ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ සියලු ලේඛන සීඅයිඩියට දෙන්න | දිනමිණ

ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ සියලු ලේඛන සීඅයිඩියට දෙන්න

සුභාෂීණී සේනානායක

පුද්ගලයන් 11දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් ඉල්ලා ඇති සියලු ලේඛන රහස් පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (24) නාවික හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කළාය.

මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය. ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මේ සිද්ධියට අදාළව රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණී, තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා ලබන ජුනි මස 28වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (14) නියෝග කළාය.

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට පැන යාමට උපකාර කළ බව කියන නාවික හමූදාවේ හිටපු නාවික හමුදාපති සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරිය හමුවේ දැනුම් දුන්නේය.

ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි යන අය ඇතුළු ප්‍රකාශ ලබා ගත් නිලධාරීන් ලබා දුන් ප්‍රකාශවලට අනුව තමන්ට පැන යාමට හිටපු නාවික හමුදාපති වරයා උපකාර කළ බවට හෙට්ටිආරච්චි යන අය දැනුම් දී ඇති බවත් නිශාන්ත ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඔවුන් නවාතැන් ගෙන සිටි මහල් ගොඩනැඟිල්ලේ තුන් සහ හතරවන මහල්වල සැකකරුවන් රැඳී සිටි බවටත් හත් වන මහලේ කාමර දෙකක හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා රැදී සිට ඇති බවටත් විමර්ශන අනාවරණය කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දූන් අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඉදිරියේ දී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවටත් දැනුම් දූන්නේය.

ඔහු අතුරුදන්වීමට පෙර හිටපු නාවික හමුදාපති වරයා ඔහුගේ කාමරයට පැමිණි බවට විමර්ශන අනාවරණය කර ඇති බවත් රහස් පොලිසිය කියා සිටියේය.

අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන ලෙසටත් ඉදිරි නඩුව කැඳවන ජුනි 28 වනදා නිතිපති නියෝජනයක් සඳහා ලිපියක් යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අධිකරණයට දැනුම් දූන්නේය. මේ සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස , රාජපක්ෂ පතිරනලාගේ කිත්සිරි, සම්පත් මුණසිංහ යන සැකකරුවෝ ඇප මත සිටිති.


නව අදහස දක්වන්න

Or log in with...