ප්‍රතිපක්ෂ මිතුරියෝ | දිනමිණ

ප්‍රතිපක්ෂ මිතුරියෝ

චම්පිකා දීපානි රණසිංහ

හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන පසමිතුරන්ය. දේශපාලන පොරපිටියේ පෞද්ගලිකවද එය එසේමය. එහෙත් මාපිය අඩදබර දූදරුවන්ගේ මිතුදමට බලපානවාද? හිලරි සහ ඩොනල්ඩ් මෙන් නොව ට්‍රම්ප් දියණිය ඉවන්කාත්, ක්ලින්ටන් දියණිය චෙල්සියා අඹ යෙහෙළියන්ය. ඉවන්කා තිස්හය හැවිරිදි වියේය. චෙල්සියා තිස්අට වැනිවියේත් පසුවෙයි.

පෞද්ගලික මට්ටමින් ඔවුන් ඔවුන්ගේ සබඳතාව පවත්වාගෙන ගියද ග්ලැමර් වැනි කාන්තා සඟරාවලින් හා ට්විටර් වෙබ් අඩවියෙන් දෙදෙනාගේ මිත්‍රත්වයට සාක්ෂි ඕනෑ තරම් සපයයි. වෝග් සඟරාව සමඟ කළ සාකච්ඡාවකදී මුව පුරා ඉවන්කාට චෙල්සියා ප්‍රශංසා කළාය. එහෙත් ජනාධිපතිවරණයෙන් පසු දෙදෙනා බොහෝ කලකින් මුණගැසී නැත.

ඉවන්කා මේ වන විට ජනාධිපතිගේ විශේෂ උපදේශක‍යකු ලෙස කටයුතු කරන්නීය. ඒ දහසක් විවේචනවලට ලක්වෙමිනි. ඇයගේ අත්දැකීම් ඌනතාව ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

2016 වසරේ දෙවැනි ජනාධිපතිවරණ විවාදයෙන් පසු මුහුණට මුහුණ ගැසී සුහද මිතුදම බෙදා හදා ගත්හ. එහිදී ඉවන්කා, තමන් හා චෙල්සියා මාපියන්ට උපරිම සහයෝගය දෙන දූවරුන් බවත්, එය යුතුකමක් බවත් එය එකිනෙකාට ගෞරව කිරීමට බාධාවක් නොවන බවත් තරයේ කියා සිටියාය. පීපල්ස් සමඟ පැවැති එම සාකච්ඡාවේදී චෙල්සියා පැවසුවේ දේශපාලනයට වඩා මිත්‍රත්වය වැදගත් වන බවය. ඔවුන් දේශපාලන මිතුරන් පසමිතුරන් ඇසුරු කිරීම ගැන මාපියන්ගෙන් බොහෝ පාඩම් ඉගෙනගෙන තිබේ.

ඉවන්කාගේත්, චෙල්සියාගේත් සමානකම් බොහෝ ය. චෙල්සියා හැදුණේ වැඩුණේ ධවල මන්දිරයේ පළමු දියණිය ලෙස ය. ඒ නිසා ඇයට මහජන නෙත ගැටුම හොඳින් හුරු පුරුදුය. ඉවන්කා ලොව ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණිය නිසා ඇයට ද එය නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ.

චෙල්සියා, මෙතෝදිස්ත බැතිවන්තියක වුවත් ඇය විවාහ වූයේ මාර්ක් මෙස්වින්ස්කි නම් බැතිමතෙක් සමඟය. 2010 දී ජෙයාඩ් කුෂ්නර් සමඟ විවාහයට පෙර යුදෙව් ආගම වැලඳ ගත්තාය.

දෙදෙනාම මේ වන විට මවුවරුන්ය. චෙල්සියාට පළමු දරුවා, චාලට් දියණිය ලැබුණේ 2014 සැප්තැම්බරයේය. ඉවන්කාගේ පළමු දරුවාත් දියණියකි. ඇය ඇරබෙලා රෝස්ය. 2013 දී ඇයට දෙවැනි දරුවා ජෝශප් ෆ්‍රෙඩ්රික් පුතු ඉපදුණි.

පවුලේ රාජකාරිවලට දූවරු දෙදෙනාම උර දුන්හ. ඉවන්කා පියාගේ එන්බීසී රියැලිටි මාලාවේ පෙනී සිටියාය. ඇය ට්‍රම්ප් සංවිධානයේ ඉහළ පෙළේ විධායක නිලධාරිනියකි. ක්ලින්ටන් පදනමේ උප සභාපතිනිය චෙල්සියා. ඇය ක්ලින්ටන්ගේ ගෝලීය ව්‍යාපාරයේද වැදගත් භූමිකාවක නිරතවන්නීය. මේ සුවච කීකරු දියණිවරුන් දෙදෙනාම මාපියන්ගේ ජනාධිපති සටනේ ක්‍රියාකාරී සාමාජිකාවෝ වූහ.

දෙදෙනාම මෑන් හැටන්වල ජීවත්වී තිබේ. මාපියන්ගේ ඡන්ද ව්‍යාපාරයට උරදෙද්දී දෙදෙනාම ගැබිනියන් ය. ඉවන්කාගේ තෙවැනි දරුවාත්, චෙල්සියාගේ දෙවැනි දරුවාත් ලැබෙන බව පසුගිය වසර අවසානයේදී ඔවුහු දන්වා සිටියහ.

දෙදෙනාගේ වයස් පරතරය දෙවසරක තරම් කෙටිවීම මේ අපූරු මිතුදමට තවත් පදනමකි. අමෙරිකාවේ සිසුන් වැඩිම දෙනකුගේ තෝරාගැනීම් විශ්වවිද්‍යාල දෙකකින් දෙදෙනා උපාධිය ලැබූහ. ඉවන්කා පෙන්සිල්වේනියාවේ වෝට්න් සරසවියේ ආර්ථික විද්‍යා උපාධිධාරිනියක වූ අතර චෙල්සියා ඉතිහාසය පිළිබඳ උපාධියක් සහ පශ්චාද් උපාධියක් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හා අමෙරිකාවේ කොළොම්බියා සරසවියෙන් ලබාගන්නා ලදී.

අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න