විකුණුම් වාර්තා මා දිරිමත් කළා | දිනමිණ

විකුණුම් වාර්තා මා දිරිමත් කළා

මාරියා ගුඩ්අවේජ්

වසර කිහිපයක්ම වැඩි ම විකුණුම් වාර්තාවට හිමිකම් කියූ කතුවරියක වන අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි ජීවත් වන මාරියා ගුඩ්අවේජ්, වෘත්තියෙන් පුවත්පත් සංස්කාරකවරියකි. THE UNTOLD STORY OF AMERICA’S CANINE HEROES, RED DOG / BLUE DOG: WHEN POOCHES GET POLITICAL යනු, ඈ විසින් රචිත කෘති ය. ඇය, Dogster.com නමැති වෙබ් අඩවියේ ද ලේඛිකාවක් ලෙස කටයුතු කරයි. මේ ඇගේ නවතම කෘතිය වන 'SOLDIER DOGS' පිළිබඳ, writersdigest වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

ඔබගේ Soldier Dogs කතාව ගැන කෙටියෙන් කියන්න පුළුවන්ද?

Soldier Dogs කතාවෙන් කියැවෙන්නේ, ඇදහිය නොහැකි පාද හතරේ යුද වීරයන් ගැනයි. ඔවුන් ජීවිත බේරා ගන්නේ කොහොමද ? ඔවුන් සහ ඔවුන්ගේ ස්වාමියෝ අතර ඇති දැඩි බැඳීම ආදිය මේ කතාවෙන් පෙන්නුම් කරනවා.

මේ නිර්මාණ නිකුත් කළේ කුමන කාලයේදී ද ?

Dutton ප්‍රකාශකයන් විසින් මෙය මුලින්ම නිකුත් කළේ 2016 මාර්තුවල. එය එම වසරේ වැඩි ම විකුණුම් වාර්තා ලද පොත බවට පත් වුණා සහ මට හොඳ අගය කිරීම් ලැබුණු කෘතිය බවට පත් වුණා. මං එයින් බොහෝ සේ දිරිමත් වුණා. එදා මං නිවෙසට පැමිණි විගසම, මගේ බලු සුරතලා ඔසොවාගෙන සුරතල් කළා.

මේ කෘතිය නිර්මාණය සඳහා ඔබ යොමු කළ ප්‍රධාන හේතුව මොකක්ද?

මම වසර ගණනාවක ඉඳන් ම යුද සුනඛයන් ගැන ලියන්න හිතමින් හිටියා. මගේ පියා දෙවැනි ලෝක යුද සමයේ තරුණ යුද භටයෙක් විදිහට සේවය කළ අයෙක්. යුද්ධය අතරතුරේ යුද සුනඛයන් කොපමණ සේවයක් කරනවද? ඔවුන් භටයන්ගේ ජීවිත බේරා ගන්නේ කොහොමද ? කියලා ඔහු මට පවසා තිබෙනවා . ඔවුන් සහ යුද භටයන් අතර ඇති සම්බන්ධය, ජීවිත බේරා ගැනීම පමණක්ම නෙමෙයි. පසු කලෙක මගේ පියා විශ්‍රාම ගත් පසු, ඔහු පාළුව මඟහරවා ගන්න, ඔහුගේ සුරතලා ලෙස යුද සුනඛයෙක් තියාගෙන හිටියා.

ඔසාමා බින් ලාඩ්න් ඇල්ලීමේ 'Navy SEAL Team 6' මෙහෙයුමේදීත්, යුද සුනඛයන් ගැන බොහෝ දෙනා කතා කළා. මා මේ සඳහා උනන්දු කිරීමට ඒ හේතුවත් බලපෑවා. ලෝකයට යුද සුනඛයන් ගැන තවත් හොඳින් දැනෙන්න යමක් කරන්න ඕනෑ කියලා මට හිතුණා . ඒ සඳහා මේ හොඳ ම කාලය කියලත් මම හිතුවා. මම වාසනාවන්තයි. එය මට කරන්න පුළුවන් වුණා. යුද සුනඛයන් ගැන ලියැවී තිබෙන්නේ බොහොම අඩුවෙන්. සුනඛයන්ට කතා කරන්න පුළුවන් නම්, ඔවුන් ඒ සදහා කොපමණ වෙහෙසක් දැරුවද කියලා සහ ජීවිත කාලය තුළ කළ සේවය ගැන ඇත්තටම පවසාවි.

ඔබට මේ දිනවලත් බලු සුරතලෙක් ඇති කියලා හිතනවා. ඔවුන් ගැනත් සඳහන් කරන්න.

එයාගේ නම ජේක්. අපේ නිවෙසේ කොටසක් ඔහු වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වුණා. ඒ සම්බන්ධයෙන් අපි වාසනාවන්තයි කියලා මම හිතනවා . එයාට වයස අවුරුදු 10ක්. Soldier Dogs කතාව තුළත් ඔහු කිහිප වතාවක් පෙනී සිටිනවා. ඔහු සමහර වෙලාවට යුද බල්ලෙක් වගේ වැඩ කරනවා. ඔවුනුත් කුඩා දරුවන් වගේ. වැරැදිවලින් ඉගෙන ගන්නවා. ඉස්සර ජේක් කෑම හොරෙක්. ඒත්, පස්සේ එයා ඒක වැරැද්දක් බව ඉගෙනගෙන තියෙනවා. ඒක වැරද්දක් කියලා දැන් එයා දන්නවා. එයා අපේ ගෙදර වැඩවලට බොහෝ සේ උදවු කරනවා. ජේක් කවදා හරි යුද බල්ලෙක් වෙනවා නම්, මම බොහෝම කැමැතියි.

