වෑන්රිය පාරෙන් පැන ට්‍රාන්ස්ෆෝමරයක් සිපගෙන | දිනමිණ

වෑන්රිය පාරෙන් පැන ට්‍රාන්ස්ෆෝමරයක් සිපගෙන

එකම පවුලේ 15කට බරපතළ තුවාල

දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ දී 17 දින පෙරවරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක හැපීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ 15 දෙනකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ සිට වවුනියාව ප්‍රදේශයේ විවාහයක් බැලීමට යන අතරතුර අනතුර සිදු වූ බවත් පැවසේ.

දඹුල්ල දෙසින් අනුරාධපුර දෙසට වෑන් රථය වේගයෙන් ධාවනය වී තිබෙන බවත් එහිදී මාර්ගයෙන් ඉවතට පැන මීටර් 40ක් පමණ දුර වෑන් රථය පෙරළී ගොස් මාර්ගය අසල තිබුණු ට්‍රාන්ස්ෆෝමරයක හැපී වෑන්රථය වෙලකට පෙරළී ඇති අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

පසුව ප්‍රදේශවාසීන් සහ එය අවස්ථාවේ දී බස් රථයක ගමන් කරමින් සිටි මගියකු බැස තුවාලකරුවන් වහා දඹුල්ල මුලික රෝහලට රැගෙන ගිය බව ඔවුහු පවසති. තුවාලකරුවන් අතර කාන්තාවන් අටක් පිරිමි පහක් කුඩා දරුවන් දෙදෙනකු වන බව පොලීසිය කියයි. තුවාලකරුවන් බොහෝ දෙනකුගේ අත් පා වලට සහ සිරුරේ විවිධ ස්ථානවලට බරපතළ තුවාල සිදුව ඇතැයි රෝහල් බලධාරීහු පවසති. ඔවුන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට රෝහලේ සේවකයෝ යුහුසුළුව කටයුතු කළහ.

සීගිරිය විශේෂ හා මාතලේ දිසා සමූහ
ඡායා - මාතලේ දිසා සමූහ 


නව අදහස දක්වන්න

Or log in with...