උගන්වන්න ගිෙයාත් සාහිත්‍ය විනාශයි | දිනමිණ

උගන්වන්න ගිෙයාත් සාහිත්‍ය විනාශයි

මහාචාර්ය ජිනදාස දනන්සූරිය

වර්තමානයේ නොයෙකුත් ප්‍රවණතා තියෙනවා. කවුරු කොහොම කිව්වත්, ලිංගික තේමාවට වැඩි නැඹුරුවක් තියෙන බව නම් පේනවා. ඒක කතා කිරීමේ වැරැද්දක් නෑ. ඒක නවකතාවකට ඇතුළුත් විය යුතු, අත්‍යවශ්‍යම දෙයක් බවට සැලකීම නම් වැරැදියි. බොහොමයක් පොත්වල බොහොම අභව්‍ය, අසභ්‍ය දේ ඇතුළත් වෙලා තියෙනවා. 

සිංහල භාෂාව හා සාහිත්‍ය, ජනශ්‍රැති පර්යේෂණ, විචාර කලාව පිළිබඳ කෘති හා ලිපි ලේඛන ගණනාවක් ලියා පළ කළ මහාචාර්ය ජිනදාස දනන්සූරිය, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්යවරයෙකි. කාලීන සාහිත්‍ය කලා ක්ෂේත්‍රය පිළිබඳ ඔහු හා කළ කතා බහක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ වත්මන්හි සාහිත්‍ය කලාව පිළිබඳ පරිහාණියක් දක්නට ලැබෙන බවට පවත්නා ජනප්‍රිය මතය පිළිබඳ, ඔබ දරන්නේ කෙබඳු අදහසක්ද?

ඒක ඇත්තක්. ඒත් අපේ විශ්වවිද්‍යාල සාහිත්‍ය ගැන පමණක් හුදෙකලාව කතා කරන්න බෑ. මේ කාලයේ විශ්වවිද්‍යාලවලට සිසුන් එන්නේ කොහොමද කියලා හැරිලා බලන්න ඕනැ. අපේ කාලයේ මෙහෙම වාණිජකරණය වෙලා තිබුණෙ නැති නිසා ටියුෂන් නෑ. දැන් ටියුෂන් හොඳ නම්, විභාගවලින් වැඩි දෙනෙක් සමත් වෙනවා. ටියුෂන් ගුරුවරුන්ට දෙවියන්ට වගේ සලකනවා. ඒත්, යටින් කැපෙන බොරු වළ කාටවත් පේන්නෙ නෑ. ටියුෂන් පංතිවල ඉලක්ක ප්‍රශ්නෝත්තර දෙනවා. ඒවට උත්තර කටපාඩම් කරවනවා. එක්කො ඇත්තම ප්‍රශ්න පත්තර හොරකම් කරලා දෙනවා. රසවින්දනය කටපාඩම් කරවනවා. එහෙම කරලා විශ්වවිද්‍යාලවලට ආවහම, ඒ සිසුන් මෙහෙදීත්, අපෙනුත් ඒ දේම බලාපොරොත්තු වෙනවා. විද්‍යාර්ථියෙකුට පොතපත කියවීම අනිවාර්යයි. ඒත්, මේ අය දැන් නිර්දිෂ්ඨ ග්‍රන්ථ ටිකවත් කියවන්නෙ නෑ. උදාහරණයක් විදිහට ගම්පෙරළිය හෝ යුගාන්තය හෝ කියවන්නේ නෑ. ඒ ගැන ලියැවුණු විචාර පොත පත උඩින් පල්ලෙන් කියවනවා. එහෙමත් නැත්නම්, ඒ ගැන තියෙන ප්‍රශ්නෝත්තර පොත් කියවනවා.ඒක තමා ඔය කියන පරිහාණියේ පසුබිම.

ඔබ වැඩි උනන්දුවක් දැක්වූ 'ජනශ්‍රැති අධ්‍යයන' ක්ෂේත්‍රය ගැන වර්තමානයේ සිසුන්ගේ උනන්දුව කොහොමද?

