ආයෙ ආයෙත් එන දඬුවම් මුදලාලි | දිනමිණ

ආයෙ ආයෙත් එන දඬුවම් මුදලාලි

අසේල කුරුළුවංශ

මහ බැංකුවේ අනුමැතිය යටතේ පවත්වා ගෙන යන මූල්‍ය ආයතනයක් සම්පූර්ණයෙන් බිඳ වැටුණහොත් මුදල් තැන්පත්කරුවන්ට යම් සහන ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වෙයි. මෙහිදී මහ බැංකුව ලබා දෙන්නේ වංචා කළ පුද්ගලයන්ගේ මුදල් නොව ජනතාව ගෙන් බදු ලෙස රජය උපයා ගත් මුදල්ය. මෙය එක් පැත්තකින් ජනතාවගේ මුදල් ජනතාවගේ සාක්කුවෙන් ගෙන ජනතාවටම ලබා දීමකි.

ඉතිරි කිරීම් සඳහා වැඩි පොලියක් ලබා ගැනීමට හැකි නම් එම ස්ථානයේ මුදල් තැන්පත් කිරීමට බොහෝ දෙනෙකු උනන්දු වීම සාමාන්‍ය සිද්ධියකි. මේ බව දන්නා මූල්‍ය සමාගම් ඉහළ පොළියක් ලබා දෙන බව පවසමින් තැන්පත් කරුවන් ආකර්ෂණය කර ගැනීම පිණිස විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙරට තුළ රජයේ අනුමැතිය ඇතිව සහ නොමැතිව මුදල් ඉතුරුම් බාර ගන්නා පුද්ගලයින්, මූල්‍ය ආයතන හා බැංකු තිබේ. දඬුවම් මුදලාලි මේ ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයෙක් වන අතර වැඩි පොළියක් ලබා ගැනීමේ අරමුණින් ඔහු ළඟ මුදල් තැන්පත් කළ අයට අවසානයේ සිදුවූයේ සියලු මුදල් අහිමි කර ගැනීමටය. පසුකාලීනව සක්විති කළේද මේ ආකාරයේම වංචාවකි. රටේ පිළිගත් ව්‍යාපාරික නාම යටතේ ආරම්භ කරනු ලබන මුල්‍ය ආයතන මගින් මෙවැනි අකටයුතු කම් සිදු නොවෙතැයි ජනතාව විශ්වාස කරනු ලබන්නේ එම ආයතන සතු කීර්තිනාමය හේතුවෙනි. එහෙත් ගෝලඩන් කී තැන්පත්කරුවන්ට මෙන්ම ඊ. ටී. අයි තැන්පත්කරුවන්ටද අද දඬුවම් මුදලාලි හා සක්විති ළඟ මුදල් ආයෝජනය කළ පුද්ගලයින්ට සිදුවූ දේම සිදුව තිබේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් වන අතර රජය මේ වෙනුවෙන් පූර්ණ මැදිහත් වීමක් කළ යුතුව ඇත.

