රොනාල්ඩෝගේ ගෝල ත්‍රිත්වයෙන් පෘතුගාලය තරගය සම කරයි | දිනමිණ

රොනාල්ඩෝගේ ගෝල ත්‍රිත්වයෙන් පෘතුගාලය තරගය සම කරයි

ෆවුස් මොහොමඩ්

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා තමා බව යළිත් සනාථ කළ පෘතුගාල කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්පාඤ්ඤය සමග පැවැති පළමු තරගයේදීම සුපිරි ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත්තේය.

රුසියාවේ සොචී හී ෆිස්ට් ඔලිම්පික් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේ නරඹන්නන් 43,866ක මහා පිරිසක් සාක්ෂිකරුවන් බවට පත් කරමින් මේ විශිෂ්ට ක්‍රීඩකයා තරගය ගෝල 3-3ක් ලෙස ජයපරාජයෙන් බේරාගත්තේ තරගය නිමාවීමට මිනිත්තු දෙකක් ඉතිරිව තිබියදී අදහාගත නොහැකි නිදහස් පහරින් වාර්තා කළ ගෝලයත් සමගිනි.

රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන මේ සුපිරි ක්‍රීඩකයා යාර 25ක දුරින් සිට එල්ල කළ මේ විශිෂ්ට පහරට පෙර ගෝල 3-2කින් තරගයේ පෙරමුණ ගෙන සිටියේ ස්පාඤ්ඤ කණ්ඩායමය. සිය නිත්‍ය පුහුණුකරු ජුලෙන් ලොපෙටෙගුයි තනතුරෙන් නෙරපා හැරීමෙන් පසුව දැඩි පසුබෑමකට මුහුණ පා සිටියත් ස්පාඤ්ඤ ක්‍රීඩකයන් තරගය පුරා පෘතුගාලයට දැඩි සටනක් දීම කැපී පෙනුණි.

34 හැවිරිදි රොනාල්ඩෝගේ මේ ගෝල ත්‍රිත්වය ලෝක කුසලාන තරග ඉතිහාසයට එක්වූයේ එවැනි දස්කමක් පෑ වයස්ගතම ක්‍රීඩකයා ලෙසිනි.

තරගයේ සිවුවැනි මිනිත්තුවේදී ලැබූ දඬුවම් පහරකින් සිය පළමු ගෝලය වාර්තා කළ රොනාල්ඩෝ ගෝල 1-0කින් පෘතුගාල පිල ඉදිරියට ගෙන යාමෙන් පසුව ස්පාඤ්ඤය ගෝල 1-1කින් තරගය සමකරගත්තේ 24 වැනි මිනිත්තුවේදී ඩියාගෝ කෝස්තා එල්ල කළ අනගි ගෝලයත් සමගිනි. අනතුරුව තරගයේ පළමුභාගය නිමාවීමට මිනිත්තුවකට පෙර සිය දෙවැනි ගෝලයත් වාර්තා කළ රොනාල්ඩෝ සිය කණ්ඩායමට නැවතත් ගෝල 2-1කින් පෙරමුණ ගෙනදීමට සමත්විය.

දෙවැනි භාගය ආරම්භවී මිනිත්තු දහයකට පසුව ඩියාගෝ කෝස්තාගේ දෙවැනි ගෝලය වාර්තාවීමත් සමග ස්පාඤ්ඤය නැවතත් ගෝල 2-2කින් තරගය සමකරගත් අතර 58 වැනි මිනිත්තුවේදී නැචෝ ස්පාඤ්ඤයට ගෝල 3-2කින් පෙරමුණ ගෙනදුන්නේය. රොනාල්ඩෝගේ තීරණාත්මක තුන්වැනි ගෝලය වාර්තාවූයේ ස්පාඤ්ඤය පසුවූයේ තරගයේ ජයග්‍රහණය පෙනී පෙනී සිටියදීය.

ඉරානයට බෝනස් ජයක්

ගෝල රහිතව ජයපරාජයෙන් තොරව නිමාවූ ඉරානය සහ මොරොක්කෝව අතර ලෝක කුසලාන පාපන්දු තරගයේ ලබාදුන් අතිරේක කාලයේ මොරොක්කෝ පිලේ අසීස් බෝහැඩෝස් හිසින් එල්ල කළ පහරින් පන්දුව තමන්ගේම දැල තුළට පතිතවීම නිසා ගෝල 1-0ක බෝනස් ජයක් වාර්තා කිරිමට ඉරානය සමත්විය.

වසර 1998 දී ප්‍රංශයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී අමෙරිකාව හමුවේ ගෝල 2-1ක ජයක් ලැබූ ඉරානය දශක දෙකකට පසුව ලැබු පළමු ලෝක කුසලාන පාපන්දු ජය මෙය විය.