පහුගිය කාලයේ අපේ අධ්‍යනාංශයේත් ජනශ්‍රැති ශාස්ත්‍රීය නිබන්ධන කෙරුණා. වෙනත් විශ්වවිද්‍යාලවත් ඒ විදිහට අවුරුද්දකට ඒ ආශ්‍රිතව කිහිපයක්ම කෙරෙනවා. ඒත් ඒ කාලයේ වගේ හුඟක් උනන්දුවෙන්, ඒක ජීවිතයේ ලොකු ආසාවක් කරගෙන වැඩ කරන අය දැන් අඩුයි. ඒක විභාග අරමුණු කරගෙනම කරන්න ගියහම හරියට කෙරෙන්නෙ නෑ. හැමෝම බලන්නෙ කොහොමද සමත් වෙන්නෙ කියලයි. ශාස්ත්‍රීය වශයෙන් හොඳ වැඩක් කරන්න නම්, උත්තේජනයක් හා උනන්දුවක් ඕනැ. තමන් මේ විදිහේ දායකත්වයක් රටට කරනවා කියන හැඟීම තියෙන්න ඕනැ. කැක්කුමක් එන්න ඕනැ. ඒත් දැන්, එහෙම කැක්කුමක් නෑ. පසුබිමකුත් නෑ. තියෙන්නෙ විභාග විතරයි. ඒ නිසා, එක ම අරමුණ විභාගය ඉහළින් සමත් වීම පමණයි.

සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ට මේ ගැන වගකීමක් නැද්ද?

ඇත්තම කීවොත් සාහිත්‍ය උගන්වන්න බෑ. එහෙම කරන්න ගියොත් ඒකෙන් සාහිත්‍ය විනාශ වෙනවා. උගන්නන්න බැරිම දෙයක් තමා සාහිත්‍ය කියන්නෙ. ඒ නිසා, ගුරුවරයාගේ භූමිකාවත් මෙතැනදී හරියට දැනගත යුතුයි. ගුරුවරයා කළ යුත්තේ සිසුවා, රසාස්වාදයට නැඹුරු කරන එකයි. ඉගෙනගත යුතු දෙයක් නැති බව එයින් අදහස් වෙන්නෙ නෑ. සාහිත්‍යයේ ඉගෙන ගත යුතු දේ තියෙනවා. නිදසුනක් විදිහට 'සාහිත්‍ය ඉතිහාසය' ඉගෙන ගත යුතුයි. න්‍යාය දැනගත යුතුයි. ඒකට ශ්‍රාස්ත්‍රීය විනයක් හා ශික්ෂණයක් අවශ්‍යයි. ඒත්, නිර්මාණ සාහිත්‍ය, නිර්මාණකරණය උගන්වන්න බෑ.

අද දවසේ පොතපත ප්‍රමාණාත්මක ලෙස වැඩි වශයෙන් ප්‍රකාශයට පත්වෙනවා. වත්මන් සාහිත්‍ය ප්‍රවණතා ලෙස අත්දැකිය හැක්කේ මොනවාද?

වර්තමානයේ නොයෙකුත් ප්‍රවණතා තියෙනවා. කවුරු කොහොම කිව්වත්, ලිංගික තේමාවට වැඩි නැඹුරුවක් තියෙන බව නම් පේනවා. ඒක කතා කිරීමේ වැරැද්දක් නෑ. ඒක නවකතාවකට ඇතුළුත් විය යුතු, අත්‍යවශ්‍යම දෙයක් බවට සැලකීම නම් වැරැදියි. බොහොමයක් පොත්වල බොහොම අභව්‍ය, අසභ්‍ය දේ ඇතුළත් වෙලා තියෙනවා.

එවන් පොතපතට යම් වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබීමත් ඒකට හේතුවක් වෙන්න පුළුවන් නේද?

ඔව්. යම් විදිහකට මේ පොත්වලට වෙළෙඳ පොළක් හැදිලා තියෙනවා. සියලු ම දේ වෙළෙඳ භාණ්ඩ බවට පත්වෙලා තියෙද්දී, පොත පත විතරක් එයින් මිදෙන්නෙ නෑ. 'වැඩි අලෙවියක් ලැබෙන පොත් ලියන්න ඕනැ' කියලා හිතනවා නම්, ඒක යුගයේ අවශ්‍යතාවක්. 'නිස්සරණ අධ්‍යාශයෙන් සමාජ සත්තාව අනාවරණය කරනවා' යයි කියන දේ නොසිතා ආර්ථික අරමුණ සාක්ෂාත් කර ගැනීමක් පමණයි එයින් සිද්ධ වෙන්නෙ. විචාරකයන්ගෙ බලපෑමකුත් මෙතැන තියෙනවා. විශේෂයෙන්ම මනෝ වි‍ශ්ලේෂණවාදය හුවා දක්වන අයගෙන් මේවට අනුකූලතාවක් ලැබෙනවා.

