කොක්කු එක්ක මුක්කු ගහන අපි | දිනමිණ

කොක්කු එක්ක මුක්කු ගහන අපි

මිනිසා සමාජීය සත්ත්වයෙක් නිසාවෙන් මිනිසාට තනිව ජීවත් විය නොහැක. මිනිස් අවශ්‍යතා සියල්ල සපුරා ගත යුත්තේ සමාජ සත්ත්වයෙකු ලෙසිනි.

මේ නිසා මානව පරිණාමය, සන්නිවේදනයේ පරිණාමයක් ලෙස විස්තර කර ඇත. මිත්‍රයින්, ඥාතීන් අතීතයේ අපේ අනන්‍යතාව රැකි, අපගේ තනියට සිටි, දුකසැප පමණක් නොව හැඟීම් බෙදාගත් පිරිසක් විය. මිත්‍රත්වය සොඳුරු වගකීමක් වූ අතර ඥාතීත්වය සොඳුරු ආරක්ෂකයෙක් විය.

මේ නිසා මිනිසුන්ට අනන්‍යතා ගැටලු නොවූ අතර මිනිස් සබඳතා තුළ වූ අවංක භාවයන් නිසා තනිකමක් නොදැනිණි. හුදකලාවක් ඇති නොවී ය.

එහෙත් අද දවසේ අප ඉදිරිපිට ඇති සන්නිවේදන හා තාක්ෂණික මෙවලම් තුළින් මිනිසුන් හුදකලා පිටස්තරයින් බවට පත්කර, අනන්‍යතාවන් අර්බුදයට පත් කරන්නේ නම් එවැනි දියුණුවක් ගැන අපිට කිසිසේත් සතුටු විය නොහැක.

අප අද දවසේ ගත කරන ජීවිතය අප අනන්‍යතාවන් අපට අහිමි වූ හුදකලා ජීවිතයක් බවට පත් කිරීමේ වගකීම නූතන සන්නිවේදන දියුණුව භාරගත යුතුවේ.

එක් පැත්තකින් සන්නිවේදන මෙවලම් විසින් මිනිස් සබඳතා ඈත් කරන ගමන් අනෙක් පැත්තෙන් ඒ වෙනුවට විසඳුම ලෙස පත්ව ඇත්තේ ද සන්නිවේදන මෙවලම් ය.

රූපවාහිනිය විසින් පවුල තුළ වූ අනෝන්‍ය විශ්වාසය හා ආදරය, රැකවරණය පළුඳු කළේ ය. ඉන් පසු පැමිණි ෆේස්බුක් වැනි සමාජ ජාලා මිනිසුන්ගේ හුදකලා බව පිරවීමට කටයුතු කළේ ය.

දෙමාපියන්ට තම දරුවාගේ උපන්දිනය අමතක වූවත් ෆේස්බුක් එකට එය අමතක වන්නේ නැත. ෆේස්බුක් එකෙන් එන ඊ සුබ පැතීම පමණක් නොව මිත්‍රත්වයේ සැමරුම්, වාද විවාද, අගය කිරීම් තුළ මිනිසුන් එය ළංකර ගැනීමට තවත් පෙළඹේ.

මිනිස් අවිඥානයේ ඇති සැලකිල්ල ලැබිම හා එය බෙදාගැනීම සඳහා වූ ක්‍රමවේදයන් නිසාවෙන් හුදකලා වූ මිනිසුන්ට ෆේස්බුක්, අබිං හා සමාන දෙයක් විය. මේ නිසා ෆේස්බුක් අද දවසේ අප රටින් මුදල් පිටරටට යවන ප්‍රධාන මෙවලමක් බවට පත් වෙමින් තිබේ.

ඒ අතර බිඳ වැටෙමින් තිබෙන්නේ අප වටා තිබෙන මිත්‍රත්වයේ සහ ඥාතීත්වයේ පවුරු පදනම් ය. මේකප් දමනු ලබන්නේ ලස්සන වීමටයි. ලස්සන වීම අවශ්‍ය කරන්නේ ආකර්ෂණය දිනා ගැනීමට ය.

මේ නිසා මගුල් දවසේ මනමාලියගේත් මනමාලයාගේත් පටන් ආච්චි අම්මා දක්වා සියලු දෙනා මේකප්වලට පින් සිදුවන්නට මගුල්ගෙදර කැමරාවලට ලස්සනට පෙනේ. දේශපාලකයින්, වේදිකාවලත් කැමරාවලත් ලස්සනට පෙනෙන්නේ මේකප් නිසා බව අපට සමහර විට අමතක වේ.

