‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ජුනි 24, වැලිසර නාවික ධාවන පථයේදී | දිනමිණ

‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ජුනි 24, වැලිසර නාවික ධාවන පථයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ජුනි මස 24 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ඊයේ (ජුනි 12) දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදා, මාණ්ඩලික ප්‍රධානී සහ ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලියේ සභාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පවත්වන ලදී.

එහදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් රොසයිරෝ මහතා පසුගිය වසරේ ආරම්භ කරන ලද මෙම තරඟාවලිය තුලින් ඉතාමත් සාර්ථක තරගාවලියක් සංවිධාන කිරීමෙන් මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමට අවස්ථාවක් උදා වූ බවත් එමඟින් එම තරඟාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් සඳහන් කරන ලදී. තවද, මෙවර තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා මෙන්ම දිවයිනේ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවත් එතුමන් පැවසීය. 

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ලසන්ත ගමගේ මහතා, නාවික හමුදා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංචිතයේ සභාපති, කොමදෝරු සුනන්ද කළුආරච්චි මහතා, තරඟාවලි සංවිධායක සහ නාවික හමුදා පුහුණුකරු, ගායන් සඳරුවන් මහතා, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති, එම්කේ හුසෙන් මහතා සහ තරඟාවලියේ අධ්‍යක්‍ෂ, කීයාෂ් දීන් මහතා සහභාගීවි සිටියහ.

තවද, යතුරු පැදි අංශයේ තරඟ 11 ක් මෙන්ම මෝටර් රථ අංශයේ තරඟ 14 කින් යුක්ත මෙම ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලියේ, ඒ ඒ තරඟ අංශයන් සඳහා යතුරු පැදි කරුවන් 120 ක් සහ මෝටර් රථ ධාවකයන් 110 ක් සමගින් 200 කට අධික ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

මෙම තරඟ සංවිධානයෙන් ලැබෙන අරමුදල්, සටනේදී මිය ගිය, ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.


නව අදහස දක්වන්න

Or log in with...