයට යොමු විය යුතු කරුණක් තමා බලය විමධ්‍යගත කිරීමේ දේශපාලන වැඩපිළිවෙළේදී වෛද්‍ය සේවය බඳු ජාතික වැදගත්කමකින් යුතු ක්ෂේත්‍ර මධ්‍යම රජයේ අධිකාරිත්වය යටතේම රඳවාගැනීමේ වැදගත්කම. මේ කාරණයේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දරන ස්ථාවරයත් එයම වීමෙන් එහි ඇති ප්‍රායෝගික බව තහවුරු වෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත සභා වගේම ලංකාවේ පළාත් සභාත් සෞඛ්‍ය සේවය වැනි විෂයයක් කළමනාකරණය කිරිමට අසමත් බව මෑතකාලීන සිදුවීම්වලින් පෙන්වා දි තිබෙනවා. ජනතාවට ඉතා සංවේදි සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි විෂයයන් බලය විමධ්‍යගත කිරීමට හානියක් නොවන පරිදී මධ්‍යම රජයේ අධිකාරිත්වය යටතේ පැවතීම ජන ජීවිතයේ සුරක්ෂිතබවට රුකුලක් බව විද්වතුන්ගේ පවා පිළිගැනීමයි. දුරදක්නා නුවණක් ඇති ආණ්ඩුවකට කළ හැකි තවත් කාර්යයක් තමා ජනතාවට වාසිදායි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම. එමගින් ස්ථීර ආදායම් මාර්ග ඇති මැද පන්තියේ ජනයා පෞද්ගලික වෛද්‍ය අංශ වෙත යොමු කරවීමට අනුබල දිය හැකියි.

නිරන්තරයෙන් සිදු වන වෛද්‍ය වැඩ වර්ජන ක්‍රමානුකූලව සහමුලින්ම නතර කිරීමට පියවර ගැනීමද ආණ්ඩුවේ මෙන්ම වැදගත් වෘත්තිකයන් පිරිසක් වන වෛද්‍යවරුන්ගේද යුතුකමක්. කැත්තට පොල්ල මෙන් නොසිට දෙපිරිසම සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් ගැටලු විසඳා ගන්නේනම් ජනතා ප්‍රසාදය දෙපිරිසටම නොඅඩුව ලැබෙනවා නොඅනුමානයි. එසේ නොවී තවදුරටත් ජනතාවගේ ජීවිතයත් මරණයත් අතර තිබෙන මෙවන් ප්‍රශ්න හමුවේ කඹ ඇදීමේ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළොත් අපේ දේශපාලකයන්ට වගේම දොස්තර මහත්තයලටත් අන්තිමට සිද්ධ වෙන්නේ ආත්මාරක්ෂක සටන් පුහුණු පන්තිවලට යාමට බවත් මතක් කර දෙන්න කැමතියි.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...