හාමුදුරුවන් බණ කියන විටත් මේකප් දමන්නට සිදු වන්නේ බණ ඉදිරියට කැමරා පැමිණි නිසාවෙනි. මේ නිසා මේකප් දැමීම කොතරම් ජනප්‍රිය වී දැයි කිවහොත් සමහර අම්මලා දරුවන්ගේ පන්ති රැස්වීමට යන්නේත් මේකප් එකක් දමාගෙන ය. මිත්‍රත්වයටත් ඥාතීත්වයටත් මේකප් දැමීමේ පුරුද්දක් ද දැන් අපට ඇත. ඔබට බොහෝ ඥාතීන් හා මිත්‍රයින් සිටින්නට හැකි ය.

ඒ අය විවිධාකාර වෙති. සමහරෙක් සිනාසීමට, කතා කිරීමට එහා ගිය කිසිවක් නොකරන අය වෙති.

තවත් සමහරෙක් අපට හමුවන්නේ අප ගනුදෙනු කරන ව්‍යූහයන් තුළ ය. ආයතනික මිතුරන් ලෙස ඔවුන් හැඳින්විය හැකි අතර ආයතන මාරු වන විට මිත්‍රත්වයන් මාරු වේ.

අනෙක් අය අපට හමු වන්නේ සදාකාලික මිතුරන් ලෙසිනි. ඔවුන් කවදා, කොපමණ කාලෙකින්, කෙසේ හමු වුව ද වෙනසක් නැති අතර ඔවුන් රැගෙන එන දෙයට වඩා අපට අදාළ වන්නේ ඔවුන්ගේ හමුවීමයි.

එවැනි මිතුරන් සමඟ කතාබහකින් තොරව වුවද සිටිය හැකි වේ. මේ වැනි අය ඇත්තේ කිහිප දෙනෙකු විය හැක. ඔවුන් මේකප් නැති මිතුරන් ය.

අනෙක් අයගේ මිත්‍රත්වය ලස්සන කර ඇත්තේ විවිධ මේකප්වලිනි. බොහෝ විට අප මෙම මේකප්වලට රැවටේ. අප ද මෙවැනි මේකප් දමාගෙන මිත්‍රත්වයන් පවත්වන බව ඔබ ඔබව ම පිරික්සන විට දැනෙනු ඇත.

බොහෝ විට මේකප් සේදෙන තෙක් අපට නිවැරදිව මිනිසුන් හඳුනා ගැනීමට අපහසු වනු ඇත. මේ නිසා කෘත්‍රීම, වංචාකාරී සබඳතා සමූහයක අපට ජීවත් වීමට සිදුව ඇත. ලෝකයේ ඛේදජනක ම කාරණයක් වන්නේ අප විශ්වාස නොකරන මිනිසුන් සමඟ අපට ජීවිත්වීමට කරන බල කිරීමයි.

අද දවසේ අප ජීවත් වන්නේ එවැනි මිනිස් සමූහයක ය. සමහර විට ගෙදර බිරිඳ, සැමියා පවා මේකප් දමාගෙන සිටී. මේ නිසා සැබෑ බිරිඳ, ස්වාමියා හඳුනා ගැනීමට නොහැකි වීම බරපතල ගැටලු ඇති කරනු ලබයි.

මෑත වකවානුවේ ලංකාවේ දික්කසාද මෙන් ම පවුල් ආරවුල් වර්ධනය වන්නේ මේ පසුබිම් තුළ ය. සන්නිවේදන මෙවලම් මිනිසුන් ළං කරනවාට වඩා වේගයෙන් ඈත් කරමින් සිටින බව පෙනෙන්නට ඇත. සමහර මෘදුකාංග පවා මේ වෙනුවෙන් නිර්මාණය වී ඇත.

තම හිතවතුන් සිටින තැන් සොයා දීමට මෘදුකාංගයට සිදු වන්නේ සන්නිවේදන මෙවලම් කොපමණ අතේ තිබුණ ද මිනිසුන් බොරු කියන බැවිනි.

රාත්‍රියට ඇඳේ එකට නිදාගන්නා බිරිඳ හෝ ස්වාමියා දවාලට සිටින තැන සොයා ගැනීමට තාක්ෂණයේ පිහිට පැතිය යුතුව ඇත්තේ මිනිස් සබඳතා තුළ ඇති මෙම මේකප් නිසාවෙනි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ හුදකලා මිනිසුන් සමූහයක් නිර්මාණය විමයි.

අප පෞද්ගලික යැයි සිතා සිටින බොහෝ දේ අද පොදු දේ බවට පත් වී ඇත.

එසේ ම අප විශ්වාස කරන බොහෝ දේ එසේ නොවන බවත් අපට විශ්වාස කිරීමට සිදුව ඇත. තමන්ට තමන්ව ද අහිමි ලොවක අපට තාවකාලිකව හෝ සැනසිය හැක්කේ අප ද මේකප් දමා ගැනීමෙනි.

- වජිර කාන්ත උබේසිංහ -

නව අදහස දක්වන්න