මනෝ විශ්ලේෂණය වැනි විචාරත්මක ප්‍රවේශ බැහැර කළ යුතු යැයි ඔබ එයින් අදහස් කරනවාද?

නෑ. ඒත්, ඒක ප්‍රමුඛ වෙන්න බෑ. මනුෂ්‍යාගේ ද්‍රව්‍යමය පැවැත්ම තමා ප්‍රමුඛ වෙන්නෙ. ද්‍රව්‍යමය පැවැත්ම මඟින් ස්නායු පද්ධතිය හරහා හිතට එන, මොළයට දැනෙන අරමුණු තමා තියෙන්නේ. මනෝ විශ්ලේෂණයට ප්‍රමුඛත්වය දෙන්න බෑ. භෞතිකවාදීන් හැටියට අපේ ආස්ථානය ඒක නෙමෙයි.

කාලයෙන් කාලයට විවිධ විචාර ප්‍රවණතා එනවා. ඒවා කෙරෙහි උනන්දු අය තම තමන්ගේ රුචිකම් අනුව ඒවා තෝරා ගන්නවා. එහෙම නෙමෙයිද?

එහෙම වෙන්න පුළුවන්. ඒත්, ඒ එන හැමදේම අපි ගන්න ඕනද? ඉස්සර ඉඳලම අපට යම් හීනමානයක් තිබිලා තියෙනවා. සිරි ගුණසිංහ,ගුණදාස අමරසේකර වගෙ අය තුළ වුණත්, කොදෙව්වක මිනිස්සු හැටියට අප තුළ තියෙන හීනමානය ප්‍රකාශ වෙනවා. ඒක තීරණාත්මක සාධකයක්. අපේ ශිෂ්‍ය කාලෙ සිරි ගුණසිංහලා, අමරසේකරලා, ඩී.එච් ලෝරන්ස්ලට, ප්‍රොයිඩ්ලට ආශක්ත වුණා. තමන්ගෙ දැක්මට 'මේක තමා සාහිත්‍ය',' මේක තමා ජීවිතය' කියලා අනවශ්‍ය විදිහට ආකර්ෂණය වීමක් එතැන තියෙනවා. ඇත්තටම විය යුත්තේ, අපේ ජීවිතය අපි විසින්ම නිරීක්ෂණය කිරීමයි. මුල සිටම පේරාදෙණිය ගුරු කුලයේ සහිත්‍ය කෘතිවල සිට බටහිර සාහිත්‍යයට, මනෝ විශ්ලේෂණයට වශී වීමක් දකින්නට පුළුවන්. ඒකෙන් අපේම ඇහැකින් අපේ ජීවිතය දිහා ගැඹුරින් බලන්නට බැරි වුණා.

සිරි ගුණසිංහගේ 'බුදුන්දැකීම' කියන කවියෙන් උදාහරණයක් කියන්න පුළුවන්. ඒකෙ ජනප්‍රිය බුද්ධාගම කොයි තරම් නිසරුද කියන එක අවධාරණය කරනවා. පන්සල් ගිහින් වත්පිළිවෙත් කරන හැටි, වැඳීම-පිදීම කියන එකේ කිසි ම හරයක් නැති බව ඒකෙන් කියනවා. ඒ කාරණය ඇත්ත. ඒත්, සිරි ගුණසිංහ විසින් ඒක ඉදිරිපත් කරන්නෙ බොහොම රළු විදිහටයි. සැදැහැවතුන් ඔහු දකින්නේ නයි, පොළඟුන්,පණුවන් මෙන් මුනින් වැටීගෙන දඟලන බවක්. ඌරු රැළක් , බලු රැළක් මෙන් දුවමින් පනිමින්,නටමින් බුරමින්" ආදී වශයෙන්. ඇයි එහෙම මතුපිටින් දකින්නෙ. ඒ අයට එහෙම වෙලා තියෙන්නේ ඒ අයගේම ප්‍රශ්නයක් නිසාද? නැත්නම් සමකාලීන සමාජයේ බලපෑම නිසාද? ගැඹුරින් මේ දිහා බැලුවනම් මේ දෘෂ්ටිය වෙනස් වෙනවා.

