උඩපළාත සභාපති සහ විපක්ෂ නායක රෝහලේ | දිනමිණ

උඩපළාත සභාපති සහ විපක්ෂ නායක රෝහලේ

ගම්පොළ උඩපළාත ප්‍රාදේශිය සභාවේ අද උදෑසන උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එහි සභාපති සහ විපක්ෂ නායකවරයා රෝහල් ගත කර තිබේ.

වීදුරු බෝතලයක් හිසේ වැදීමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

උණුසුම්කාරී තත්ත්වය හමුවේ උඩපළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද හදිසියේ ඇතිවු හෘදයා බාධයකින් රෝහල් ගත කළ බව ද සදහන්.


ගම්පොළ උඩපළාත ප්‍රා: ස: රැස්වීම උණුසුම් වෙයි

සභාපති - විපක්ෂ නායක තුවාල ලබා රෝහලේ

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභා රැස්වීමේ දී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එහි සභාපතිවරයාත් පපුවේ වේදනාවක් හටගත් විපක්ෂ නායකත් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී එහි බහුතර බලය කිසිවෙකු‍ටත් නොලැ‍බුණු අතර මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සභාව පිහිටුවීමට කටයුතු යොදා තිබුණි.

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ද පොහොට්ටුවෙන් ඉල්ලා ජයග්‍රහණය කර තිබුණත් ඔහුට මෙවර සභාපති ධුරය අහිමිවන බව දැනී එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවී සභාව පිහිටුවා තිබුණි.

ඒ අනුව සභාවේ උපසභාපති ධුරය එහි අසේල අමරසේන මහතාට හිමිවී තිබුණි.

මේ තත්ත්වය සමඟ සභාව පිහිටුවූ දිනයේ සිට දිනෙන් දිනම සභාව තුළ ගැටුම් ඇති විය.

ඊයේ (12) උදෑසන උඩපලාත සභාව ඉදිරිපිට විපක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනකු සමඟ ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණයක් ද පවත්වනු ලැබුවේ මේ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙදිනට සභාව ද පැවති නිසා උද්ඝෝෂණයෙන් අනතුරුව මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගි වීමට ගියද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආසන වෙනස් කර තැබීමේ සිද්ධියක් මුල්කරගනිමින් සභාව තුළ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී කිසියම් මන්ත්‍රීවරයකු සභාපතිවරයාට එල්ල කළ බෝතල් පහරක් වැදී ඔහු මෙසේ රෝහල්ගත කරනු ලැබීය.

සභාවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සමඟ පොලිසිය ද සභාව වෙතට පැමිණි අතර ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ආර්. ජයන්ත මහතා ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සභාපතිවරයා ආරක්ෂා සහිතව සභාවෙන් එළියට ගෙන එන ලදී.

විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් සභාවේ මේස, පුටු පෙරළා අසැබි වදනින් බැණවැදී කෑ කෝ ගැසීම සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද ඒ සඳහා පිළිතුරු දීම නිසා සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

සභාපතිවරයාගේ ඇසකට හානි සිදුවී ඇතැයි පවසා ගම්පොළ රෝහලේ එම වාට්ටුවට ඇතුළත් කොට ඇති අතර විපක්ෂ නායක ධර්මසිරි අගලවත්ත මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වය සමඟ ඔහු ද පරීක්ෂණ ගණනාවකට යොමුකොට ඇත.

උද්ඝෝෂණ අවස්ථාව සඳහා ද ගම්පොළ අවට පොලිස් ස්ථාන ගණනාවකින් නිලධාරින් කැඳවා තිබූ අතර සභාව අවට ද ආරක්ෂාව දැඩිකොට තිබුණි.

ගම්පොළ සමූහ, ගඟඉහළ සමූහ - ජගත් ජනප්‍රිය

 

නව අදහස දක්වන්න