ඔබ ප්‍රකාශන නියෝජිතයකු සොයා ගන්නේ කොහොමද?

Soldier Dogs සඳහා නම් මට නියෝජිතයකු සොයා ගැනීමට අවශ්‍ය වුණේ නැහැ. මට ඒ වන විටත් නියෝජිතයකු සිටියා. මම මීට වසර 10 කට කලින් babies and sleep නමැති කෘතිය කළා. එහි නියෝජිතයා වුණේ කැරොල් මැන්. එම සම්බන්ධතාව කාලෙකට පසුව Soldier Dogs සඳහාත් යොදා ගත්තා. Soldier Dogs සඳහා කැරොල් මට බෙහෙවින් උදවු කළා. මම Soldier Dogs හි භාගයක් පමණ ලියලා, එය තමයි කැරොල් වෙත ලබා දුන්නේ. ඔහු එය කියවපු විගස එයට කැමැත්ත පළ කළා. ඒ අනුව මට ලේඛන කාර්යයේ ඉදිරි කටයුතු පහසු වුණා. කෙසේ හෝ කැරොල් ගේ අදහස වුණේ Navy SEAL Team 6 මෙහෙයුමෙන් පසුව Soldier Dogs එළිදැක්වීමයි. අපි එය එලෙසම කළා. මම හිතන්නේ ඒ කාලය , එම කෘතිය එළිදැක්වීමට හොඳ ම කාලය කියලයි. පසුව දෙවැනි වර ප්‍රකාශනයේදී මගේ නියෝජිතයා වුණේ ඩෙයිඩ්රේ මුලේන්. ඇය මගේ පසුබිම ගැන දැනගෙන සිටි නිසා, මාත් සමඟ ඇයට වැඩ කිරීම වඩාත් පහසු වුණා.

කතුවරියක් වීම දක්වා වූ ඔබගේ ගමන් මාර්ගය ගැන පැවසුවොත්?

මම ලියන්න පටන් ගත්තේ පුවත්පත් කලාවේදිනියක් විදිහටයි. මම පුවත්පත් කිහිපයකම වැඩ කරලා තිබෙනවා. මම වසර හතක් පමණ උතුරු කැලිෆෝනියාවේ පුවත්පත් කලාවේදිනියක් විදිහට සේවය කළා. බලු සුරතලුන් ගැන ලිවීම ආරම්භ වන්නේ නම් 1990 වසරේදී. මම වැඩිහිටි කාලයේදී. ඒ, මගේ පළමු සුරතලා ලැබුණාට පසුවයි.

කෘති ප්‍රකාශනයට පත් කරන ක්‍රියාවලියේදී, ඔබ ලද අත්දැකීම් කොයි වගේද?

ඒ අත්දැකීම් නම් පුදුම සහගතයි. අපි ලියන දෙයක් පාඨකයන් අතරට යැවෙන ක්‍රියාවලිය සහ ඒ සඳහා කරන කැප කිරීම අතිශයින් ම විශේෂයි. ඒ සෑම දෙයක්ම අලුත් අත්දැකීම්. පොතකින් පොතකට ඒ අත්දැකීම් වෙනස්.

Soldier Dogs සඳහා ඔබට ලැබුණු ප්‍රතිචාර කොයි වගේද?

එය නම් මට ඉතාමත් ම විශේෂයි. මට කතා කළ බොහෝ පාඨකයන් මට පැවසුවේ, මේ කතාම මඟින්, ඔවුන් සුරතලුන් ගැන හිතන අකාරය වෙනස් කළ බවයි. සුරතලුන්ට ඇති ආදරය තවත් වැඩි කළ බවයි. එය මට පුදුමාකාර සතුටක්. මට ඇත්තටම අවශ්‍ය වුණෙත් එයමයි.

ඔබගේ ප්‍රියතම සිනමා නිර්මාණය මොකක්ද?

ඒකත් යම් අකාරයකින් බලු සුරතලකු සම්බන්ධ කතාවක්. ඒකෙ නම, ' You Never Can Tell'. එහි සිටින බලු සුරතලාගේ නම රෙක්ස්. අද වනවිට මම මේ කෘතිය කියවා තිබෙන වාර ගණන ඇත්තටම මතක නෑ.

ඔබ බලු සුරතලුන්ට මෙතරම් ම ආදරය කරන්නේ ඇයි?

මං කුඩා කාලෙ ඉඳන්ම ඔවුන්ට ආදරෙයි. කරුණාවයි. කොහෙ හරි යද්දි, මාර්ගයේ සිටින බල්ලකු දැක්කොත්, ගෙදරට ගේනවා. වෙන කිසි ම සතෙක්ට නැති අනුකම්පාවක්, සෙනෙහසක් මා තුළ ඔවුන්ට තිබෙනවා.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න