සඳ | දිනමිණ

සඳ

02 කොටස

ඇතීනා ගියා. ඊළඟට එක්කන් ආවෙ පොඩි කොල්ලෙක්. එයා කවදාවත් බිම දැකල නෑ. ඉතින් අසූ හත් වෙනි තට්ටුවෙන් බිමට පනින්න ගිහින් දවස් දෙකක් බේරගෙන. මෙලාවියෝ ඩෙස්පිඩොමීන් ලිව්වා, ඒකෙ අතුරුඵලයක් විදියට නිදිමත එන නිසා. ඒත් පොඩි ළමයෙක් හින්දා තාත්තටයි අම්මටයි ආයෙ කතා කළා. එහා කාමරයේ ඉන්න මනෝ උපදේශකවරිය හම්බවෙන්න කියලත් ලියල දුන්නා.

ආයෙ සති අන්තය. එදා බලපු චිත්‍රපටියෙ හිටියෙ විදුලි කියත්වලින් මිනිස්සු මරණ කැත මිනිස්සු ටිකක්. ඒකත් පනස් පාරක් විතර බලල ඇති. ඒත් මෙලාවියෝ ගැහි ගැහී ආයෙ බැලුවා. ගෙදර යනකොට වීදුරුවෙ කොල්ලො ටිකක් විප්ලවයක් ගැන අකුරු ටිකක් ඇඳල ගිහින්. උන්ට කුණුහරපෙන් බැන බැන මෙලාවියෝ ඒක හේදුවා. කළුපාට වැස්ස ආයෙ වැටුණා. ජනේලෙට මෙහා ඉඳල කළු පූසා බලාගෙන ඉන්නව කන්න දෙනකන්. ගොඩනැගිල්ල පහළ තිතක් වගේ ගිනි ගන්නෙ මොකද්ද කියල මෙලාවියෝ බැලුවා. කළුවර විතරයි. පොලිස් වාහන දෙකක් උඩ ඉඳල වේගෙන පහළට ගියා. ඇතුළට ආපු මෙලාවියෝ සීතල වතුර මලට ඔළුව අල්ලන් ඉඳල කෝපි කෝප්පයක් හදාගෙන ඇවිත් පරණ චිත්‍රකතා පත්තර ගොඩකින් අහම්බෙන් හම්බ වුණ එකක් කියව කියව හිටියා. වුල්වරින් කළු වඳුරෙක් එක්ක ගහගන්න ඒ කතාව සිය පාරකට වඩා කියවල ඇති. ඒත් ආයෙ කියෙව්වා. ඉරිදා දවසම නිදා ගත්තා.

සඳුදා හැන්දෑවෙ ඇතීනා ආවා. මෙලාවියෝ කවිච්චියෙ එයාට නිදා ගන්න කියල අතත්‍ය යථාර්ථ බාහිකය සහ ඊ.ඊ.ජී සංවේදක සවි කළා නළල වටේ. ඊළඟට එයාගේ අවසරය වාචික ප්‍රකාශයක් විදියට අරගෙන බෙලියුටමින් කැප්සූල් එකක් දුන්නා. ඇතීනා හෙමීට නින්දට වැටුණා. මෙලාවියෝ හොලෝග්‍රෑම් දර්ශකය දිහා බලාගෙන හිටියා. පාරදෘශ්‍ය තිරය හරහා නිදාගෙන ඉන්න ගෑනු ළමය දිහා තමන් ඔහේ බලාගෙන ඉන්න බව වැටහුණේ එයාගෙ සිරුර ගැස්සෙන්න ගන්නකොට. මෙලාවියෝ තිරය දිහා බැලුවා. ඇතීනා ක්ෂිතිමය අත්දැකීමකට නැවත එමින් සිටියා. බෙලියුටමින් එයාගෙ අභ්‍යන්තර රහසිගත භීතිකාවන්ටයි භයානක අත්දැකීම්වලටයි ආයෙත් අරගෙන යනවා. එයා ඒවට මුහුණ දෙන්නෙ කොහොම ද? මෙලාවියෝ තිරය දිහා බලාගෙන හිටියා.

