මළා කියූ කත කතා කරයි | දිනමිණ

මළා කියූ කත කතා කරයි

පසුගිය දිනවල විශාල ආන්දෝලනයකට තුඩුදුන් හෝමාගම මූලික රෝහලේ 02 වැනි වාට්ටුවේ සිටි රෝගී කාන්තාවක පණ පිටින් මෝචරියට ගෙන ගොස් ඇති බවට මාධ්‍ය මගින් අනාවරණය කළ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ බලධාරීන් ගේ හා සිද්ධියට මුහුණ දුන් කාන්තාවගෙන් ලබාගත් කරුණු අනුව මෙම ලිපිය සැකසිණ.

මෙම සිද්ධිය සම්භන්ධයෙන් වැඩි විස්තර ලබා ගැනීම සඳහා කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු මවක් වන මෙම සිද්ධියට මුහුණ දුන් ජානකී මහත්මියගේ නිවසට මා යනවිටත් ඇය සිටියේ සෙටියේ දිගාවී මළානික වූ ආකාරයෙනි; ඇය මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේ මෙසේය.

රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සිට මෙම සිදුවීමවන තෙක් සිදුවීම් පෙළ මතක් කළොත්?

" මගේ බඩේ දකුණු පැත්ත කැක්කුම ගත්තා. ඒ නිසා මම හෝමාගම මුලික රෝහලට ඇතුළත් වුණා. ඒ මැයි මාසේ 13 වෙනිදා. වෙලාවේ රාත්‍රී 8.30 , 09 ට විතර ඇති. මාව බාහිර රෝගී අංශයේ පැය 02ක් විතර තියලා රාත්‍රී 11 ට පමණ වාට්ටුවට දැම්මා. ඉන් පස්සේ වාට්ටුව භාර ඩොක්ටර් මාව පරීක්ෂා කරලා කිව්වා ස්කෑන් එකක් කරලා බලමු කියලා. උදේ ස්කෑන් කළා. වාට්ටු භාර ඩොක්ටර් කීවා ඔයාට ඇපෙන්ඩිසයිසස් හැදිලා තියෙන්නේ, සැත්කමක් අවශ්‍ය වෙන්නේ නැහැ සුව වෙන්න ඉන්ජෙක්ෂන් දෙන්නම් කියලා.."

" 14 වෙනිදා රෑ ඩොක්ටර් වාට්ටුවට ඇවිත් මාව බලලා ගියාට පස්සේ ඩොක්ටර් ලියලා දුන්නු බෙහෙත නර්ස් ඇවිත් මට විද්දා. විදලා විනාඩි 05ක්වත් ගියේ නැහැ. මට කැරකිල්ලකුයි ක්ලාන්තෙකුයි එක්කම නොනවත්වාම වියළි කැස්සක් එන්න ගත්තා.

මට බයටම කෑගැහුණා " මිසී මට මොනවද වෙනවා " කියලා... ඒ එක්කම මට සිහිය නැති වුණා. ඊට පස්සේ වුණු දේවල් මට මතක නැහැ..."

" සිහිය එද්දී මම හිටියේ දැඩි සත්කාර ඒකකයේ. පහුවදා පාන්දර වගේ තමයි සිහිය එනවා දැනුණෙත්. දැඩි සත්කාර ඒකකයේ දවස් දෙකක් හිටියා. ඊට පස්සේ වාට්ටුවට දාලා පොඩි සේලයින් බෝතලය වගේ එකක් දුන්නා. මිසීලා කිව්වේ ඒ බෝතලේ තිබ්බේ ඇපෙන්ඩිසයිස්වලට දෙන බෙහෙතක් කියලා. බොන්නත් බෙහෙත් දුන්නා. මැයි 17 දවල් ටිකට් කැපුවා. දැඩි සත්කාර ඒකකයේ හිටපු මිසීලා ගොඩාක් මහන්සි වුණා, ගොඩාක් කැප වුණා. ඒ මිස්ලා ගොඩාක් හොඳයි. ඒ නිසා ඒ සියලුම දෙනාට ගොඩාක් ස්තූති කරලා මම සාමාන්‍ය පුද්ගලයකු වගේ රෝහලෙන් ආවා.

"රෝහලෙන් එද්දි කෑම බීමෙන් පරෙස්සම් වෙන්න කියලායි මිසීලා කීවේ. ඔසු සලෙන් ගන්න තව බෙහෙතක් කොළයක ලියලා දුන්නා. ඒත් ඔසු සලේ ඒ බෙහෙත තිබුණේ නැහැ. පෞද්ගලික ෆාමසියකින් ඇහුවම එයාල කිවුවේ අපි ළඟ ඉවර වෙළා මේ බෙහෙතේ මිල රුපියල් 20,000ක් ( විසිදාහක් ) විතර වෙනව කයලා. ඒ බෙහෙත ලියලා දුන්නේ ගෙදරදී විදගන්න කියලයි. හදිස්සියෙවත් ඇලජි වුණොත් ඒ අවස්ථාවේම රෝහලකට ඇතුළුවෙන්න කියලත් කිව්වා."

