තහනම් උත්තේජක අන්තර්ජාතික සහයෝගීතා රාජ්‍ය තාන්ත්‍රික මහා සමුළුව අද - හෙට | දිනමිණ

තහනම් උත්තේජක අන්තර්ජාතික සහයෝගීතා රාජ්‍ය තාන්ත්‍රික මහා සමුළුව අද - හෙට

ප්‍රින්ස් ගුණසේකර

ආසියා - ඕෂනියා රටවල් 45ක ඇමැතිවරු කොළඹට

ආසියා - ඕෂනියා කළාපවල රටවල් 45ක අමැතිවරු හා ප්‍රධාන පෙළේ නිලධාරීහූ ඇතුළු 80ක් පමණ සහභාගීවන ආසියා - ඕෂනියා රටවල් අතර තහනම් උත්තේජක පිළිබඳ අන්තර්ජාතික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ 15වැනි රාජ්‍ය තාන්ත්‍රික මහා සමුළුව අද (18) හා හෙට (19) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වෙයි. තහනම් උත්තේජක පිළිබඳ අන්තර්ජාතික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මහා සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේදී චීනයේ හැංග්ෂූ හිදී පැවැති සමුළුවේදී මෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමුණි.

ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (wada) සභාපති අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රීමත් ක්‍රෙග් රීඩ් මහතා මුලසුන හොබවන මේ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා හා ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්වෙති.

ක්‍රීඩා ඇමැතිවරයා හා ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපතිවරයා මේ සමුළුවේදී විශේෂ දේශන පැවැත්වීමට නියමිත අතර ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (wada) අධ්‍යක්ෂ ජෙනරාල් ඔලිවර් නිග්ලී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රෙප් කොලීන් ආසියානු සමුද්‍රීය ශාන්තිකර කළාපයේ කළාප අධ්‍යක්ෂ කසුහිරෝ හයාෂී යන මහත්වරු ඇතුළු නිලධාරීහූ සමුළුව ඇමැතීමට නියමිතය.

ආසියා - ඕෂනියා රටවල් අතර තහනම් උත්තේජක මහා සමුළුවට පසුව දකුණු ආසියා රටවල් අතර නියෝජිතයන්ගේ තහනම් උත්තේජක සමුළුවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතයෙන් තොරව තරග වැදීම උදෙසා එළැඹිය යුතු ප්‍රතිපත්තිමය තීරණ රැසක් පිළිබඳ මේ මහා සමුළුවේදී සාකච්ඡාවට ගනු ඇත. ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ඉදිරි වැඩ පිළිවෙළ සාමාජික රටවල් වෙත පැහැදිලි කරන අතර එම වැඩ සටහන අනුව තහනම් උත්තේජක මර්දන සහයෝගීතා වැඩ පිළිවෙළ දියත් කෙරේ. තහනම් උත්තේජක ජාවාරමට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේදී බලපාන ප්‍රශ්න, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතයෙන් වැළැක්වීම වෙනුවෙන් තවදුරටත් කළ යුතු පෙළඹවීම් මේ සමුළුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

මේ අතර ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියා ක්‍රීඩා උත්තේජක මර්දන අධිකාරි දෙක අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමද මේ සමුළුව අතරතුර සිදුකෙරේ. එම ගිවිසුම මගින් ඔස්ට්‍රේලියා ක්‍රීඩා උත්තේජක අධිකාරියේ තොරතුරු තාක්ෂණය, පරීක්ෂණ හා නීති ක්ෂේත්‍රවල දැනුම, පළපුරුද්ද හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවේ. එමෙන්ම ඔස්ට්‍රේලියානු ඖෂධ පරීක්ෂණ රසායනාගාරය සමග එක්වී නව සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට ද සූදානමකි.

නව අදහස දක්වන්න