‘ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන’ ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ | දිනමිණ

‘ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන’ ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන ‘ග්‍රාම ශක්තියෙන් - ගම හදන ගමන’ වැඩසටහන අද (13) පුත්තලම දිස්ත්‍රික්කයෙදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ. ගමේ ජනතාවගේ සංවර්ධන ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාදීම ගම හදන ගමන වැඩසටහන හරහා සිදු කෙරෙන අතර එහි පළමු වැඩසටහන මෙලෙස පුත්තලම - මහවැව - මැදගොඩ ප්‍රදේශයේදී අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක්ම ආවරණය වන පරිදි ජනතාවගේ නියෝජිතයින් පිරිසක් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ සංවර්ධන ගැටලු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වෙයි.

පළාතේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් ද ඒ සඳහා කැඳවන අතර ඉදිරිපත්වන ජනතා ගැටලු සඳහා එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කරනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වැඩසටහන ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට නියමිතය.මේ අතර ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම් කමිටුව අද (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම මෙහෙයුම් කමිටුවේදී ග්‍රාම ශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ ක්‍රියාත්මකවන අන්දම සහ එහි ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් විමසා බැලෙනු ඇත.

රටේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ප්‍රමුඛ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත 2017 වසරේදී ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරිණි. මෙතක් ක්‍රියාවට නංවා තිබෙන දිළිදුභාවය පිටු දැකීමේ ජනතා ව්‍යාපාර අතරින් ග්‍රාම ශක්ති ව්‍යාපාරය වෙනස් ව්‍යාපාරයක් බවට පත්වන්නේ එය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්වඋත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසාය.

එමෙන්ම එදා මෙදා තුර, දිළිදුකම පිටු දැකීම වෙනුවෙන් සිදු කෙරුණු බොහෝ ව්‍යාපෘති දියත් කෙරුණේ ආණ්ඩුව සහ ජනතාව අතර ගනුදෙනුවක් වශයෙනි. එහෙත් ග්‍රාමශක්ති ව්‍යාපාරය තුළ පළමු වරට දිළිදුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් සාර්ථක වීමට පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත් පරිදි යොදා ගැනීමට කටයුතු කරයි. එසේ කරනුයේ ජනතාවගේ නිෂ්පාදනවලට වඩාත් හොඳ සහ ස්ථාවර මිලක් සහ අඛණ්ඩ වෙළෙඳ පොළක් සම්පාදනය කිරීම සඳහායි.

ඒ අනුව ඕනෑම කුඩා ව්‍යවසායකයකුට තම ව්‍යාපාර දියුණු කර ගැනීමට දැවැන්ත සමාගම් සමඟ කරට කර

කටයුතු කිරීමට මඟ පෙන්වීම ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මඟින් ඉටුකරනු ඇත. ඔවුන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම, දේශීය හා විදේශීය වෙළෙඳ පොළ සොයාදීම, ණය සහ ආධාර ලබාදීම ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා සිදු වෙයි. එමඟින් ඔවුන්ගේ ජීවිත නංවාලමින් එම නිෂ්පාදන රටට විදේශීය විනිමය උපයාදෙන මාර්ගයන් බවට පත්වනු ඇත.

මෙම අරමුණු ඉටුකර ගැනීමට මෙරට මෙන්ම විදේශයන්හි ද ප්‍රචලිත පෞද්ගලික සමාගම් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹිම ද සිදු වෙයි. අද පැවැත්වෙන වයඹ පළාත් මෙහෙයුම් කමිටුවේදි පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරුන්ට ග්‍රාම ශක්ති ජනතා සමිති සඳහා ලබා දෙන පළමු වාරිකය ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වෙයි.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන නිෂ්පාදන ගම්මාන දෙකක් ද හෙට ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වීමට නියමිත අතර, ඒ අනුව තලවිල ප්‍රදේශයේ සහ මොහොට්ටුවාරම නිෂ්පාදන ගම්මානයේ ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

නව අදහස දක්වන්න