සිරි ගුණසිංහලා, අමරසේකරලාගෙන් පසු වුණත්, කෙනකුට ලේඛන කලාවේ තම‍න්ගේ අනන්‍යතාව ලෙස රළු භාෂා ශෛලියක් භාවිත කිරීමට හැකියාවක් නැද්ද?

ඒක, තමන්ගේ සාහිත්‍ය හෝ ලේඛන අනන්‍යතාව නෙමෙයි. අනුකරණවාදය. අලුත් පරම්පරාවට එද්දිත් කවියේ ඒ රළු ගතිය තියෙනවා. ඒක දිගටම තිබුණා. පේරාදෙණිය යුගයේ සිට දිගටම අනුකරණවාදයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මිනිස්සු 10,000ක් ගත්තොත් 9999ක්ම අනුකාරකයින්. වර්තමාන අපේ රටේ ඊටත් වැඩිද මන්දා. එක පීල්ලකමයි යන්න යන්නෙ. කැම්පස් එකේ ගිය අවුරුද්දෙ රැග් කළොත්, මේ අවුරුද්දෙත් කරන්නම ඕනැ. ගිය අවුරුද්දෙ කළ දෙයින් සියයට 95ක් වත් කරන්න ඕනැ. එහෙම නැතිනම් අපි මිනිස්සු නෙමෙයි. අනුකරණයට එරෙහිව ස්වධීනව කවුරුවත් නැගිටින්නෙ නෑ . මිනිස්සු ඡන්ද දෙන හැටි, ආණ්ඩු පත් කරන හැටි,පත් කරපු ආණ්ඩු ගෙනියන හැටි. ඒ ඔක්කොම අනුකරණවාදීයි. ඒත්, ඒක රටක අනාගතයට හරි ම භයානකයි.

බටහිර සාහිත්‍ය ප්‍රවණතා හෝ විචාර ප්‍රවණතා මුළුමනින්ම බැහැර කළ යුතු බව ඔබ එයින් අදහස් කරනවාද?

නෑ . බටහිර සාහිත්‍ය මුළුමනින් බැහැර කළ යුතු බවක් මෙයින් අදහස් කරන්නෙ නෑ. ඉන්දියාවෙන්, ප්‍රංශයෙන්, රුසියාවෙන් හෝ වෙනත් යූරෝපීය රටවල සාහිත්‍ය ආභාසය අපි ලබාගත යුතුයි. අපට ‍අපේ සාහිත්‍ය පොත පත පමණක් කියැවීමෙන් 'ජාතික සාහිත්‍යයක්' ගොඩනඟන්න බෑ. සද්ධර්මරත්නාවලිය, ජාතක කතා පොත විතරක් කියවලා හරියන්නෙ නෑ. විදේශීය රටවල සාහිත්‍ය පරිශීලනය කරලා පෝෂණය විය යුතුයි. ඒත්, ඒවායෙ වහල්ලු නොවිය යුතුයි.

අපේ රටේ 'ජාතික සාහිත්‍යයක්' ගොඩනැඟීම පිළිබඳ කතා බහේදී, 'දේශීය හෝ ජාතික සංගීතයක්' අහිමි වීම ගැනත් කතා කරනවා. ඒ ගැන අදහස මොකක්ද?