තරගය පුරා කැපී පෙනෙන දස්කම් පෑ මොරොක්කෝව පළමුභාගයේදී ගෝලයක් රැස් කිරීමට අවස්ථා කිහිපයක්ම ලැබුණත් ඉරාන පිලේ ගෝල් රකින්නා වන හකීම් සියැච්ගේ සුපිරි දස්කම් නිසා ඒ සියල්ල මඟ හැරී ගියේය.

බෝහැඩෝස්ගේ අනපේක්ෂිත ගෝලය නිසා වසර 2010 තරගාවලියේදී ජපානය විසින් ගෝල 1-0කින් කැමරුන් පිල පරාජය කිරීමෙන් පසුව ආසියානු කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියේ දී අප්‍රිකානු කණ්ඩායමක් පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙස මේ තරගය වාර්තාපොතට එක්විය.

අවසන් මොහොතේ උරුගුවේ පිලට ජය

තරගය නිමාවීමට මිනිත්තුවකට පෙර ජොස් ගිමෙන්ස් හිසින් එල්ල කළ විශිෂ්ට පහර නිසා ගෝල 1-0කින් ඊජිප්තුව පරාජය කළ උරුගුවේ පිල ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයෙන් විස්මිත ජයක් වාර්තා කිරීමට සමත්විය.

ඊජිප්තුවේ විශාලතම බලාපොරොත්තුව සහ මෙවර රන් සපත්තුව හඹා යන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සිටින මොහොමඩ් සාලා මීට මාස තුනකට පෙර සිදුකළ උරහිසේ සැත්කම තවම සුවවී නොමැති නිසා මේ තරගයට ක්‍රීඩා නොකළේය.

එසේ වුවත් මුලු තරගයේදීම උරුගුවේ පිලට දැඩි අභියෝගයක් එල්ල කළ ඊජිප්තුව අවසන් මොහොත දක්වාම තරගයේ රැඳී සිටීම කැපී පෙනුණි.

 

සාන්ත පීටර්ස්බර්ග් නුවර ක්‍රෙස්ටොව්ස්කි ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩාලෝලීන් 62,548ක ජනකායක් මැද පැවැති මේ තරගයේ වැඩි වාසිය මොරොක්කෝ පිලට හිමිවී තිබුණත් වාසනාව කැරකෙන්නට වුයේ ඉරාන කණ්ඩායම අතරේය. ඔවුන් තරගය පුරා මොරොක්කෝ ක්‍රීඩකයන් ඇද බැඳ තබාගත් අතර බලාපොරොත්තු වුයේ තරගය ජයපරාජයෙන් තොරව නිමාකරගැනීමටය.

මෙසීට මඟ හැරුණු දඬුවම් පහරෙන් ආජෙන්ටිනා - අයිස්ලන්ත තරගය සම වෙයි

දහසක් බලාපොරොත්තු තැබූ ආජෙන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට පහසු දඬුවම් පහරක් මඟ හැරී යාම නිසා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආජෙන්ටිනාව සහ අයිස්ලන්තය අතර පැවැති තරගය ගෝල් 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ 64 වැනි මිනිත්තුවේදී ලැබුණු එම දඬුවම් පහර මෙසී වැනි සුපිරි ක්‍රීඩකයකුට කිසිසේත්ම අපහසු ඉලක්කයක් නොවන බව මොස්කව් නුවර ඔක්ට්‍රිටී අරීනා ක්‍රීඩාංගණයට රැස්ව සිටි 44,190ක ක්‍රීඩාලෝලීන් පිරිසක් හොඳින්ම දැන සිටියත් සියලුදෙනාගේ නළල්තල රැළි ගන්වමින් මෙසීට එය වැරැදී ගියේ අයිස්ලන්තයේ ගෝල් රකින්නා වන හැන්ස් හෝල්ඩොර්සොන් සාර්ථකව පිටතට තට්ටු කිරීම නිසාය. ඒ වනවිට දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවූ අතර අනතුරුව ගෝලයක් රැස් කිරීමට මෙසීට ලැබුණු තවත් අවස්ථාවකින් ඵල නෙලාගැනීමට ඔහුට හැකිවූයේ නැත.

තරගයේ 19 වැනි මිනිත්තුවේදී කුන් ඔකියුරෝ එල්ල කළ ගෝලයෙන් 1-0කින් පෙරමුණ ගත් පසුගිය තරගාවලියේ අනුශූරතාව දිනූ ආජෙන්ටිනාව මුල් වරට ලෝක කුසලාන තරගාවලියට එක්වූ අයිස්ලන්තය හමුවේ පහසු ජයක් වාර්තා කරනු ඇතැයි පෙනුණි. එහෙත් ඊට මිනිත්තු4කට පසුව ෆින්බොගොසන් සිය රටෙහි මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කරමින් 1-1කින් තරගය සමකරගැනීමට සමත්විය.