ඔබට මීට පෙර ආහාර හෝ ඖෂධ නිසා යම් ආසාදන වලට ලක්වී තිබෙනවාද?

" අනේ නැහැ .. මට කවදාවත් කිසිම දෙයකට ඇලජික් වෙලා නම් තිබුණේ නැහැ. රෝහලෙන් ඇහුවාමත් කලින් කිසිම වෙලාවක වෙලා නැති නිසා මම නැහැයි කිව්වා."

බෙහෙත විදීමෙන් විනාඩි 05ක් යාමටත් පෙර සිහි නැති වුණු ඇය මුලින්ම රැගෙන ගියේ දැඩි සත්කාර ඒකකයට ද මෝචරියටද යන්න පිළිබඳ ඇයට තොරතුරු දැන ගැනීමට ලැබී ඇත්තේ රෝහල් වාට්ටුවේ ඒ අවස්ථාවේ සිටි රෝගීන්ලගෙනි.

" මේ සිද්ධිය වුණු වෙලාවේ ඒ වාට්ටුවේ හිටිය ඇතැම් රෝගීන් අපිත් එක්ක කිවුවා මගේ මැෂින් වැඩ කරන්නේ නැතිව ගියා කියලා. අන්තිමට මාව මරුණා කියලා හිතන් අතෑරලා දාල තිබුණා කීවා. ඒ අතරේ මාව මෝචරියට ගෙනියන්න හදද්දී මගේ අතේ ඇඟිලි 2ක් හෙල්ලෙනවා දැකලා වාට්ටුවේ හිටිය අය “මේ ලෙඩාට පණ තියෙනවා ගෙනියන්න එපා කියලා කෑගැහුවාලූ. ඒ වෙලාවේ තමයි මාව

දැඩි සත්කාර ඒකකයට ගෙනිහින් තියෙන්නේ.."

" මේ කතාව රෝහලේ හැමතැනම කතා කරන්න අරන් තියෙන්නෙ දැඩි සත්කාර ඒකකයෙන් එළියට ගෙනාවට පස්සේ...මැරුණු කෙනා පණ පිටින් වාට්ටුවට ආව කියලා. ඉන් පස්සේ තමයි ඇස් දෙකටම සිද්ධිය දැකපු වාට්ටුවේ හිටපු ලෙඩ්ඩු අපට හැමදේම කීවේ..ඒ සිද්ධිය තමයි පත්තරවල ගිහින් තිබුණේ. ඔවුන්ටත් රෝහලෙන්ම ආරංචි වෙන්න ඇති. පස්සේ කට්ටිය ගෙදරටම ඇවිත් මගෙන් විස්තර අහලා මේ කතාව නැවත ලියුවා. මුළින්ම ගිය නිව්ස් ගැන නම් මම දන්නේ නැහැ. ඒවා රෝහලෙන්ම හොයාගෙන ඔවුන් ලියන්න ඇති..."

රේහලෙන් ආ පසු ඔබ නිරෝගී තත්ත්වයක සිටිනවාද?

" නැහැ .. ගෙදර ආවට පස්සේ ආයි බඩේ දකුණු පැත්ත ඉස්සර වගේම රිදෙන්න ගත්තා. මම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවා. ඔහු මගේ වෛද්‍ය වාර්තා සාමාන්‍යයි. මට ඇපෙන්ඩිසයිස් නෙවෙයි තියෙන්නේ කියලා. සීටී ස්කෑන් එකක් කරන්න කිව්වා . වී. ඕ. ජී. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නත් කිවුවා . පෞද්ගලික ඩොක්ටර් කෙනෙක් හමු වී ස්කෑන් එකක් කළා. මගේ ගර්භාෂයේ පොඩි ගෙඩියක් තියෙනවා කියලා ඔහු කිව්වා. මාස තුනකට බෙහෙත් දුන්නා. ඒත් මහත්තයට මාව ගෙදර තනියම දාලා වැඩට යා ගන්නවත් අමාරුයි.මට තනියම ගෙයක් මිදුලක් අතු ගාගන්නවත් බැරි තත්ත්වෙකයි මම දැන් ඉන්නේ..මගේ ඇගට පණ නැහැ. අඩු ගාණේ රෝහලෙන් එද්දී මාව ක්ලිනික් එකකටවත් දැම්මේ නැහැ.