ඔය කියන ගැටලුව තියෙනවා. දේශීය සංගීතය ගොඩනඟන්න ශ්‍රී ලංකාවෙන් පිරිසක් ඉන්දියාවට යනවා. එයින් එක් කණ්ඩායමක් ශාන්ති නිකේතනයට යනවා. අනෙක් කණ්ඩායම භාත්ඛණ්ඩේ යනවා. මේ අය ශාස්ත්‍රීය සංගීතය, ඉන්දියාවෙන් ඉගෙන ගෙන එනවා. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වගේ අය ලංකාවට ඇවිත් සිංදු ටිකක් හදන එක විතරක් කරනවා. මේ අය යන්නෙ දේශීය සංගීතය ගොඩනඟන්න. මට ඇතිවුණු ප්‍රශ්නය නම්, ලංකාව වගේ සංගීත සම්ප්‍රදායක් නැති රටක මිනිස්සු, දේශිය සංගීත සම්ප්‍රදායක් හදන්නෙ කොහොමද කියන එකයි. සී.ද එස්. කුලතිලක වගේ අය ජන සංගීත පර්යේෂණ අංශයක් හදලා, පැරැණි ජන ගී නාදමාලා පාවිච්චි කරලා, යම් යම් ගීත නිර්මාණය කළා. ජාතික සංගීතය කියන්නෙ ඒකද ? ලයනල් රන්වලලා පවා යම් උත්සාහයක් ගත්තා. අපේ රටවල ජාතික සංගීතය කියන්නෙ සිංදුද? එයින් පරිබාහිරව ශුද්ධ සංගීතයක් නැද්ද? එහෙම එකක් හදන්න බැරිද? කවුරුත් ඒ ගැන උනන්දු වෙන්නෙ නැද්ද? කියන ප්‍රශ්න ටික අදටත් වලංගුයි.

මේ ආකාරයටම 'බෞද්ධ විචාර සම්ප්‍රදායක්' ගොඩනඟන්න බැරිද කියලා අහන ප්‍රශ්නයකුත් තියෙනවා. අගලකඩ සිරිසුමන හාමුදුරුවො වරක් මේ ගැන කතා කරලා තිබුණා?

කොහොමත් අපේ නිර්මාණ සාහිත්‍ය පෝෂණය සඳහා බටහිරින් ලොකු තල්ලුවක් ලැබුණා. ආභාසයක් ලැබුවා. 'බෞද්ධ විචාර කලාවක්' ගැන අදහසක් මතුවෙන්න හේතුවක් තියෙනවා. මධ්‍ය යුගයේ සිට අපට උරුම වූණේ බණ කතා සාහිත්‍යයක්. යුරෝපයෙත් අවුරුදු 1000ක විතර ආගමික සාහිත්‍යයක් තිබුණා. ඒකම ධනවාදය දෙසට සමාජ පරිවර්තනය වුණා. ඒකට තව දේ එකතු වුණා. විද්‍යාත්මක දැනුම, තාක්ෂණය වැනි දේ එහෙම එකතු වුණා. සිතුම් පැතුම් වෙනස් වෙලා , අලුත් සාහිත්‍යයක අවශ්‍යතාව මතු වුණා. මේ රටේ වුණත් නව සාහිත්‍යයක් හදන්න අපේ තියෙන මෙවලම් මදි. අපට පිටින් ගන්න වෙනවා. මාර්ටින් වික්‍රමසිංහලා පවා ඒ තැනට ගියා. කවියන් රවීන්ද්‍රනාත් තාගෝර්ගෙන් ආභාසය ලැබුවා.

වත්මන් නිර්මාණ සාහිත්‍ය දෙස බැලුවහම, පොදුවේ හඳුනාගත හැකි ප්‍රවණතාවක් තියෙනවද?

මෑත කාලයේ නිර්මාණ දිහා බැලුවහම, ‍හැම ලේඛකයකුගෙම වගේ ඉක්මන්කාරී බවක් පේනවා. පොත් ටික සම්මාන උත්සවවලට ඉදිරිපත් කළ යුතු නිසාද දන්නෙ නෑ. තැන්පත්කම අඩුයි. දේශීය ඇසින් නිරීක්ෂණය කිරීමේ ගුණය අඩුයි. නිර්මාපකයා, තමන්ගෙ අත්දැකීම් ක්ෂේත්‍රය තුළ පරිකල්පනය කරලා, කෘතිය ප්‍රති නිර්මාණය කළ යුතුයි. අපේ අත්දැකීම්වල සීමා සහිත බවත් මෙයට හේතු වෙන්න ඇති. තියෙන අත්දැකීම් කියලා ඉවරයි කියා හිතෙන්නත් පුළුවන්. අත්දැකීම් වුණත් අලුත් ඉසව්වකට යා යුතුයි. තාක්ෂණික උපාය කෘතිය අභ්‍යන්තරයෙන් එන්න ඕනැ. ඒවා බාහිරින් ඔබ්බන්න ගියහම, කෘත්‍රිම බවක් දැනෙනවා.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...