දශක දෙකකට පසුව ක්‍රොඒෂියාවට ලෝක කුසලාන තරග ජයක්

නයිජීරියානු ක්‍රීඩක ඔග්හෙනේකාරා එටේබෝ තමන්ගේම දැල තුළට පන්දුව එල්ල කිරිම නිසා තරගයේ පළමුභාගයේදී ගෝල 1-0කින් පෙරමුණ ගත් ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නයිජීරියාව සමග පැවැති තරගයෙන් ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

වසර 1998 දී ප්‍රංශයේ පැවැති තරගාවලියේ තුන්වැනි ස්ථානය අත්කරගත් ක්‍රොඒෂියාව ලැබූ පළමු ලෝක කුසලාන තරග ජය මෙය විය. පසුගිය වතාවේ බ්‍රසීලයේ පැවැති තරගාවලියේ දී ඔවුන් බ්‍රසීලය හමුවේ ගෝල 3-1ක පරාජයට පත්විය.

එටේබෝ විසින් ක්‍රොඒෂියාවට ගෝලයක් පිරිනමනු ලැබුවේ තරගයේ 32 වැනි මිනිත්තුවේදීය. මොඩ්රික් විසින් කෝනර් ස්ථානයේ සිට එල්ල කළ පහරින් පන්දුව ගෝල් කණුව ඉදිරියේ පතිතවීමත් සමග ක්‍රොඒෂියානු ක්‍රීඩකයන් එය දැල තුලට පතිත කිරිම වැළැක්වීමේ අරමුණින් එටේබෝ පන්දුව ගෝල් රකින්නා වෙත යන පරිදි යොමු කළත් එය නැවතුණේ දැල තුලට ඇදීයාමෙන් පසුවය.

තරගයේ පළමුභාගය නිමාවෙද්දී ගෝල 1-0කින් පෙරමුණ ගත් ක්‍රොඒෂියාවට ජයග්‍රහණය තහවුරු වූයේ දෙවැනි භාගයේ 71 වැනි මිනිත්තුවේදි ලැබුණු දඬුවම් පහර මොඩ්රික් විසින් සාර්ථකව එල්ල කරනු ලැබීම නිසාය. කලිනින්ග්‍රාඩ් නුවර කලිනින්ග්‍රාඩ් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාලෝලීන් 31,136ක පිරිසක් මැද පැවැති මේ තරගයේ නයිජීරියාව ලැබූ පරාජය ඉතිහාසය අලුත් කළ එකක් බවට පත්විය.

ඊට පෙර පසුගිය තරගාවලියේදිත් ඔවුන් අවසන් 16දෙනාගේ තරග වටයේදී ප්‍රංශය හමුවේ පරාජයට පත්වූයේ මෙසේ තමන්ගේම දැල තුලට පන්දුව පතිත කරගැනීමේ අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමෙනි.

********************************************************

ආරම්භයේ සිටම උරුගුවේ පිලේ සුපිරි ක්‍රීඩක ලුයිස් සුවාරිස්ට ගෝලයක් රැස් කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම මඟ හරවා දැමූ ඊජිප්තුව උපක්‍රමශීලී තරග රටාවක නිරතවීම විශේෂත්වයකි. ඒ අනුව තරගයේ පළමුභාගය නිමාවට පත්වූයේ කිසිදු ගෝලයකින් තොරවය.

යෙකටරින්බර්ග් නුවර සෙන්ට්‍රල් ක්‍රීඩාංගණයේ නරඹන්නන් 27,015ක් මැද පැවැති මේ තරගය මෙතෙක් මෙවර තරගාවලියේ වාර්තා වූ අඩුම ප්‍රේක්ෂක සංඛ්‍යාව බවට පත්වීම විස්මය දනවන්නකි. මේ තරගයත් සමග එතෙක් මෙතෙක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කර ඇති ඊජිප්තුව මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත්වී සිටී.

පොග්බා ප්‍රංශයට ජය ගෙනේ

ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ පළමුවතාවට වීඩියෝ පට නිරීක්ෂණය කරන සහය විනිසුරුවරයාගේ (VAR)ගේ සහය ලබාගනිමින් තීරකවරයා පිරිනැමූ දඬුවම් පහරින් උපරිම ඵල නෙලාගත් පෝල් පොග්බා ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් ප්‍රංශයට ගෝල 2-1ක ජයක් අත්කරදීමට සමත්විය.