අද මම ගොඩාක් අසරණ තත්ත්වයකට පත් වුණා. බෙහෙත් ටිකවත් ගන්න බැරි තරමට මම අසරණයි. මහත්තයා මට සාත්තුවට ගෙදර ඉන්න නිසා අපි තවත් අසරණවුණා. "

"ඒවගේම තමයි මම රෝහලේ ඉද්දි මං ගැන නිතරම හොයලා බලපූ අපේ හිතවත් ඩොක්ටර් කෙනෙක් ඉන්නවා හෝමාගම මූලික රෝහලේ. මම එතුමාට ඇමතුමකින් ස්තූති කළා. මැරුණා කියපු මට අද ගෙදර ඇවිත් ජිවත් වෙන්න වාසනාව දුන්නු හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සියලුම කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඇගේ සැමියාවන විමලසිරි ආරියරත්න -

මට අවුරුදු 44ක් වෙනවා .අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මේ ප්‍රශ්න නිසා ඔවුනුත් දැඩි මානසික පීඩාවකින් ඉන්නේ. මම මගේ ඇස් දෙකින් සිද්ධිය නොදැක්කත් මම හිතනවා මේ කතාව සියයට 90ක් ඇත්ත වෙන්න ඇති. අපි මුලින් මාධ්‍යට මොනාත් කියලා තිබුණේ නැහැ. ඔවුන් රෝහලෙන් කරුණු සොයා ගෙන ලියන්න ඇති. මුල් ලිපිය දැකල මාධ්‍ය ආයතනවලින් නිවෙසටම ඇවිත් තමයි විස්තර අහන් ලියුවේ.

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති නිසා මෙතන මොනාම හරි සැඟවුණු දෙයක් ඇති. මම අද වෙනකොට මගේ බිරිය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා.මට රැකියාවට ඒ නිසා යන්න බැහැ. තවමත් බිරිය ගේ මුහුණ අත පය ටිකක් ඉදිමිලා. තනියම වැඩක් කර ගන්න බැහැ. අපි මේ සිද්ධියෙන් ගොඩාක් අසරණ වුණා . එක්තරා රූපවාහිනී නාළිකාවක උදෑසන පත්තර කියවන වැඩසටහනක තමයි මම මුලින්ම මේ නිව්ස් එක දැක්කේ. ඒ දැක්ක ගමන් මම යාලුවෙක් හොයා ගෙන ගියා මේ නිව්ස් එක කොහොමද මාධ්‍යට දෙන්නේ කියලා අහගන්න. එතකොටයි දන්නේ මේ අපේම නිව්ස් එක කියල. ඉන් පස්සේ ගොඩක් මාධ්‍ය ආයතනවලින් ආවා මේ ගැන අහන්න.."

හෝමාගම මූලික රෝහලෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ එම වාට්ටුව භාරව සිටි

ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා -

" මේ ලෙඩා මගේ යටතේතමයි හිටියේ. ආසාධනයක් තිබිලා අපි ඒකට තමයි බෙහෙත් විද්දේ. ඒ බෙහෙතට ආසාදන තත්ත්වයක් ඇති වෙලා ඊට පස්සේ ලෙඩා දැඩි සත්කාර ඒකකයට දැම්මා. බරපතල තත්ත්වයක හිටියේ . ඉන් පස්සේ ලෙඩාව රෝගියාව සම්පූර් ණයෙන් සුව වෙලා ලෙඩාව වාට්ටුවට ගෙනාවා. වාට්ටුවේ දවස් 2-3ක් ඉදලා තමයි ටිකට් කැපුවේ. කිසිම වෙලාවක මේ ලෙඩාට මෝචරිය පැත්තටවත් යන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. අයි. සී. යූ. එකට ගෙනාව එක මෝචරියට ගෙනාව කියලා කියන සිද්ධිය සම්පූර්ණ අසත්‍යක්. ලෙඩා මෝචරියට දැම්මා කියන්න කිසිම හේතුවක් නැහැ. අපිටත් හිතාගන්න බැහැ සමහර මාධ්‍යය මෙහෙම වාර් තා කළේ ඇයි කියලා. මේ විස්තරේ පත්තර කිහිපයකම දැමීම හරිම අසාධාරණයි. අපේ රෝහලටත් හරි නැහැ. ඒ තොරතුරු සම්පුර්ණ වැරැදියි කියලා තමයි අපට කියන්න වෙන්නේ ....."