රටක මූල්‍ය අධිකාරී බලය පැවතිය යුත්තේ මහ බැංකුව මතය. රටේ ජනතාවගේ මුදල් ඉතුරුම් ලෙස ලබා ගනිමින් ඊට පොලී මුදල් ලබා දෙන අතර තුර ණය මුදල් ලබාදී ඒ වෙනුවෙන් පොලී මුදල් අය කිරීමේ ක්‍රියාවලිය ඇතුළු මුදල් සම්බන්ධ ගනුදෙනු රැසක් මූල්‍ය ආයතනයක් මගින් සිදු කරනු ලබයි. මෙම මූල්‍ය ආයතන මහ බැංකුවේ අනුමැතිය යටතේ පවත්වා ගෙන යෑම තුළින් ගම්‍ය වන්නේ ඒවාහි තැන්පත් කෙරෙන මුදල් වෙනුවෙන් යම් වගකීමක් රජය දරන බවයි. දඬුවම් මුදලාලි හා සක්විති සම්බන්ධ සිදුවීම් එක පෙළට කරළියට පැමිණෙමින් තිබියදී මහ බැංකුව නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කළේ මහ බැංකුවේ අනුමැතිය නොලද මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීම අවදානම් බවයි. එක් පැත්තකින් මේ අකාරයෙන් මහ බැංකුවේ අවසරයක් හෝ අනුමැතියක් නොමැතිව මුදල් ඉතුරුම් බාර ගැනීමටද නොහැකිය. මහ බැංකුව මෙම අවදානම් තත්ත්වය පෙන්වා දීමෙන් පසු කිසියම් මූල්‍ය ආයතනයක් එහි අනුමැතිය යටතේ පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳ ජනතාව වැඩි උනන්දුවක් දැක්වූ බව නොරහසකි. නමුත් ගැටලුව වන්නේ මහ බැංකුවේ අනුමැතිය යටතේ පවත්වා ගෙන යන මූල්‍ය සමාගම්වල මුදල් ඉතිරි කළද ඒවා සම්බන්ධයෙන් කිසියම් වගකීමක් ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවීමය. දැන් ඊ. ටී. අයි ආයතනයේ තැන්පත්කරුවන් තමන් තැන්පත් කළ මුදල් ඉල්ලා පාරට බැස තිබේ. මහ බැංකුවේ අනුමැතිය ඇති බව ප්‍රකාශ කිරීමෙන් ලද විශ්වාසය මත ජනතාව ඒවාහි මුදල් තැන්පත් කළේ නම් අදාළ විශ්වාසය තහවුරු කිරීම පිණිස ඍජු මැදිහත් වීමක් මේ මොහොතේ කිරීමේ වගකීම මහ බැංකුව සතුව තිබේ.

මූල්‍ය ආයතනයක් ආරම්භ කිරීමේදී අදාළ වත්කම් පිළිබඳ සොයා බලා අනුමැතිය ලබා දීමෙන් පසු අතපිසදා බලා සිටීමට මහ බැංකුවට පුළුවන්කමක් නැත. අදාළ මූල්‍යය ආයතනය සංකල්ප හතරක් ඔස්සේ අධීක්ෂණය කිරීම මහ බැංකුවේ ප්‍රමුඛතම කාර්යභාරයකි. ජපානය, චීනය, සිංගප්පූරුව, ඇමරිකාව වැනි රටවල මෙම ක්‍රියාවලිය ඉතා ගැඹුරින් සිදුවන නමුත් ලංකාවේ එය ඒ ආකරයෙන් සිදුවන්නේද යන ප්‍රශ්නය මතුව තිබේ. එය එසේ වන්නේ නම් ජනතාවගේ ඉතුරුම් කොල්ලකා ඒවායින් විනෝදවී හෝ වෙනත් නිශ්චල හා චංචල දේපොළ රැස්කර ප්‍රීතිමත් ජීවිත ගතකරන පිරිසක් බිහි නොවනු ඇත. මූල්‍ය ආයතන සම්බන්ධ‍යෙන් මහ බැංකුවට නිසි ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය. ඉන් භාහිරව මූල්‍ය සමාගම් ස්ථාපිත කිරීමට ඉඩ නොදීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයකි. පුහුණු නිලධාරී මණ්ඩලයක් මේ සඳහා සිටීමද අතිශයින් වැදගත්ය. මූල්‍ය ආයතන නිසි අධීක්ෂණයකට ලක්කර ඒවාහි වාර්තා නිසි අයුරින් පවත්වා ගෙන යෑම තවත් කාර්යයභාරයකි. විගණනයද මෙහිදී ප්‍රධාන තැනක් ගනී. අදාළ ආයතන ක්‍රියාත්මක වෙමින් තිබියදී ඒවා ගමන් ගන්නා මාර්ගය නිවැරදිද යන්න පිළිබඳ සොයා බැලීම පිණිස අධීක්ෂණ කාර්යභාරය සිදුකරන පාර්ශ්වයට මූල්‍ය ප්‍රඥාව තිබීම යුතුය. මෙම ආයතන සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට මෙතෙක් කටයුතු නොකිරීම බරපතළ අඩුපාඩුවකි.