ඇතීනා කෙඳිරි ගාන්නත් දඟල්ලන්නත් පටන් ගත්තා, භයානක හීනයක් දකිනව වගේ. ඊ.ඊ.ජී සටහන් ප්‍රස්ථාරය ඉහළ යනවා. එය සීමාව ඉක්මවා යනවා නම් ප්‍රති-බෙලියුටමින් සිරිංජරය සූදානම් කරගෙන මෙලාවියෝ තිරය දිහාත් ගෑනු ළමයා දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා. ඒත් ප්‍රස්ථාරය පහළ යමින් තිබුණා. විනාඩි දෙක තුනකට පස්සෙ ඇතීනා කඳුළු හලමින් නැගිට්ටා. මෙලාවියෝ ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. එයා කවිච්චියෙන් නැගිටල ඇවිත් ආයෙත් මෙලාවියෝ ඉස්සරහ ඉඳ ගත්තා. කඳුළු පිහදගත්ත ඈ ආයෙත් යාන්තමට හිනාවෙන්න පටන් ගත්තා.

‘ඔබ සෑහෙන්න හොඳයි. ක්ෂතිමය අත්දැකීම හොඳට පාලනය කර ගත්තා. අපි ඊළඟ පරීක්ෂණයට තව දවස් දෙකක් කල් ගමු.’

ඇතීනා යන්න හැරුණා.

‘ඒ හේතුව නිසා ද හඳට යන්නෙ’මෙලාවියෝ ඇහුවා.

ඇතීනා හැරිල බලල හිනා වුණා. ‘ඒකත් එක හේතුවක්. ඒ දේවල් හරි ම කම්මැලියි. නිකම්ම අඬ අඬ ඉන්න හොඳයි.’

මෙලාවියෝ ඇහුවෙ අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. රෝගියාගේ ක්ෂතිමය අත්දැකීම වුවමනාවෙන් ම කියනවා නම් මිස එය නොකියා සිටීම ඔවුන්ගේ අයිතියක්. ඒ නිසා ම ඒ ගැන වැඩිදුර අහන්න මෙලාවියෝ පැකිලුණා.

‘විවාහ වෙන්න කැමති පිරිමියා මොන වගේ වෙන්න ඕනෙ ද?’හතලිස් නව වෙනි කැටගරියෙ අන්තිම ප්‍රශ්නෙ. ඒකට ඇතීනා දුන්න උත්තරේ මෙච්චරයි. ‘හරිම සාමාන්‍ය කෙනෙක්’

මෙලාවියෝ ආයෙත් ඇහුවා. ඒක ම තමා උත්තරේ. ඉතිරි ප්‍රශ්න ටිකත් එහෙමයි. හරිම සාමාන්‍ය උත්තර.

කොහොම හරි පරීක්ෂණය අවසන් වෙච්ච එක ගැන තිබුණේ මෙලාවියෝට සැනසිල්ලක්.

‘තියෙන්නෙ තව එක පරීක්ෂණයයි. ඒකෙන් පස්සෙ ඉවරයි.’එයා කිව්වා. ‘අභ්‍යන්තර සංජානන පිළිබඳ පරීක්ෂණය. හරිම ලේසි එකක්.’

ඇතීනගෙන් පස්සෙ ආපු රෝගීන් දෙන්න විකිරණ කාන්දුවීම්වලට අහුවෙලා භ්‍රාන්තීන් අත්විඳින අය. අවුරුදු තුනකට ඩෙස්පිඩොමීන් ලිව්වා. අවසන් පරීක්ෂණයට මනෝ චිකිත්සකයාත් රෝගියාගේ අතත්‍ය යථාර්ථයේ ඉන්න ඕනෙ. මෙලාවියෝ පරිගණක වැඩසටහන සකසලා එයාගෙ පුටුවට ඇවිත් අතත්‍ය යථාර්ථ බාහිකය ඔළුවට දා ගත්තා. පරිසරය සුදුපාට වුණා. හැම තැනම සුදු ම සුදු පාටයි. ඉස්සරහ කවිච්චියෙ හිටපු ඇතීනා නැගිට්ටා. කවිච්චිය අතුරුදන් වුණා. මෙලාවියොත් පුටුවෙන් නැගිට්ටා. පුටුවත් අතුරුදන් වුණා. දැන් සිද්ධ වෙන හැම දෙයක් ම වෙන්නෙ හිත ඇතුළෙ.

