බදු ගැන මිත්‍යාව සහ සැබෑව | දිනමිණ

බදු ගැන මිත්‍යාව සහ සැබෑව

මේ වන විට ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වන්නේ “ඇති හැකි අයගෙන් වැඩියෙන් බදු ගෙන නැති බැරි ජනතාවට සහන ලබාදීම” බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. මෙහි සරල අදහස වන්නේ ලංකාවේ තවදුරටත් ප්‍රමුඛ වන්නේ දුප්පතාගේ පරිප්පු ටිකටත් බදු සහන වක්‍ර බදු නොව දෛනිකව මිලියන ගණන් ධනය උපයන ධනවතාගෙන් වැඩි වැඩියෙන් බදු අය කර ගන්නා “ඍජු බදු” ප්‍රතිශතය වර්ධනය කිරීමයි.

"අපි නැවත බලයට පත් වුවහොත් රජයේ බදු සියයට 20කින් අඩු කරනවා " කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අවධාරණාත්මකව ප්‍රකාශ කළා. සුපුරුදු පරිදි රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශයට කිසිදු ප්‍රශ්න කිරීමකින් හෝ විවේචනය කිරීමකින් තොරව රාජපක්ෂ මාධ්‍ය රෙජිමයෙන් දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබුණා. වත්මන් ආණ්ඩුව සුද්දටත් වඩා වැඩි බදු බරක් ජනතාව මත පටවමින් ඔවුන් පීඩාවට පත්කර ඇති බව මේ මගින් අවධාරණය කිරීමට පියවර ගත්තා.

රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සේම මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද කඩිනමින් ප්‍රතිචාර දැක්වූවා. එහිදී මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය බර හා බදු බර ගැන ප්‍රසිද්ධ විවාදයකට තමා සූදානම් බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අවධාරණය කළේ “සියයට විස්සකින් රජයේ බදු අඩු කරමින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගන්නා ආකාරය ගැන මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළ යුතු බවයි.

අගමැතිවරයාගේ හෝ මුදල් ඇමැතිවරයාගේ මේ අභියෝග මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිදා භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. ඒ “කියන කොට එහෙමයි - කරන කොට මෙහෙමයි” අවස්ථාවාදී න්‍යාය මහින්ද රාජපක්ෂ මහතා තරම් සූර ලෙසත්, අඛණ්ඩ ලෙසත්, ඇතැම් විට නිර්මාණශීලී ලෙසත් භාවිත කළ වෙනත් රාජ්‍ය නායකයෙක් මේ දක්වා ලංකාවේ පහළ වෙලා නැති නිසයි. මේ තත්ත්වය තුළ අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මහතා මේ බදු මිත්‍යාව අඛණ්ඩව සමාජගත කරමින් ආණ්ඩුවට එරෙහිව පොදුජන හා ව්‍යාපාරික මතය සංවිධානය කිරීමට පියවර ගනීවි. ඒ නිසා බදු මිත්‍යාව ගැන සැබෑ තත්ත්වය හෙළි කිරීම අප අපගේ යුතුකමක් සේම වගකීමක් වශයෙන් ද සැලකිය යුතුයි.

බදු ජනතාවට බරක් ද?

“බදු ජනතාවට බරක්ද ?” මේ ප්‍රශ්නය දීර්ඝ කාලයක් පුරා ආර්ථික විශේෂඥයන් අතර කතා බහට ලක් වෙමින් තිබෙනවා. ඊට හේතුව වන්නේ ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධයෙන් කාලයක් පුරා ජනතාව අතර, ඍජු බදු ගෙවන ධනවතුන් ඇතුළු වෘත්තිකයන් අතර මෙන්ම වානිජ ප්‍රජාව අතරත් ප්‍රබල විවේචනයක් පැවතීමයි. වක්‍ර බදු ගෙවන පොදු ජනතාවගේ පැත්තෙන් ප්‍රකාශ වන්නේ සාමාන්‍ය ජනතාව, අඩු ආදායම්ලාභීන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉතාමත් අසාධාරණ බදු බරකට කර ගසන බවයි. හදිසි ලෙඩකට දුකකට බොන පැරසිටමෝල් පෙත්තේ සිට නොකා නොබී මිලදී ගන්නා යතුරු පැදිය, ත්‍රීරෝද රථය දක්වා අධික බදු බරක් තමන් මත පැටවී ඇති බවයි. ඍජු බදු (ආදායම් බදු) ගෙවන ධනවතුන් සේම වෘත්තිකයන් (වෛද්‍යවරුන් වැනි) චෝදනා කරන්නේ තම ඉපැයීම්වලට සාපේක්ෂව දැඩි බදු බරක් දැරීමට තමන්ට සිදුව ඇති බවයි. මේ අතර වානිජ ප්‍රජාවත් දැඩිව අවධාරණය කරමින් සිටින්නේ ආණ්ඩුවේ සංකීර්ණ බදු ක්‍රමය මගින් තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි. මේ අතර රටේ බදු අය කරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන පද්ධතිය තුළත් බදු අයකර ගැනීම සම්බන්ධයෙන් කලක සිට මැසිවිල්ලක් තිබෙනවා. ඔවුන්ට අනුව අදායම් බදු ගෙවීම් පැහැර හැරීම, බදු සැඟවීම, බදු වංචා කිරීම වැනි ඍණාත්මක සිදුවීම් රැසක් කාලයක් පුරා සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා වහාම වත්මන් බදු ක්‍රමයේ සාධනීය ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව ඔවුන් ද අවධාරණය කරනවා.