ගනුදෙනුකරුවන් මහ පාරට බැස මූල්‍ය ආයතනය බංකොලොත් කියන තුරු මහ බැංකුව එය නොදැන සිටින්නේ නම් එතන බරපතළ වරදක් තිබේ. තමන්ගේ අවසරය මත පවත්වා ගෙන යන ආයතනයක් ගනුදෙනුකරුවන් සමඟ විශ්වාසය තහවුරු කරන්නේද යන කාරණය පිළිබඳ ඉතා ඉහළින් සොයා බැලිය යුතුය. මහ බැංකුවේ අනුමැතිය ඇති මූල්‍යය ආයතන කඩා වැටී ගනුදෙනුකරුවන් අසරණ වූ විට රටේ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටේ. ගනුදෙනුකරුවන් ආකාර්ෂණය කර ගැනීම පිණිස දැරිය නොහැකි පොලී අනුපාත ඉතුරුම් සඳහා ලබා දෙද්දී එය කළ හැකිද යන්න පිළිබඳව කල්තියා මහ බැංකුව සොයා බැලුවේ නම් ගනුදෙනු කරුවන් මේ ආකාර අසරණ තත්ත්වයට පත්වන්නේ නැත. මෙවැනි සිදුවීම් රටේ ආර්ථිකයට බරපතළ ලෙස බලපාන අතර එය ඉතා යහපත් මූල්‍ය විනයක් ඇතිව පවත්වා ගෙන යන මූල්‍ය ආයතන කඩා වැටීමටද හේතුවනු ඇත. එක් මූල්‍ය සමාගමක් කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු පසු බොහෝ විට ජනතාව සෙසු මූල්‍ය ආයතනවල තැනපත්ද ඉවත් කර ගෙන රජයේ බැංකු වෙත ඒවා ගෙන යෑමට උත්සහ කිරීම සාමාන්‍ය සංසිද්ධියකි. එකවර ගනුදෙනුකරුවන් අති විශාල පිරිසක් තමන්ගේ තැන්පතු ඉල්ලා සිටින විට කිසිදු බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට ඒවා එකවර ලබා දිය නොහැකිය. එසේ කළහොත් සිදු වන්නේ අදාළ ආයතන කඩා වැටීමය. සක්විති සම්බන්ධ සිදුවීමේදී මෙවැනි තත්ත්වයක් රටේ නිර්මාණය වීම නිසා තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමේදී නොයෙක් සීමා පැනවීමට බැංකුවලට සිදුවිය.

දේශීය මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවන බිඳ වැටීම නොයෙක් අසහනකාරී තත්ත්වයන් සමාජය තුළ නිර්මාණය වීමට ඍජුව බලපායි. තැන්පතු අහිමි වූ අය සියදිවි නසා ගැනීමට පුළුවන. ඔවුන්ගේ පවුල් සංස්ථා බිඳ වැටීමේ අවධානමක් ඇත. පූර්ණ කාලීන අබාධිත විය හැකි සේම ඇතැම් විට මරණයට පවා පත්වීමට ඉඩ තිබේ. ඒහා සම්බන්ධ වී ගැටුම්, පහරදීම්, පැහැර ගැනීම්, සොරකම්, මංකොල්ල කෑම් වර්ධනය වීමටද පුළුවන. මේවා සමාජය පුරා රැල්ලක් ලෙස පැතිර යෑමේ අවධානමක් නිර්මාණය වීමට වැඩි හැකියාවක් තිබේ. මේ ආකරයෙන් මුල් සිද්ධිය පදනම් කර ගනිමින් සමාජ පිරිවැයක් නිර්මාණය වීම අප නොහිතන ප්‍රශ්න කන්දරාවක් පැන නැගීමට හේතුවනු ඇත. බොහෝ විට අපේ රටේ මූල්‍ය ආයතන හා සම්බන්ධ දේශපාලනයක්ද තිබේ. මේවාහි හිමිකරුවන් බොහෝ විට දේශපාලනය හා සම්බන්ධය. ඒ ඔස්සේ ඔවුන් රැකවරණ ලබන අවස්ථාද තිබේ. ඇතැම් මූල්‍ය ආයතනවල කඩා වැටීම් නිරීක්ෂණය කිරීමේදී ඒවා ආරම්භ කළේම ජනතා මුදල් කොල්ල කෑමටද යන ප්‍රශ්නය පැන නගී. ඉතා බරපතළ ආකාරයට සමාජය රැවටීමේ නිරත මෙම මූල්‍ය ආයතනවල හැසිරීම හා ගමේ පොළී මුදලාලිගේ භූමිකාව අතර බරපතළ වෙනසක් නොමැත.

