සසුනඹරට පුරසඳක් වන් වඩිගවැවේ විපස්සි නාහිමි | දිනමිණ

සසුනඹරට පුරසඳක් වන් වඩිගවැවේ විපස්සි නාහිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සංඝ සභාව විසින් අනුරාධපුර IIIවන පියවර සිරි සීලවංශ ධර්මායතනාධිපති, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය, ශාස්ත්‍රවේදී, ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත වඩිගවැවේ විපස්සි නාහිමියන් වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුරාධපුර ප්‍රාදේශීය උපාධ්‍යාය ධුරය සහිත සිරි සීලවංශ වංශාලංකාර ප්‍රවචන ශාසන කීර්ති ශ්‍රී සද්ධම්ම සූරී සංඝසෝභන ගෞරව නාමය ප්‍රදානය කර ඇත.

මේ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා එම ධර්මායතනයේදී පැවැත්වූයේ ඉතා උසස් අයුරිනි.

ශ්‍රී සාරානන්ද සඟපරපුරේ උත්තුංග මහතෙර නමක් වූ උඩුනුවර ශ්‍රී සීලවංශ නාහිමිපාණන්වහන්සේ මෙරට සම්බුද්ධ ශාසනයට දායාද කළ උත්තම බුද්ධ පුත්‍රයාණන්වහන්සේ වන්නේ වඩිගවැවේ විපස්සි මහා ස්ථවරයන් වහන්සේ ය. උන්වහන්සේ දයා දක්ෂිණ්‍යාදි ගුණ පිරි අනතිමානි ගුණයෙන් සුපෝෂිත ඥානවෘද්ධ, ගුණවෘධ මහතෙරනමකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කළ මෙහෙය අත්‍යූදාරය. වඩිගවැවේ විපස්සි හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකා‍යානුබද්ධ අනුරාධපුර ප්‍රාදේශීය සංඝසභාව ජෝතිමත් කරන මහා යතිවරයෙකි. 1974 වර්ෂයේ ප්‍රාදේශීය සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට පත්ව පිළිවෙළින් 1986 වර්ෂයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයද, 1993 වර්ෂයේ අනුවිජක්ක ධුරයෙන් ද, 2000 වර්ෂයේ කාරක සභික ධුරයෙන් ද, 2009 වර්ෂයේ සිට ප්‍රධාන සභාපති ධුරයද දරමින් රජරට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික සඟ පරපුරට කරන සේවාව සදානුස්මරණීය වූවකි.

වඩිගවැවේ විපස්සි මහා ස්ථවිරයන්වහන්සේ පරාර්ථ චර්යාව ආත්ම කොටගත් ශ්‍රේෂ්ඨ හිමිනමකි. “පරත්ථං පටිපජ්ජථ” යන බුදු වදන අනුව යමින් උන්වහන්සේ අනුන්ගේ යහපත සතුට ස්වාර්ථය කොට සලකන දුලභ ගණයේ භික්ෂුවකි. ධර්මඥානයෙන්, ශික්ෂාකාමීත්වයෙන් හා විනයගරුක බවෙන් සිය ජීවිතය ආලෝකවත් කරගත් උන්වහන්සේ ආදර්ශවත් භික්ෂු ජීවිතයක් ගතකරන මහා ස්ථවිර නමකි.

අනුරාධපුර ශුද්ධ භූමිය කේන්ද්‍ර කරගනිමින් උන්වහන්සේ සිය ජීවිත කාලය තුළ කරන අපරිමිත සේවාව මහානීය වූවකි. සිය ජීවිතයෙන් වැඩි කලක් අධ්‍යාපන සේවාවේ නිරත වෙමින් දූ දරුවන්ගේ නැණස ආලෝකවත් කරමින් ජාතියට වටිනා දරුපරපුරක් දායාද කිරීම සඳහා උන් වහන්සේ සිය ගුරු වෘත්තියෙන් කළ සේවාව සැමගේ ප්‍රශංසාවට ලක්වූවකි. සිය විශ්‍රාම ජීවිතයෙන් බොහෝ දෙනාට අර්ථ සිද්ධියක් කරමින් ශ්‍රී සීලවංශ ධර්මායතනය තුළින් සුවිශාල ජාතික, ශාසනික හා සාමාජික සේවාවන් රැසක් සිදු කරමින් නිහඬ ජීවිතයක් ගතකරමින් උන්වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයෙක් ලෙස ගත කරන ජීවිතය කාටත් ආදර්ශයකි.

විපස්සි නාහිමියන් දායකකාරකාදීන්ට ප්‍රථමයෙන්ම මුණ ගැසෙන්නේ හැත්තෑවේ දශකයේ අග භාගයේදීය. මේ වනවිට අනුරාධපුර නව නගරයේ දෙවන හා තුන්වන පියවර ජනාවාස වෙමින් පවතින අවධියයි. රජයෙන් පෞද්ගලිකව තමන් වෙත හිමිවූ ඉඩම් කට්ටියෙහි තමාගේ වියදමින් හා ස්වෝත්සාහයෙන් කුටියක් තනාගත් උන්වහන්සේ එහි වැඩ සිටිමින් තමාට හිමි උත්තරීතර ගුරු තනතුරෙහි රැඳී සිටිමින් රටටත්, ජාතියටත් අමිල සේවයක් ඉටුකරමින් වැඩ සිටින මේ අවධිය වන විට එම කුටිය වටාවූ ඉඩම්වල පදිංචිවන්නන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවන්නට වුවත් ඔවුන්ගේ එදිනෙදා ආගමික කටයුතු කරගෙන යාමට අවස්ථාවක් හෝ ස්ථානයක් නොතිබුණි.

