සමෘද්ධියේ දේශපාලනය! | දිනමිණ

සමෘද්ධියේ දේශපාලනය!

සමෘද්ධි සහනාධාරය බෙදා දෙන්නේ ද දේශපාලනයට අනුව නම්; ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදකින්නේ කෙසේද යන ගැටලුව මතු වෙයි. අප මේ ප්‍රශ්නය අපේ ම හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු යැයි සිතේ. අපගේ ඡන්දය ලබාගත් එක්තරා පිරිසක් එක්තරා කාලයක බලයට පැමිණ සමෘද්ධිය ඇතුළු සකලවිධ දේවල් දේශපාලනීකරණයට ලක් කළහ. ඉතින් අපගේ උත්තරය කුමක් විය යුතුද? දිළිදුකම පිටුදැකීම දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් ආකාරයට අනුව සිදුවන්නේ නම්; එය බරපතළ අපරාධයෙකි. එබඳු දේවල් සඳහා තීරණ ගනු ලබන නායකයන් දේශපාලනයෙන් ඉවත් කළ යුතු ය. එබඳු තීරණ ගනු ලැබීමට මූලික වන දේශපාලන පක්ෂ ද සමාජයෙන් ඈත් කළ යුතු ය.

බංගලි දේශයට ග්‍රාමීන් බැංකු ක්‍රමය හඳුන්වාදුන් නායකයා පෙන්වා දුන්නේ දිළිඳුකම පිටුදැකීමේ දී ජනතාවගේ දේශපාලනය, ජාතිය, කුලය හා පන්තිය කිසිසේත්ම සැලැකිල්ලට නොගත යුතු බව ය. අපේ රටේ දිළිදුකම පිටුදැකීමේ ප්‍රධාන වැඩසටහන වූ ජනසවිය ආරම්භ වූයේ ද ඒ අයුරින් ය. ජනසවියේ නිර්මාතෘ වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට ජනසවියේ හා ගම්උදාව ව්‍යාපාරයේ රැකියා ලබා දුන්නේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයන්ගේ ගෝලයන්ට නිවාස ලබා දුන්නේ ය. මේ සියල්ල සිදු කළේ දිළිඳුකම පිටුදැකීමේ එක් මාර්ගයක් හැටියට මිස දේශපාලන වාසි ලබාගැනීමේ චේතනාවෙන් නො වේ.

සමෘද්ධිය යනු ජනසවියේ කොපියකි. ජනසවිය නිර්මාණය කිරීම සඳහා ද එය ක්‍රියාත්මක කිරීම සඳහා ද ප්‍රේමදාස මහතා ලෝක අත්දැකීම් නිරික්ෂණය කළේය. බංගලිදේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමයේ ක්‍රමවේද, ආචාර්ය ඊ. එෆ්. සූමාකාර්ගේ ආර්ථික න්‍යාය පමණක් නොව; මාක්ස්වාදී චින්තනයක් සහිත ආචාර්ය ගුනාර් මින්ඩාල්ගේ ආර්ථික දර්ශනය පවා ප්‍රේමදාස මහතාගේ අවධානයට ලක්විය. වරෙක ඔහු කොම්පියුසියස්තුමාගේ අදහසක් දක්වමින් කියා සිටියේ අප දිළිඳු ජනයාට කෑමට මාළුවකු නොව; කෑම උපයාගැනීමට බිලී පිත්තක් ලබාදෙන බව ය. හැබෑවටම ජනසවියේ ඉලක්කය වූයේ දිළිඳු ජනයා පිළිගැනීම හා ඔහුට ජීවන මාර්ගයක් සැලැසීම ය. සමෘද්ධි ව්‍යාපාරයට එබඳු ගැඹුරු දර්ශනයක් තිබේ ද යනු ගැටලුවෙකි.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සමෘද්ධි දීමනා ලැබිය යුතු පවුල් ලක්ෂ දෙකකට එම දීමනා ලැබී නැත. වඩාත් නිවැරදිව කිවහොත් දේශපාලනය නිසා එම අයිතිවාසිකම කපා හැර ඇත. මෙලෙස අයුක්තියට ලක්වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් පවුල්ය. ඒ අනුව ඉහත කී පවුල් ලක්ෂ දෙකෙහි මූලික අයිතියක් වසර ගණනාවක් තිස්සේ කපා හැර තිබේ. රාජපක්ෂ පාලනය අවුරුදු දහයකට වැඩි කාලයක් පැවැති බව කව්රුත් දනිති. මෙය යුක්තිසහගත ද? දේශපාලන අදහසක් දැරීමේ නිදහස මෙන්ම තමන් කැමැති දේශපාලන ව්‍යාපාරයකට සහාය දැක්වීමේ අයිතිය ද මනුෂ්‍යයකුට තිබිය යුතු ය. එය අභියෝගයට ලක්කළ හැක්කේ ද එවැන්නක් අහෝසි කළ හැක්කේ ද ඒකාධිපති පාලනයකට පමණි. මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපති පාලකයකු ද යන්න ඔබ තීන්දු කළ යුතු ය.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන නිරීක්ෂණයක් කළහොත් එයින් සැලැකියයුතු කොටසක් දුප්පත්කමේ වේදනාව දරාගෙන සිටින බව පෙනී යයි. 1989 සංඛ්‍යා ලේඛනවලට අනුව ගතහොත් හැත්තෑ ලක්ෂයක් ජනතාව දුගී දුප්පත්කමෙහි ගිලී සිටිති. රණසිංහ ප්‍රේමදාස මහතා ජනසවිය ඇති කළේ එම පිරිස දිළිඳුකමෙන් මුදා ගැනීම සඳහා ය. අප මුලින්ද සඳහන් කළ ආකාරයට ජනසවිය ආධාර ලබා දීමේදී දේශපාලනයක් සැලකිල්ලට ගත්තේ නැත. ආධාර ලැබිය යුතු පවුල් තීරණය කළේ ද දිසාපති හා උප දිසාපති කාර්යාල ඔස්සේ ය. ජනසවිය ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ ද කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ය. ඒ පමණක් නොව ජනසවියේ උත්සවවලට විපක්ෂයටද ආරාධනා කිරීම ප්‍රේමදාස මහතාගේ සිරිත විය. ජනසවිය වැඩසටහනේ සමාරම්භක උත්සවය සව්සිරිපාය නම් ශාලාවේදී පැවැත්වූ අතර එම උත්සවයට මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර යන විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර තිබිණි. එදා ඔව්හු එහි පැමිණ ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ “අත්වැල” නම් ප්‍රකාශන රැගෙන පෙරළා ගෙදර ගියහ.