මහ බැංකුවේ අනුමැතිය යටතේ පවත්වා ගෙන යන මූල්‍ය ආයතනයක් සම්පූර්ණයෙන් බිඳ වැටුණහොත් මුදල් තැන්පත්කරුවන්ට යම් සහන ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වෙයි. මෙහිදී මහ බැංකුව ලබා දෙන්නේ වංචා කළ පුද්ගලයින්ගේ මුදල් නොව ජනතාව ගෙන් බදු ලෙස රජය උපයා ගත් මුදල්ය. මෙය එක් පැත්තකින් ජනතාවගේ මුදල් ජනතාවගේ සාක්කුවෙන් ගෙන ජනතාවටම ලබා දීමකි. වංචාකාරයෝ තමන්ගේ වත්කම් විවධ කූඨ ක්‍රම මගින් තමන් සන්තකයේම තබා ගනිමින් තමන් බංකොලොත් බව පෙන්වති. මෙම තත්ත්වයට ඔවුන් පත්වන්නේ මහ බැංකුවේ වරදිනි. අධික්ෂණය අඛණ්ඩව සිදුවන්නේ නම් වරදක් වීමට ඇති ඉඩ අඩුය. වාහනයක් සඳහා ආණ්ඩුව බලපත්‍රයක් ලබාදුන් පසු එය පදවන තැනැත්තා එයට මොනවා කළත් ආණ්ඩුව ඒ ගැන ඇහැක් අරලා බලන්නේ නැත. ඒ ආකාරයෙන් බලපත්‍රයක් ලබාදී මූල්‍ය ආයතනයකට රිසි සේ කටයුතු කරන්නට ඉඩදී බලා සිටින්නට මහ බැංකුවට හැකියාවක් නැත. එහෙත් අවාසනාවකට මේවනතුරු සිදු වෙමින් තිබෙන්නේද එයමය.

අද අපේ පාලකයෝ බොහෝ දෙදෙනෙක් උත්සාහ කරන්නේ රට සිංගප්පූරුවක් කරන්නටය. රට සිංගප්පූරුවක් කිරීම යනු එහි ඇති ගොඩනැගිලි සේ මෙහි ගොඩනැගිලි ඉදි කිරීමවත් එහි ඇති පාරවල් මෙන් මෙහි පාරවල් ඉදි කිරීමත් නොවන්නේය. ඒ සඳහා ඔවුන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මුලින් හඳුනා ගෙන ඒ ඔස්සේ කටයුතු කිරීම සියල්ලට වඩා වැදගත්ය. සිංගප්පූරුව මූල්‍යය ආරක්ෂිත ක්‍රමවේද ගණනාවක් අනුගමනය කරනු ලබයි. අපි ඒවා ගැන කිසිදු උනන්දුවක් නොදක්වා රට සිංගප්පූරුවක් කරන්නට යන්නේය. වරද ඇත්තේ එතනය. ඒවා තේරුම් නොගන්නා තෙක් තව තවත් ජනතා මුදල් ඔවුන්ටත් නොදැනී කොල්ල කන සුදු කරපිටි අපරාධකරුවන් බිහිවනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...