මේ ප්‍රශ්නය මානව ඉතිහාසය පුරාම තිබූ බව බුදුන් වහන්සේ පවා ‘මල නොතලා රොන් ගන්නා සේ’ පාලකයන් විසින් ජනතාවගෙන් බදු අයකළ යුතුයැයි කළ දේශනාවෙන් පැහැදිලි වෙනවා. ඊට හේතුව වන්නේ ඕනෑම බදු පැනවීමක් ජනතාවට අමතර බරක් වන නිසයි. පුද්ගල මානසිකත්වය අනුව ද ඔවුන් ඕනෑම බද්ධක් අමතර බරක්, පීඩනයක් සේ සලකන නිසයි.

ඒත් බොහෝ පාලකයන්, ආණ්ඩු මේ ගැන ඒ හැටි තැකීමක් නොකරන බව ඉතිහාසය තුළින් ද පැහැදිලි වෙනවා. ලංකාව උදාහරණයට ගතහොත් යටත් විජිතවාදී ඉංග්‍රීසි ආණ්ඩුව 1848 දී ලංකාවේ ජනතාව මත විවිධාකාර බදු පැනවීම මගින් ඔවුන්ව සූරාකෑමට පියවර ගත්තා. ඇඟ බද්ද, තුවක්කු බද්ද පමණක් නොවෙයි බලු බද්දක් පවා ඔවුන් විසින් පැනවීම තුළ අපට එදා පැවැති තත්ත්වය මනාව පැහැදිලි කරගත හැකියි. මේ අසාධාරණ බදු පැනවීම්වලට එදා එරෙහි වුණ ජනතාව ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසුවා. අවසානයේ මේ අසාධාරණ බදු අයින් කර ගැනීමට එදා පාලකයන්ට සිදු වුණා. මහින්ද රාජපක්ෂ යුගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ විට ධීවරයන් ඊට එරෙහිව කළ උද්ඝෝෂණ අවසානයේ ධීවරයෙකු බිල්ලට ගනිමින් අවසන් වුණා. ඉන්ධන බදු අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පවා පසෙක දැම්මා.

දුප්පතුන්ට බදු බර පැටවෙන හැටි

බදු ජනතාවට බරක් ද ? යන්න ගැන කතා කරන කොට නිතර අවධාරණය කරන්නේ බදු මගින් දුප්පතුන්ට, අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් සිදුවන බවයි. මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ ‘වක්‍ර බදු’ එහෙම නැතිනම් ජනතාවට එදිනෙදා භාවිතයට ගන්නා පාරිභෝගික භාණ්ඩ හා සේවා මත බදු පනවන අවස්ථාවේදී. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව ඩීසල්, පෙට්‍රල් මත බදු පනවා තිබෙනවා. මේ බදු නිසා මේවායේ මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී ජනතාව අතර විරෝධයක් ඇතිවන්නේ තමන්ගේ ජීවිකාව සඳහා ත්‍රිරෝද රථය පදවන පුද්ගලයාත්, බිලියන ගණනක් ආදායම් ලබමින් විනෝද ගමන් යාම සඳහා තමන්ගේ අති සුඛෝපභෝගී ජීප් රථයට පෙට්‍රල් ගහන පුද්ගලයාත් එකම මිලක් ගෙවමින් පෙට්‍රල් මිලදී ගැනීමයි. මෙහිදී ත්‍රිරෝද රථ රියැදුරා තමන්ගේ දෛනික ආදායමින් විශාල ප්‍රතිශතයක් පෙට්‍රල් මිලදී ගැනීම සඳහා වැය කළත් ධනවතා ඒ සඳහා වැය කරන්නේ තමන්ගේ ආදායමින් නොසැලකිය යුතු ප්‍රතිශතයක් පමණයි. පරිප්පු, කරවල, අල, ලූනු ආදියට බදු ගසන විට අඩු ආදායම්ලාභීන් දැඩි සේ පීඩාවට පත්වන්නේ මේ පදනම තුළයි.

