ජනාධිපති කුසලාන රග්බි තරගාවලියෙන් රාජකීය විදුහල් පිල ඉවත් වෙයි | දිනමිණ

ජනාධිපති කුසලාන රග්බි තරගාවලියෙන් රාජකීය විදුහල් පිල ඉවත් වෙයි

ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි ශූරතාව දිනාගත් කොළඹ රාජකීය විදුහල් පිල එළැඹෙන මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගි නොවන බව වාර්තා වෙයි. මෙවර ලීග් රග්බි තරගාවලියේදී අපරාජිතව කුසලානය දිනාගත් සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් පිල ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ලබන අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසකට ඒ සඳහා සූදානම්වීමට කාලය ලබාදීමේ අවශ්‍යතාව මතය. රාජකීය විදුහල් රග්බි පළමුපෙළ කණ්ඩායමේ ක්‍රීඩකයක් 13 දෙනකු පමණ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින බව වාර්තා වෙයි.

මේ මස 16 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට මෙවර ලීග් රග්බි තරගාවලියේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 6ක් සමග පළඟ ශූරතාව සහ අනුශූරතාව දිනූ කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබිණි. රාජකීය, සාන්ත ජෝශප්, සාන්ත පීතර, ඉසිපතන, කිංග්ස්වුඩ්, ත්‍රිත්ව සමග පළඟ ශුරතාව දිනූ සාන්ත තෝමස් සහ අනුශූරතාව දිනූ සාන්ත අන්තෝනි විදුහල් පිල ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට එක්වී සිටිති.

රාජකීය විදුහල් පිල තරගාවලියෙන් ඉවත්වීමත් සමග ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කළ වෙස්ලි විදුහල් පිලට අවස්ථාව හිමිවී ඇතැයි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ‘දිනමිණ‘ කළ විමසුමකදී කියා සිටියේය. එසේ වුවත් වෙස්ලි විදුහල් පිලේ ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වී සිටින බැවින් තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වෙයි.

වෙස්ලි විදුහල් පිල තරගාවලියට සහභාගි වන බවට මෙතෙක් තහවුරු කර නොමැති බවත්, ඔවුන් තරගාවලියට එක්නොවන්නේ නම් ඒ අවස්ථාව දැනටමත් ඊට කැමැත්ත පළ කර ඇති මලියදේව විදුහල් පිලට පිරිනමන බව පාසල් රග්බි සංගම් සභාපතිවරයා පැවැසීය.

තරගාවලියේ අවසන් පූර්ව වටය මේ මස 23 සහ 24 දෙදින පැවැත්වෙන අතර අවසන් මහා තරගය 30 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.


නව අදහස දක්වන්න

Or log in with...