මේ අතර වාරයේ විපස්සි නාහිමියන් හරිහැටි හඳුනාගත් අතළොස්සක පිරිසක් උන්වහන්සේ වටා රොක්වන්නට වූහ. එම පිරිසගේ නොමසුරු දායකත්වයත්, නාහිමියන්ගේ නොපසුබස්නා වීර්යයත් හේතුකොට ගෙන ආගමික වතාවත් ඉටුකර ගැනීමේ අභිලාශයෙන් විහාර මන්දිරයක්, බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින මළුවක්, හා ධර්මශාලාවක් මෙම පින්බිමෙහි ඉදිවිය. මෙම සත් ක්‍රියාවේදී උන්වහන්සේගේ පෞද්ගලික ධනයද නිර්ලෝභීව පරිත්‍යාග කෙරුණි.

2012 ක්වූ බිනර මස 07 වන දින විහාරස්ථ දායක සභාවක් පිහිටුවාලීම විහාරස්ථානයට අලුත් ආලෝකයක් උදාකරලීමට සමත් විය. අභිනව දායක සභාවේ ප්‍රථම කාර්යය වූයේ නාහිමියන් වැඩ සිටින පැරණි ආවාස බිමේම නවීන පන්නයේ අංග සම්පූර්ණ ආවාසයක් ගොඩනැගීමයි. එම කටයුත්ත මැනවින් හා අලංකාරව නිම කිරීමට ගත වූයේ පුරා වසරකි. කාලයත් සමගින් මෙම පින්බිමට නොයෙකුත් පූජා සංවිධාන එක්වන්නට විය. දූදරුවන් උදෙසා ශ්‍රී සීලවංශ දහම් පාසලත්, උවැසියන් සඳහා යසෝධරා කුලඟන සමිතියත් මේ අතරින් විශේෂත්වයෙහිලා සැලකීමට පිළිවන.

1940.06.05 වැනි දින අනුරාධපුර දිසාවේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වඩිගවැව රමණීය ගම්පියසේ උපත ලද විපස්සී නාහිමියන්ගේ ගිහිනම වූයේ ආර්. ජී. ධනපාල ය. පියා පාරම්පරික වෛද්‍යවරයකු වූ ආර්. පී. වෛද්‍යරත්න වෙදදුරුතුමන් ය. උක්කුඑතනා මහෝපාසිකාව මව වූවාය.

මොරකෑව රජයේ විද්‍යාලයෙන් 05 වැනි ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය හැදෑරූ ධනපාල කුලදරුවා 1952 අගෝස්තු 18 වෙනි දින වඩිගවැව ශ්‍රී පැරකුම්බාරාමයේදී වඩිගවැවේ විපස්සී යන නමින් පැවිදි දිවියට පත්වූහ. පැවිදි දිවියට පත්වූයේ උඩුනුවර ජිනවංශ නාහිමියන්ගේ උපාධ්‍යායයෙන් හා උඩුනුවර සීලවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි.

රාජකීය පණ්ඩිත යටිනුවර චන්ද්‍රරතන නාහිමියන් වහන්සේ යටතේ අලපලාවල ශ්‍රී ශාසනෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායකව වැඩ සිටි පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමියන් වහන්සේ යටතේ කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලීය මහා පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබීය. 1967 දී කොළඹ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීමට උන්වහන්සේ සමත් වූහ.

1960 අගෝස්තු 25 වැනි දින කැලණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල උපසම්පදාව ලැබූහ. 1967 සිට 1976 දක්වා අනුරාධපුර නවනගරයේ ශ්‍රී විද්‍යාරත්න පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ධුරය ඉසුලූ උන්වහන්සේ 1976.11.01 දින ගුරු සේවයට ඇතුළත් වී පළමුවෙන් ම ලිඳවැව ර‍ජයේ විදුහලේ සේවය කළ අතර 1977 දී අනුරාධපුර මහා‍බෝධි විදුහල 1986දී අනුරාධපුර පණ්ඩුකාභය විදුහල 1992දී අනුරාධපුර ශාන්තජෝෂප් විදුහල යන විදුහල්වල සේවය කර ඇත. 1996.12.16 වැනි දින ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ.

අභිනව උපාධ්‍යාය ධුරයෙහි වැඩහිඳිමින් පෙරටත් වඩා සුවිශාලවූ ශාසනික මෙහෙවරක යෙදෙමින් අනාගත සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම පිණිස කටයුතු කරන්නට අප නාහිමිපාණන්වහන්සේට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

සටහන සහ ඡායාරූපය
සේනපුර ඩී. නිශ්ශංක
අනුරාධපුර නැ‍ඟෙනහිර සමූහ 


නව අදහස දක්වන්න

Or log in with...