ගුරු පාද පියුම් සුවඳයි | දිනමිණ

ගුරු පාද පියුම් සුවඳයි

ඔවූහු 1972, 1973 වසරවලදී පළමු ශ්‍රේණියට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරූහ. ඉන් වසර දහයකට පමණ පසුව තම පාසල් දිවිය නිමකොට පාසලෙන් පිටව ගිය පසු ඔවුන් විසින් තම ගුරුවරුන්ට උපහාර දැක්වීමේ අපූරු උළෙලක් සංවිධානය කරණ ලදි.

සිසු පිරිස ඉගෙනුම ලැබූ පාසල අලවතුගොඩ විලානගම නන්දන මහ විදුහලය.

උපහාර උළෙල සංවිධානය වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ අලවතුගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවකදීය. මේ විදුහලේ අධ්‍යාපනය හැදෑරු ඔවූහු වර්තමානයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වී සිටිති. වසර 35කට පමණ පසුව ඔවුන් එකිනෙකා හමුවී තමන්ට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන්ට උපහාර දැක්වීම සඳහා උත්සවයක් සංවිධානය කිරීමට තීරණය කර ඇත. එවකට සිටි සිසු සිසුවියන් සහ ගුරුභවතුන් සොයා ගැනීමද ඔවුන්ට දුෂ්කර කාර්යයක් විය. ඇතැමෙක් ජීවතුන් අතර සිටියේ නැත. තවත් සමහරෙක් රට හැර ගොස්ය. තවත් පිරිසක් ඈත ප්‍රදේශවල දිවි ගෙවති. කෙසේ හෝ මෙම සිසුන් 15 දෙනෙක් පමණ එකතු වී විවිධ ආරංචි ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කොට දැනට වයස්ගතව විශ්‍රාම සුවයෙන් දිවි ගෙවන තම ගුරුවර, ගුරුවරියන් 25 දෙනෙකු පමණ සොයා ගත්හ. සිසු පිරිස උපහාර උළෙලට සහභාගි වන ලෙස තම ගුරු භවතුනට ගෞරවයෙන් ආරාධනා කළහ.

නියමිත දිනය උදා විය. ඒ ඉකුත් 20 වැනිදාය. ආරාධිත ගුරු භවතුන් සියලු දෙනාටම නියමිත දින පෙ.ව. 9.00ට පමණ අලවතුගොඩ නගරයට පැමිණෙන ලෙස සංවිධායකයෝ ආරාධනා කර සිටියහ. ඒ අනුව පැමිණි සියලු දෙනාම ආදි සිසුන් විසින් සුඛෝපභෝගී බස් රථයකින් අලවතුගොඩ දෙල්ගස්ගොඩ ග්‍රාමයේ පිහිටි ‘සංහිඳ’ උත්සව ශාලාවට කැදවා ගෙන එන ලදි. එහිදී ගුරු භවතුන් බස් රථයෙන් පිටතට එනවිටම ගෝල පිරිස බුලත් හුරුළු දී වැඳ ආචාරකර පිළිගත්හ. පසුව ඔවුන්ව සුදු පලසක් මතින් උඩරට නැටුම් සහිත පෙරහරකින් ගෞරව පෙර දැරීම උත්සව ශාලාව කරා කැඳවා ගෙන ගොස් අසුන් ගැන්වීය.

අනතුරුව කෙටි උත්සව සභාවක් පවත්වා අදහස් දැක්වීමෙන් පසු, ආදි සිසු සිසුවියන්ගේ ආශීර්වාදාත්මක සුබපැතුම් සහිතව ආචාර සමාචාර ගෞරවාන්විතව සිදු කෙරිණි. දිවා ආහාරය පිරිනැමීම සිදු වූයේ ගෝලයන් අතිනි. අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු එක් එක් අය විසින් ගුරු භවතුන් සඳහා උපහාර තිළිණයක් හා ත්‍යාගයක් බැගින් ප්‍රදානය කරනු ලදී. මෙතෙක් කිසිදාක දක්නට නොලැබුණු ආකාරයේ ගුරු උපහාර උළෙලකින් වසර 35කට පමණ පසුව තම ගෝලබාලයින් තමන්ට ගෞරවදැක්වීම පිළිබඳව ගුරුවරු සියලු දෙනාම සතුටු කඳුලින් යුතුව ඔවුන්ට ආශිර්වාද කොට සුබ පැතූහ. කිසිදු අමුත්තකුට ආරාධනා කර නොතිබීම මෙහි විශේෂත්වයක් වූ අතර, සංවිධායකයින්ගේ ‍නම් පළ කිරීමක්ද සිදුවූයේ නැත.

මහානාම ගලහිටියාව
මහනුවර උතුර විශේෂ

 

නව අදහස දක්වන්න