කසාන් නුවර කසාන් ක්‍රීඩාංගණයේ දී ප්‍රේක්ෂකයන් 41,279ක පිරිසක් මැද පැවැති මේ තරගයේ පළමුභාගයේ දෙපිලම ගෝල රැස් කිරිමට අසමත්වූවත් කරට කර සටනක නිරතවූ ඔස්ට්‍රේලියාවත්, ප්‍රංශයත් ජයග්‍රහණය හඹා යද්දී සියලු ගෞරවය ප්‍රංශයට ගෙන දුන් පොග්බා මේ තීරණාත්මක ගෝලය වාර්තා කළේ තරගයේ 81 වැනි මිනිත්තුවේදීය. ඔහු එල්ල කළ පහරින් පන්දුව ගෝල් කණුවට අඟල් කිහිපයක් ඉතිරිව තිබියදී දැල තුළට පතිත විය.

තරගයේ 58 වැනි මිනිත්තුවේදී ලැබූ දඬුවම් පහරකින් කදිම ගෝලයක් වාර්තා කළ ඇන්ටෝනි ග්‍රිස්මාන් ප්‍රංශයට ගෝල 1-0කින් පෙරමුණ ගෙනදීමෙන් පසුව තරගය බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගත්තේය. එහෙත් ඊට මිනිත්තු 4කට පසුව මයිල් ජෙඩිනක් සිය කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරකින් සාර්ථක ඵල නෙලාගනිමින් වාර්තා කළ ගෝලයත් සමග තරගය 1-1කින් සමවිය.

ඉන් අනතුරුව ජයග්‍රහණය හඹා ගිය දෙපිලම ගෝල රැස් කිරීමට දැඩි උත්සාහක නිරතවූවත් අවසානයේදී වාසනාව උදාවූයේ ප්‍රංශ කණ්ඩායමටය.

ඩෙන්මාර්කයට විශිෂ්ට ජයක්

වසර 36කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්වූ පෙරූ රාජ්‍ය කණ්ඩායමේ ඉරණම තීන්දු කළ යූසුෆ් පෝල්සන් ඩෙන්මාර්ක පිලට ගෝල 1-0ක ජයක් ලබාදීමට සමත්විය. දෙපිල අතර පැවැති කරට කර සටනේ පළමු භාගය ගෝල රහිතව නිමාවට පත්වූවත් දෙවැනි භාගයේ 59 වැනි මිනිත්තුවේදී පෝල්සන් වාර්තා කළ ගෝලයෙන් තරගයේ පෙරමුණ ගත් ඩෙන්මාර්කය ජයග්‍රහණය තෙක් ආපසු නොහැරී ගමන් කළේ පෙරූ කණ්ඩායම දැඩි පීඩනයකට ඇද දමමිනි.

කෙසේ වෙතත් පෙරූ කණ්ඩයාමේ දුර්වලතාව තරගය පුරාම දක්නට ලැබුණු අතර ඔවුන්ට ගෝලයක් රැස් කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම මඟ හැරි ගියේය. ඒ සියල්ලට අමතරව පළමු භාගයේදී පෙරූ කණ්ඩායමට ලැබුණු අනගි දඬුවම් පහරේ අවස්ථාවක් ද ගිලිහී ගියේ එය සාර්ථකව එල්ල කිරිමට ක්‍රිස්ටීන් කුයිවා අසමත්වීම නිසාය. එම දඬුවම් පහරේ අවස්ථාව ඔවුන්ට හිමිවූයේ දෙවැනි වතාවටත් වීඩියෝ සහය විනිසුරුවරයාගේ මැදිහත්විම නිසාය. ඊට පෙර එවැනි අවස්ථාවක් පිරිනැමී තිබුණේ ප්‍රංශය හා ඔස්ට්‍රේලියාව අතර තරගයේදීය.

සරන්ස්ක් හී මොර්ඩෝවියා අරීනා ක්‍රීඩාංගණයේ නරඹන්නන් 40,502ක ප්‍රේක්ෂක පිරිසක් මැද පැවැති මේ තරගයේ කුයිවාට මඟ හැරුණු දඬුවම් පහර මෙවර තරගාවලියේදී වාර්තාවූ 7 වැන්න වූ අතර එවැනි අවස්ථාවක් මඟහැරුණු දෙවැනි අවස්ථාව ද විය. ඊට පෙර එවැනි පහසු ඉලක්කයක් මඟ හැරුණේ අයිස්ලන්තය සමග පැවැති තරගයේදී ආජන්ටිනාවේ නායක ලයනල් මෙසී එය මඟ හරවා ගැනීම නිසාය.

 

 


නව අදහස දක්වන්න

Or log in with...