චීන මල් බඳුනක් පවුම් මිලියන 14ක අලෙවියක | දිනමිණ

චීන මල් බඳුනක් පවුම් මිලියන 14ක අලෙවියක

දශක ගණනාවක් ප්‍රංශයේ සපත්තු පෙට්ටියක බහා තිබූ 18 වෙනි ශතවර්ෂයට අයත් චීන මල් බඳුනක් පවුම් ලක්ෂ 142 වෙන්දේසි වී තිබේ.

අඟහරුවාදා (ජුනි 12) පැරීසියේ පිහිටි සොතෙබිස් (Sotheby's) සමාගම් ශාඛාවේදී මල් බඳුන අලෙවි වී ඇත්තේ ඇස්තමේන්තු කරන ලද මුදලට වඩා විසි ගුණයක වටිනාකමකටය.

යුරෝ 500,000 - 700,000 අතර මුදලකට මල් බඳුන ඇස්තමේන්තු කර තිබිණි.

ප්‍රංශයේදී සොතෙබිස් වෙන්දේසිකරුවන් විසින් එක් භාණ්ඩයක් අලෙවි කරන ලද වැඩිම මිල මෙයය.

පවුල් උරුමයක් ලෙස පැවති මෙම මල් බඳුන අට්ටාලයක් මත දමා තිබියදී මෑතක දී සොයා ගන්නා ලදී.

සොතෙබිස්හි ආසියානු කලාව පිළිබඳ ප්‍රවීනයෙකු වන ඔලිවියර් වැල්මියර් කියා සිටියේ බඳුන අලෙවි කළ තැනැත්තිය "දුම්රියකින් සහ උමං දුම්රියකින් ගමන් කර, ඉන් බැස පා ගමනින් මගේ කාර්යාලයට පැමිණියේ පත්තර පිටුවකින් එතූ පරණ සපත්තු පෙට්ටියක් රැඟෙනයි" යනුවෙනි.

"ඇය මගේ මේසය මත සපත්තු පෙට්ටිය තබා එය විවෘත කර පෙන්වූ විට මල් පෝච්චියේ ලස්සන දැක අප පුදුමයට පත් වුණා"

සෙන්ටිමීටර් තිහක ප්‍රමාණයේ බල්බයක හැඩැති මල් බඳුන කොළ, නිල්, කහ සහ දම් වර්ණවලින් හැඩ ගන්වා තිබේ.

ඉතාමත් හොඳින් සංරක්ෂණය වී ඇති පෝසිලෙන් මල් බඳුන 'චිං' රාජවංශයේ අධිරාජයෙකු වෙනුවෙන් නිර්මාණය කරනු ලැබුවකි.

වනයේ සිටින කුරුල්ලන්, මුවන් සහ වෙනත් සතුන් එහි පින්තාරු කර ඇති අතර, බඳුනේ ගෙල වටා රන් පැහැති රටාවක් ඇත. 1736 සිට 1795 දක්වා චීනය පාලනය කළ චිංලොන් අධිරාජයාගේ සලකුණ බඳුනේ දැකිය හැකිය.

බඳුන ඉතා හොඳ තත්ත්වයේ පවතින අතර "මේ තරම් විස්තර දැකිය හැකි ලෝකය තුළ ඇති එකම නිදසුන මෙය" යැයි ඔලිවියර් වැල්මියර් පැවසුවේය.

"අපි මේ බඳුනට කැමති නැහැ. මගේ ආච්චි, සීයලාත් ඒකට කැමති වුණේ නැහැ," එහි හිමිකාරිය පැවසීය.

"ඔවුන් එහි යම් වටිනාකමක් ඇති බව දැන සිටිය නමුත් මේ තරම් වටිනාකමකින් යුතුයි කියා දන්නේ නැහැ. ඒ වගේම එය චිං රාජවංශයට අයත් යැයි දැන සිටියේ නැහැ" යැයි සොතෙබිස්හි ප්‍රකාශිකාවක පැවසුවාය.

වෙන්දේසිය විනාඩි විස්සක කාලයක් පැවතුණි. එය සාමාන්‍යයෙන් භාණ්ඩයක් වෙන්දේසි කිරීමට ගතවන කාලයට වඩා වැඩි අතර, ගණුදෙනුකරුවන් කීප දෙනෙක් බඳුන මිලදී ගැනීමට ඉදිරිපත් වූහ.

සොතෙබි වෙන්දේසිකරුවන් බඳුන මිලදී ගත් ආසියානු ගැණුම්කරුගේ නම හෝ පුරවැසිභාවය හෙළිදරව් කර නොමැත.

(බීබීසී පුවත් සේවය ඇසුරිනි)

නව අදහස දක්වන්න