සමෘද්ධිය ක්‍රියාත්මක වූයේ මීට මුළුමනින්ම විරුද්ධ ඒකපාර්ශ්වික ආකාරයකට ය. සමෘද්ධි නිලධාරීන් පත්කිරීම, සමෘද්ධි සහනාධාර තීරණය කිරීම මුළුමනින්ම පාහේ දේශපාලනික විය. ඇතැම් ඡන්දවලදී එදා ආණ්ඩුවේ නියෝජිතයන් කියා සිටියේ සමෘද්ධිය අවසන් නම් අහවලාට ඡන්දය දිය යුතුය යන්න ය. මේ හැරෙන්නට සමෘද්ධි බැංකුවේ මුදල් කෙළින්ම දේශපාලනය සඳහා යොදා ගැනිණි. 2015 ජනවාරි 06 දා සමෘද්ධි බැංකුවේ කෝටි 146ක් ලබාගෙන ජනාධිපතිවරණය සඳහා යොදාගෙන තිබේ. මෙලෙස ලබාගත් මුදල් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ ද, ඔහුගේ හිතවත් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ගිණුම්වල ද කොටස් වශයෙන් තිබූ බව දැන් හෙළිදරව් වී තිබේ. දුප්පතුන්ගේ සල්ලි අවසන් ලෙස දේශපාලකයන්ගේ වුවමනා එපාකම් සඳහා භාවිත වී ඇත. එහෙත් සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු පවා විසඳීමට එදා පාලකයන් උනන්දු වී නැති බව සමෘද්ධි කළමනාකරුවන් පැවැත්වූ උද්ඝෝෂණවලින් පැහැදිලි වෙයි.

කුමන තත්ත්වයක් යටතේ වුව දුප්පතුන්ගේ අයිතිවාසිකම් කපාහැරීම බලවත් වැරැද්දකි. එලෙස ම දුප්පතුන්ගේ සල්ලි අයුතු ලෙස භාවිත කිරීම ද අපරාධයකි. මේ දෙකම වෙනස් කළ යුතු ය. එක අතෙකින් ඉහත කී දුප්පත් පවුල් ලක්ෂ දෙකට සමෘද්ධි සහනාධාරය ලබාදිය යුතු ය. අනෙක් අතින් සමෘද්ධි මුදල් ගසාකෑ පුද්ගලයන් හැකි විගස දඬුවමකට යටත් කළ යුතු ය. එසේ නැතිව දුප්පත්කම පිටුදැකීමටත් බැරි ය. සාධාරණ සමාජයක් ගොඩනැගීමටත් බැරි ය. ඇමැති අකිල විරාජ් කියන ලෙස ඉහත කී පවුල් ලක්ෂ දෙකට වහාම සමෘද්ධිය ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය යුක්තිය ඉටුකිරීමක් ලෙස සලකා අපට සතුටු විය හැකි ය.

 

නව අදහස දක්වන්න