දිමුත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල බංග්ලාදේශයට | දිනමිණ

දිමුත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල බංග්ලාදේශයට

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා නම් කළ සංචිතයේ නායකත්වය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට හිමිව තිබේ. ඔහුගේ උප නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරයි.

පුහුණුවීම් අතරතුර ඇගිල්ලක ඇතිවු ආබාධයක් හේතුවෙන් කරුණාරත්නට කොදෙව් ටෙස්ට් තරගාවලිය අහිමිවූ අතර එළැඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිලේ මෙරට සංචාරය ඉලක්ක කරමින් ඔහු යළි පුහුණුවීම් කටයුතු ඇරැඹීය.

ලබන මස 13 වැනිදා සිට ආරම්භවන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක්වීමට කරුණාරත්න බලාපොරොත්තු වන බැවින් බංග්ලාදේශයට එරෙහි මුල් තරග 2කට පමණක් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත අතර 26 වැනිදා ආරම්භ වන තරගාවලියට සිවුදින තරග 3ක් සහ එක්දින තරග 3න් ඇතුළත් වෙයි.

ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ අනුමැතිය ලැබී ඇති මේ සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ළහිරු තිරිමාන්න ද ඇතුළත්ව සිටී. 2017 වසරේ නොවැම්බර් මස පැවැති ඉන්දීය ටෙස්ට් තරගාවලියට එක්වීමෙන් අනතුරුව තිරිමාන්න කිසිදු විදෙස් තරගයට එක්නොවුණි.

නිමාවට පත්වු සුපිරි 4 සිවුදින ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ පසුවු අශාන් ප්‍රියංජන් සහ පන්දු යවන්නන් අතරින් පෙරමුණේ පසුවූ නිසල තාරක ද මේ සංචිතයට ඇතුළත්ව සිටිති. පිතිකරුවන් අතර පෙරමුණේ පසුවූ රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ මහේල උඩවත්ත කොදෙව් ටෙස්ට් තරගාවලියට ඇතුළත්ව ඇති අතර සිවුවැනි ස්ථානයේ පසුවූයේ දසුන් ශානකය.

අවසන් වරට කොදෙව් හි සංචාරයක නිතරවූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඇතුළත්ව සිටි චරිත් අසංලක සහ සධීර සමරවික්‍රමද මේ සංචිතයට ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක (උප නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, අශාන් ප්‍රියංජන්, චරිත් අසලංක, සම්මු අශාන්, මනෝජ් සරත්චන්ද්‍ර, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, නිශාන් පීරිස්, ෂෙහාන් මධුසංක, නිසල තාරක, ඩිලේෂ් ගුණරත්න.

අතිරේක ක්‍රීඩකයන් - ළහිරු මිලන්ත, විශ්ව ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය

තරග කාල සටහන

ජුනි 26-29 පළමු සිවුදින තරගය කොක්ස් බසාර්

ජුලි 3-6 දෙවැනි සිවුදින තරගය කොක්ස් බසාර්

ජුලි 10-13 තෙවැනි සිවුදින තරගය සිලට්හිදී

ජුලි 17 පළමු එක්දින තරගය සිලට්හිදී

ජුලි 19 දෙවැනි එක්දින තරගය සිලට්හිදී

ජුලි 22 තෙවැනි එක්දින තරගය සිලට්හිදී

නව අදහස දක්වන්න