මේ නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැනවීමට එරෙහිව ලෝකයේ බොහෝ රටවල ප්‍රබල විරෝධයක් පවතිනවා. එහි තාර්කික අදහස වන්නේ රටේ අඩු ආදායම්ලාභීන් වක්‍ර බදු (භාණ්ඩ හා සේවා බදු ) සඳහා තමන්ගේ ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැය කරන බවයි. ඒ වගේම රජය විසින් නිර්මාණය කරන බොහෝ පොදු පහසුකම්වල වැඩි වටිනාකමක් තිබෙන්නේ ඉහළ ආදායම්ලාභීන්ට කියලා චෝදනාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වැය කරන මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් ප්‍රධාන ධාරාවේ පාසල්වලට වෙන් වන ආකාරයක් අපි දකිනවා. අධිවේගී මාර්ග, ඇවිදින මංතීරු, ඇතුළු පොදු පහසුකම් සම්බන්ධයෙන් ද මේ විවේචනය දැකිය හැකියි. ඒ නිසා ‘රටේ බදු බර උසුලන්නේ සාමාන්‍ය ජනතාව’ කියන කතාවට පදනමක් තිබෙනවා.

ජනතාව මත බර නොපැටවෙන බදු ක්‍රමයක්

වත්මන් ආණ්ඩුව විසින් මීට කලකට පෙර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගත් පසු පොදු ජනතාව උසුලා සිටින අධික බදු බර සැහැල්ලු කිරීමට ක්‍රමයෙන් හැකියාව ලැබුණු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ අලුතින් ආදායම් බදු ලිපි ගොනු 20,000ක් පමණ විවෘත කිරීමට තමන්ට හැකියාව ලැබුණු බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වන්නේ “ඇති හැකි අයගෙන් වැඩියෙන් බදු ගෙන නැති බැරි ජනතාවට සහන ලබාදීම” බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. මෙහි සරල අදහස වන්නේ ලංකාවේ තවදුරටත් ප්‍රමුඛ වන්නේ දුප්පතාගේ පරිප්පු ටිකටත් බදු සහන වක්‍ර බදු නොව දෛනිකව මිලියන ගණන් ධනය උපයන ධනවතාගෙන් වැඩි වැඩියෙන් බදු අය කර ගන්නා “ඍජු බදු” ප්‍රතිශතය වර්ධනය කිරීමයි. ඒ අනුව වක්‍ර බදු සංයුතිය සියයට 80 සිට සියයට 60 දක්වාත්, ඍජු බදු සංයුතිය සියයට 20 සිට සියයට 40 දක්වා වර්ධනය කර ගැනීමයි රජයේ අපේක්ෂාව වන්නේ. මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ මේ බදු සංශෝධනයි. මෙහිදී ජනතාවට තිබෙන ප්‍රශ්නය වන්නේ මෙය සිදුවන්නේ කුමනාකාරයෙන් ද යන්නයි. ඒ නිසා අප ප්‍රථමයෙන්ම මේ වක්‍ර බදු සහ ඍජු බදු අතර වෙනස වටහා ගත යුතුයි. බදු බර අන් අයෙකුට පැවරිය හැකි නම් එවා ‘වක්‍ර බදු’ ලෙස ද නොහැකි නම් ඒවා ‘ඍජු බදු’ ලෙස ද හැඳින්වෙනවා. මේ අනුව භාණ්ඩ හා සේවා සඳහා පැනවෙන බදු වක්‍ර බදු ලෙස සැලකෙනවා. ඊට හේතුව වන්නේ වක්‍ර බදු මත පනවන බදු මුළුමනින්ම හෝ කොටසකින් හෝ භාණ්ඩයේ හෝ සේවාවේ මිලට එකතු කර පාරිභෝගිකයා මත පැටවීමට හැකි වීමයි.

