නිදන් හොරුන්ට පෙනේ පුරාවිද්‍යාවට නොපෙනේ | දිනමිණ

නිදන් හොරුන්ට පෙනේ පුරාවිද්‍යාවට නොපෙනේ

දුටුගැමුණු රජු විජිතපුර සටනට ගිය ගමන් මාර්ගයේ රජු විසින් කඳවුරුලා සිටි බව කියන මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි කන්දපල්ල කෝරලයට අයත් විහාරහීන්න මේවනවිට පුරාවිදුබිමක් ලෙස නම්කර ඇත. එහෙත් එම ස්ථානය ආරක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත. බැවින් එම ඵෙතිහාසික ස්ථානය නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසුවීමෙන් එහි නටබුන් රැසක් විනාශවී ඇත.

කහල්ල-පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි මෙම ස්ථානයේ දුටුගැමුණු රජු විසින් විහාරස්ථානයක් කළ බව ලේඛනගත නොවූවත් ඒ බව ජනප්‍රවාදවල දැක්වේ. දහතුන්වන සියවස දක්වාම මෙම ප්‍රදේශයේ ජනතාව ගැවසුන බවට මෙම ස්ථානයෙහි ඇති සෙල්ලිපියෙන් සනාථවේ.

1985 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට මෙම ස්ථානය පවරා ගැනීමෙන් පසු සංරක්ෂණයකර ඇතත් ඒ කාලය තුළ නිධන් හොරුන් විසින් මෙම පුරාවිදු බිමෙහි නටබුන්වලට විශාල වශයෙන් හානි සිදුකර ඇත. මෙහි තිබු අඩි දහයක් පරණ උසැති සෙල්මුවා බුද්ධ ප්‍රතිමාවද සම්පූර්ණයෙන් කඩාබිඳ දමා තිබේ.

දැනට මෙම ස්ථානයෙහි ඇති බුද්ධ මන්දිරය, දෙවොල, මුරකුටිය ආදිය පමණක් මෙතෙක් සංරක්ෂණයකර ඇතත් තවත් වටිනා නටබුන් රැසක් සංරක්ෂණය කිරීමට ඉතිරිව ඇති අතර ඒ සියලු ස්ථාන මේ වනවිට වල්වැදී ගොස්ය. මෙහි ඇති ගරාවැටුණු වෛත්‍යය සහ දෙවොලද නිධන් සොරුන් විසින් හාරා විනාශකර ඇත.

මෙම ස්ථානය පිළිබද ජනප්‍රවාද රැසක් පවති. එයින් එක් ජනප්‍රවාදයක් වනුයේ විජිතපුර සටනට යන සිය පුතු දුටුගැමුණු රජුට අනුශාසනා ලබාදීමේ අරමුණෙන් පැමිණි විහාරමහ දේවිය මෙම ස්ථානයට නුදුරින් පිහිටි ගොමදියගල පෙදෙසේ රැදීසිටි බවය. එම ස්ථානයේ සිට ඇය සිය පුතුට එළකිරි රැගෙන පැමිණි බවද මෙම ජනප්‍රවාදයන්ගෙන් හෙළිවේ.

මේවනවිට මෙම පුරාවිදුබිම ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දහවල් කාලයේ පමණක් සේවකයින් යොදවා ඇතත් රාත්‍රී කාලයේ සහ සතියේ නිවාඩු දිනයන්හිදී මෙහි කිසිදු ආරක්ෂක සේවාවක් යොදා නොමැත. එබැවින් එම කාලයේදී නිධන් හොරුනට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැත.

එමෙන්ම ප්‍රදේශවාසීන් මෙම පුරාවිදුබිම තුළ ඇති දෙවොලේ පුදපූජා පැවැත්වීම සඳහාද පැමිණේ. මේ නිසා මෙහි ඇති පැරණි දෙවොල පමණක් සතියකට දින දෙකක් පමණක් විවෘතව පවතී.

මෙම දෙවොලේ සේවයේ නියුතු කිරිබංඩා කපුමහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.

"මේ ස්ථානය සංරක්ෂණය කිරීම ආරම්භ වු‍ණේ, 1985 වසරේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ ප්‍රේමදාස මහතාද මේ ස්ථානයට පැමිණි පසුවයි. ඒවනවිට මේ නටබුන් සියල්ල පසට යටවෙලයි තිබුණේ.පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානය හාරලා නටබුන් කොටසක් සංරක්ෂණය කළා.. මෙහි තිබු ගලින් සෑදු හිටි පිළිමය අඩි දහයකට වැඩිය උසයි. ඒක නිධන් හොරු කඩා විනාශ කළා. ඒ විතරක් නෙවේ, හොරු මෙහි නිධානුත් හෑරුවා.

මෙහි රෑට කිසිවෙක් නෑ. දහවල් කාලයේ පමණයි මුරට සේවකයෙක් ඉන්නේ. නිවාඩු දිනවලත් කිසිවෙක් නෑ. ඒ නිසා මේ ස්ථානය නිධන් හොරුන්ට විවෘතවෙලයි තියෙන්නේ. මෙහි ඇති දොවොලෙහි සතියකට දින දෙකක් මම පුදපූජා පවත්වනවා. ඒ සඳහා ප්‍රදේශයේ බොහෝ අය එනවා. දෙවියන්ගේ පිහිට ඒ අයට තියෙනවා. මම මේදෙවොලේ තේවා ටික පමණක් ඉටුකරනවා."

ඒ.ඒ.එල්.ඩයස්
මාතලේ දිස්ත්‍රික් සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...