මෙලාවියෝ මේ පරීක්ෂණයට කැමතියි. මොකද ඒකෙදි කරන්න දෙයක් නෑ. වෙන දෙයක් දිහා බලාගෙන ඉඳල කෙටියෙන් වාර්තාව ලියන්න විතරයි ඕනෙ. රෝගීන් සිය ගණනක් එක්ක මේ පරීක්ෂණය කරලා තියෙන මෙලාවියෝ සුදු පාට හිස් ලෝකය සයිකඩෙලික් වර්ණ පිරි කැරකිල්ල හැදෙන ලෝකයක් වෙන හැටි දැකල තියෙනවා, පිස්සුවෙන් පුපුරන ගිනි කඳු තියෙන ලෝකයක් වෙන හැටි දැකල තියෙනවා, අසභ්‍ය චිත්‍රපටයක වගේ දර්ශන පිරෙන හැටි දැකල තියෙනවා, ග්‍රීක මූර්ති වගේ හරිම නිශ්චිත දේවල්වලින් පිරිල යනව දැකල තියෙනවා. ඒක ඔහුට සාමාන්‍ය දෙයක්. අනිත් අතට මෙතනදි තමා හැම මනුස්සයෙකුගෙ ම ඇත්ත එළියට එන්නෙ. හංගගෙන ඉන්න දේවල් තව දුරටත් හංගගෙන ඉන්න බැරිවෙන තරම් අවිඥාණය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මෙතන දි. ඇතීනා ඇත්තට ම හංගන්න දඟලන්නෙ මොකද්ද? අද දැනගන්න ලැබෙයි. මෙලාවියෝ හිතුවා.

‘මේ හිස් ලෝකෙට ඔයාගෙ හිතේ තියෙන රූප ප්‍රක්ෂේපනය කරන්න. හිතට එන හැම දෙයක් ම අඳින්න. ඕන දෙයක්.’

ඇතීනා සුදුපාට පසුබිම් කරගෙන හැරිලා බැලුවා.

‘ඕන දෙයක්’ එයා හිනා වෙලා ඇහුවා.

‘ඔව් ඕන දෙයක්. මං හිටිය කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ’

ඇතීනා කල්පනා කළා. එහෙන් මෙහෙන් ඉරි ඇඳෙන්න පටන් ගත්තා. කෝටු මිනිස්සු. රෝදයක් පස්සෙ පන්නනවා. ඊට පස්සෙ ඉර පායනවා. දඟලන වෘත්තයක් විදියට ඉර.

‘කෝ පාට’මෙලාවියෝ ඇහුවා.

‘මට කම්මැලියි. කළු පාට ඉරි අඳින්නම්’ඇතීනා කිව්වා. මෙලාවියෝ හිතේ ඒකත් සටහන් කර ගත්තා. පාට ප්‍රතික්ෂේප කරන කළු සුදු රූපවලින් පමණක් ලෝකය දකින මිනිස්සු කවුද? එහෙම අය සායනයට ඇවිත් තියෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් විෂාදයෙන් පෙළුණු, ජීවිතය විඳින්න බැරි වුණු, කලකිරුණු මිනිස්සු. අහා! එහෙනම් මේකයි රහස. මෙලාවියෝ හිතුවා. ඇතීනගෙ මැකෙන්නෙ නැති හිනාව යට තියෙනවා කවදාවත් ගොඩ එන්න බැරි විඳවීමක්, එයාගෙ හිනාව එහෙම පිටින් ම බොරුවක්, ජීවිතේ හිස්කම වහගන්න හදපු බොරුවක්.

සරුංගලයක් පස්සෙ කෝටු ළමයි ටිකක් දුවගෙන ගියා. පැලැස්තර දාපු හදවතක් ගැහෙන්න වුණා. මුහුද රැළි ගැහුවා. ඔක්කොම කළු පාට දඟලන ඉරි. බෝනික්කෙක් හිනා වුණා. ඉටිපන්දම් පත්තු කර කර ඉන්න පුංචි ගෑනු ළමයෙක්. මෙලාවියෝ ඇත්තට ම බලාපොරොත්තු වුණේ බරොක් යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය වගේ ඉතා සංකීර්ණ ත්‍රිමාන රූප ටිකක්. ඇතීනා ත්‍රිමාණ සංජානනය පිළිබඳ අයින්ස්ටයින් කෙනෙක්. විශ්වයේ ත්‍රිමානය චතුර්මානය ගැන හිතන කෙනෙක්. බැලේ නර්තනයේ රිද්මය ගම්‍යතාවය අවකාශ භාවිතය ඇඟේ තියෙන කෙනෙක්. ඒත් ඔක්කොම දඟලන කළු සුදු කෝටු රූප.

මෙලාවියෝ අතත්‍ය යථාර්ථ බාහිකය ගැලෙව්වා. ‘පරීක්ෂණ ටික ඉවරයි. මම වාර්තාව යවන්නම්’එයා කිව්වා.

ඇතීනා ගියා.

මතු සම්බන්ධයි

තාරක කල්දේරා


නව අදහස දක්වන්න