කෙනෙකුගේ ආදායම මත පනවන බදු ‘ඍජු බදු’ ලෙස සැලකෙන්නේ බදු ගෙවන්නාට එය වෙනත් අයෙකුට පැවරිය නොහැකි නිසයි. එය “අදාළ පුද්ගලයා විසින්ම” දරාගත යුතු නිසයි. එහෙත් මේ සාම්ප්‍රදායික නිර්වචනය මේ වන විට යම්කිසි සංශෝධනයකට ලක්ව තිබෙනවා. ඊට හේතුව වන්නේ මේ ආකාරයෙන් බදු වර්ග කිරීමට නම් ‘බදු බර පැවරීම’ හෙවත් ‘බදු විතැන් කිරීම’ ගැන සම්පූර්ණ දැනුමක් තිබිය යුතු වීමයි. බදුකරණයේදී මෙය අපහසු දෙයක් ලෙස සලකනවා. ඒ නිසා වර්තමානයේදී බදු වර්ගීකරණය සිදුවන්නේ ‘බදු බර පැවරීම’ ගැන සලකා බලා නොවෙයි.

වර්තමානයේ බදු වර්ගීකරණය සිදුවන්නේ, අාදායම මත පැනවෙන බදු ‘ඍජු බදු’ වශයෙන් ද, භාණ්ඩ හෝ වියදම් හෝ මත පැනවෙන බදු ‘වක්‍ර බදු’ වශයෙන් ද සැලකීමයි. මේ අනුව ආදායම් බද්ද, ප්‍රාග්ධන බද්ද, ලාභ බද්ද, ආදිය ඍජු බදු වශයෙන් ද ආනයන බදු, අපනයන බදු, අලෙවි බදු ආදිය වක්‍ර බදු වශයෙන් ද සැලකෙනවා.

ආදායම් බදු ප්‍රමුඛවීම ප්‍රායෝගික වෙයිද ?

ආදායම් බදු, එසේ නොමැති නම් ඍජු බදු රටේ බදු ක්‍රමයේ ප්‍රමුඛ අංශයක් බවට පත් කිරීමට සූදානමක් තිබුණත් ප්‍රායෝගිකව එය ඉටු කළ හැකිද යන්න ප්‍රශ්නයක් බව ආර්ථික විශේෂඥයන් කියනවා. ඊට හේතු වන්නේ ලංකාවේ ආදායම් බදු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලුයි. උදාහරණයක් විදිහට ලංකාවේ සමස්ත බදු ආදායමෙන් ඍජු බදු ප්‍රතිශතය පවතින්නේ සියයට 20කට ආසන්න අගයක. මේ තත්ත්වය 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව පැහැදිලි කළහොත් 2015 වසරේ බදු ආදායම රුපියල් මිලියන 1,355,779ක් වන විට ශුද්ධ ආදායම හා ලාභය මත බදු ප්‍රමාණය රුපියල් මිලියන 262,583ක් පමණයි. මෙය කිසිසේත් ප්‍රමාණවත් තත්ත්වයක් නොවෙයි.

උදාහරණයක් විදිහට මහා බ්‍රිතාන්‍යයේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 33.3ක් වන අතර නෝර්වේ රාජ්‍යයේ එය සියයට 40.2ක් වැනි අගයක්. සමස්ත යුරෝපීය කලාපයේ එය සියයට 30.1ක් වැනි ඉහළ අගයක්. ශ්‍රී ලංකාවට මෙවැනි ප්‍රශස්ත තත්ත්වයකට යාමට තවත් බොහෝ කාලයක් ගත වන බව පැහැදිලියි.

අනෙක් කරුණ වන්නේ ලංකාවේ ආදායම් බදු ගෙවිය හැකි මට්ටමේ ජනතාව සිටින්නේ ජනගහණයෙන් කුඩා ප්‍රතිශතයක් පමණයි. ජනගහණයෙන් අති බහුතර රාජ්‍ය සුබසාධනය මත (සමෘද්ධිය වැනි) යැපෙන අඩු ආදායම්ලාභීන්. ඒ වගේම ලංකාවේ කොපමණ නීති තිබුණත්, දිරිදීම් තිබුණත් ආදායම් බදු පැහැර හැරීම විශාල වශයෙන් සිදු වෙනවා. ආදායම් බදු දැලට පහසුවෙන් හසුකර ගැනීමට හැකියාව තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්, බැංකු ගනුදෙනුකරුවන් වැනි පිරිස් පමණයි. එහෙත් අනියම් ආකාරයෙන් විශාල ආදායම් උපයන පිරිස් (උපකාරක පන්ති ගුරුවරු, පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරු, නීතිඥයන්, ගෘහ නිර්මාණශිල්පීන් ආදි) බදු දැලට හසුකර ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඇතැම් ව්‍යාපාරිකයන් ඉතාම කූඨ ආකාරයෙන් බදු ගෙවීම පැහැර හරින අවස්ථාත් ලංකාවේ සුලභයි. මෙවැනි තත්ත්වයක් තුළ බදු ක්‍රමය කාර්යක්ෂම හා ඵලදායී නොකොට බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම අපහසු විය හැකියි.