ශල්‍ය වෛද්‍ය අරුනජිත් පීරිස් මහතා -

" මෙම රෝහලේ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. මේ රෝගියා රෝහලට ඇතුළත් කළේ මැයි13 වෙනිදා බඩේ කැක්කුමක් එක්ක .මම දන්නා තරමින් ඉරිදා දවසක් . එදා මගේ පැත්ත නෙවෙයි අනෙක් වෛද්‍යවරයාගේ වාට්ටුවට රෝගීන් ඇතුළත් කරන දවසයි. වෛද්‍ය මණ්ඩලය සැක කරලා තිබුණා රෝගියා ඇපෙන්ඩිසයිස් කියන රෝගී තත්ත්වයෙන් පසු වෙන බවට. එය සියයට සියයක් තහවුරු කිරීමට තවත් පරීක්ෂණ කිරීමට අවශ්‍ය බවත්. ඉතින් ඒ අවස්ථාවේදී තීරණය කරලා තියෙනවා ප්‍රතිජීවක ඖෂධය දෙන කොට කෙතරෝක්ටින් කියන ඇන්ටිබයෝටික් එක තමයි ලෙඩාට දීලා තියෙන්නේ."

" සාමාන්‍යයෙන් මේ කෙතරෝක්ටින් කියන බෙහෙත දෙනකොට අසාත්මිකතා තියෙනවද කියලා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක්

නැහැ තවම. මෙම ඇන්ටිබයෝටික් එක හෙඳ නිලධාරිනියක විසින් දීලා තියෙනවා වෛද්‍යවරයා අනුමත කළාට පස්සේ...භන් පසු මෙම රෝගියාට යම් ආසාදන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒක මාරාන්තිකයි .ඒ අවස්ථාවේ රෝගියාගේ පෙෂර් අඩු වෙලා , නාඩි වැටීමේ වේගය වේගවත් වෙලා..සිහිය නැතිවෙන තත්ත්වයට හා හෘද වස්තුව ඇණහිටින තත්ත්වයට රෝගියා පත් වෙන්න පුළුවන්. එහෙම පත්වී ගෙන යන කොට මේ අන්ටිබයෝටික් එක රෝගියාට දීපු හෙඳ නිලධාරිනිය වාට්ටුවේ ඉතා වේගවත්ව කෑගසා රෝහල් කාර් ය මණ්ඩලය ගෙන්වා රෝගියාට සියලු ප්‍රතිකාර කරන අතර හාට් මසාජ් එක මේ රෝගියාට දීලා...මේ ෂෝක් එකට ලෙඩා විනාඩි කිහිපයකින් මැරෙන්න වුණත් පුළුවන් ..."

" මේ රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතාව ක් ඇතිවෙලා තියෙනවා.මේ මොහොතේම කෘතීම ස්වසනය දෙන්න කාර්ය මණ්ඩලය පටන් අරන් තිබුණා.එය සෑහෙන්න බරපතල සිද්ධියක්. සමහර වෙලාවට ඉල ඇට වුනත් කැඩෙන්න පුළුවන්. මේ

රෝගියාගේ ඉල ඇට කැඩුණු බවට ලක්ෂණ නැහැ. නමුත්..ඇයට ඒ මසාජ් එකෙන් ඇග තලලා වගේ ස්වභාවයක් තියෙන්න පුළුවන්.."

ඩොක්ටර් ලා නර් ස්ල අයි. සී. යූ. එකට ගෙනිච්ච ලෙඩාව මෝචරියට ගෙනිච්ච කියන්නේ බාගෙට දැනුම තියෙන කෙනෙක්.

වරදක් තියෙනවනම් දැම්මට කමක් නැහැ. මේ රෝගියා පැමිණිල්ලක්වත් කරලා නැහැනේ මේ වෙනකම්. නිව්ස්වලින් තමයි මේ සිද්ධිය මමත් දැන ගත්තේ. මේවගේ වැරදි නිව්ස් පත්තරවල ගියාම අපේ රෝහල් කාර්යමණ්ඩලයටත් මේක බලපානවා. අධිකාරී තුමියත් අපහසුතාවට පත් වෙනවා.

මෙම අවස්ථාව සඳහා ශල්‍ය වෛද්‍ය අරුනජිත් පීරිස් , ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර , වෛද්‍ය ධනුක පද්මරාජ් , වෛද්‍ය නදීකා සන්දනායක , යන වෛද්‍යවරු ඇතුළු " ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී එච්, එම් ශිරෝමා, හෙද නිලධාරිනී හා එස් , කේ , එම් ජයසේන යන රෝහලේ මහත්ම මහත්මීහූ සහභාගී වූහ.

ප්‍රියංගි ජයසිංහ
ගොඩගම සමූහ

අදහස් 2ක් ඇත

No antibiotic called කෙතරොක්ටින්

නව අදහස දක්වන්න