ශ්‍රි ලංකාවේ බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදුවීම අනිවාර්ය කරුණක් වුවත් ඒ සමඟ අති සංකීර්ණ යාන්ත්‍රණයක් බැඳී පවතින නිසා එකී ක්ෂේත්‍ර තුළ ද සමගාමී වෙනසක් සිදුවීම අනිවාර්ය කොන්දේසියක් බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. උදාහරණයක් වශයෙන් ‘විගණන පනත’ කඩිනමින් ගෙන එන බව යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක්. ඒත් තවමත් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැහැ. එය කොතැන හෝ සිරවී ඇති බව ඉතාම පැහැදිලි කරුණක්.

ගැටලු විසඳා ගැනීම

ඒ ආකාරයෙන්ම ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන බදු යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම තවත් ගැටලුවක්. අනෙක් අතින් ආණ්ඩුව පසුගිය කාලය පුරාම දැවැත්ත බදු ආදායමක් උපයා ගත්තේ විදේශ වෙළෙඳාම මත බදු පැනවීම මගිනුයි. ඒ තුළින් සිදු වුණේ ලංකාවට සිදුකරන ආනයනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමයි. ජනතාවට අමතර බරක් දැරීමට සිදුවීමයි. මේ තත්ත්වය වෙතින් විතැන්වීමේ හැකියාවක් වර්තමානයේ දී ලංකාවට තිබේද යන්න ගැටලු සහගතයි. විශේෂයෙන් ආනයන වේගයෙන් වර්ධනය වන වාතාවරණයක් තුළ මේ තත්ත්වය සංකීර්ණ විය හැකියි.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය වෙත යළි යා යුතුයි. අද පන්සල් ගානේ යමින් අසත්‍ය හා ජනතාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කිරීම දෛනික පුරුද්දක් කරගෙන සිටින මහින්ද රාජපක්ෂ මහතා තමාගේ පාලන යුගයේ බදු යාන්ත්‍රණය හැරවූ ආකාරය ගැන බොහෝ දෙනකුට අමතක නැහැ.තමා බලයට පත් වුවහොත් සියයට විස්සකින් බදු අඩු කරන බව කියන මහින්ද රාජපක්ෂ මහතාට තම පාලන සමයේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය (මේ ගැන දැනගෙන හිටියේ පී.බී. ජයසුන්දර පමණක් බවට මතයක් පවතී) නොවැටහී යාමට හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ යුගයේ රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10 දක්වා පහළ වැටෙන විට (මෙය ආසියානු කලාපයේ අඩුම අගයයි) (2005දී 13.7කි) විට එම යුගයේ (2005) රාජ්‍ය වියදම රුපියල් බිලියන 585 සිට 2014 වන විට රුපියල් බිලියන 1796 දක්වා ඉහළ ගියා. මේ සමඟ රාජ්‍ය වියදම් පරතරය (2005) රුපියල් බිලියන 205 සිට 2014 දී රුපියල් බිලියන 601 දක්වා ඉහළ ගියා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දැවැන්ත පරතරය පියවා ගත්තේ විධිමත් ආකාරයෙන්, ඵලදායී ආකාරයෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම මගින් නොව දැවැන්ත විදේශ ණය ගැනීම් වෙත යොමු වීම මගිනුයි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ 2005දී පැවැති මුළු ණය ආපසු ගෙවීම් රුපියල් බිලියන 345 සිට 2014 වන විට රුපියල් බිලියන 1069 දක්වා වර්ධනය වුණේ රාජ්‍ය වියදම් පියවා ගැනීම (මෙගා සංවර්ධන කටයුතු ඇතුළු) විදේශ ණය ගැනීම් තුළින් සිදුකළ නිසයි.

අද බලය අහිමි වූ විට තම හැකියාවන් ගැන පම්පෝරි කතා කියමින් අධි තක්සේරුවක සිටින හිටපු පාලකයන් තම මිත්‍යා ප්‍රබන්ධවලින් සදාකාලිකවම ජනතාව රැවටිය නොහැකි බව අවබෝධ කරගත යුතුයි. එසේ නොවුණහොත් අනිවාර්යයෙන්ම සිදුවනු ඇත්තේ රාජපක්ෂ කල්ලියට 2015දී රෑ වැටුණු වළේ 2020දී අමු දවල් වැටීමට සිදුවීමයි.

සටහන භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න