රජරට හෙළ බස | දිනමිණ

රජරට හෙළ බස

ඇටපල් කළුවර

කිසිවක් නොපෙනෙන දැඩි අඳුර.

හීල් පිහමන

උදයට සකස්කරන ආහාරය.

ගොමස්කඩය

ගවයකු මස් කිරීමේදී බිමට එලන රෙද්ද.

හමස් කෝණම

මාස හයක් තිස්සේ අඳින අමුඩය හෝ දියරෙද්ද. හය මසක් පාවිච්චි කළ විට මෙයට හමස්කඩ යයිද කියති.

අඩයාලම

කරත්තයක රෝද කැරකීම නැවැත්වීමට රෝදයේ බිමට හිරකරන කොට කෑල්ල, අඩයාලම තැබීමෙන් පසු රෝද කැරකෙන්නේ නැත.

අඩමානය

‘සැක සහිත බව’ මෙයින් කියැවේ. ඔහුගේ අද පැමිණීම ‘අඩමානයි’ යනුවෙන් මේ වචනය යෙදේ.

හෙම්බත්වීම

අසීමිත ලෙස වෙහෙසට පත්වීම. තවත් වැඩ නොකළහැකි තරමට ඇඟ වෙහෙසට පත්වීම.

නිස්සඹුව

අවිවාහකව සිටීම. බ්‍රහ්මචාරී වීම.

උරුට්ටු ඇල්ලීම

සැර කිරීම, තර්ජනය කිරීම යන තේරුම ඇති වචනයකි.

මුගය

පැසුණු පොල්ගොඩියක කටුව ගෙන ඇහි පැත්තෙන් අඟල් තුනක පමණ විශ්කම්භය ඇති සිදුරක් සාදා ගෙන එය පිරිසුදු කරගෙන දෙනුන්ගෙන් කිරි දෙවීමට යොදාගනී. මේ පොල්කටු භාජනයට “මුගය” යයි කියති.

පිටලෑම

නොගැළපෙන විවාහයක් වැනි කටයුත්තකදී විවාහයට පෙර බඹසර කඩාගැනීම වැනි වරදක් තහවුරුවූ විට පවුලෙන් පිටමං කිරීම.

අගුපිල් අස්සේ යාම

තමන්ගේ කුලයට, පරපුරට, වංශවත් බවට නොගැළපෙන පහත් යයි සම්මත තැන්වලට යාම සහ එබඳු අය ඇසුරු කිරීම.

ආතක්පාතක් නැති අය

සමහරවිට නිසි මවුපිය පරපුරක් නැති අක්මුල් සිඳීගිය ඉබාගාතේ සිටින අය.

අතපල්ලෙන් වැටුණ අය

අහඹු සිදුවීම්වලින් හරිහැටි පියකු නැතිව පරපුරක් නැතිව උපදින අය මේ නමින් හැඳින්වෙයි. අවජාතක ලෙස ගැනෙන්නේ මෙවැනි අයයි.

හිත්ලෑම

ආදරයක්, බැඳීමක්, ලෙන්ගතුකමක් ඇතිවීම.

පාතරාසය

උදය ආහාරය, හීල, හීල්දානය.

පගෝදිය

රත්රන් හෝ රන්භාණ්ඩ කිරන තරාදිය.

කැටවළ

වැවට දිය බීමට එන සතුන් කොටුකර ගැනීම සඳහා වැව පාමත්තේ හදන වළ මෙනමින් හැඳින්වේ. මෙම කැටවලට “කොටුඅත්ත” යයි ද කියති.

රාවණා කටුව

හැලිවළංවල ඇලීපවත්නා දංකුඩ වැනි දේ සූරා ඉවත්කිරීමට යොදාගන්නා සිප්පිකටුවට මේනම යෙදේ.

කම්බස් කිරීම

නැතිකිරීම, විනාශ කිරීම, මරාදැමීම, දඬුවම් කිරීම යන තේරුම් ඇති යෙදුමකි.

වාවා ගැනීම

කිසියම් සංවේදී සිද්ධියකදී හිත පාලනය කරගැනීම, හිත හදාගැනීම, දරාගැනීම යන තේරුම් ඇති යෙදුමකි.

වංගිය

යම් යුගයක්, නිශ්චිත කාලපරාසයක් මෙම වචනයෙන් අර්ථවත් වේ.

තිස්ස දෙවේල

හැම තිස්සේම - නිරතුරුවම දෙවේල යනු උදය හවසය.

සේරල

වැවක ස්වභාවයෙන් හැදෙන ඕලු, නෙළුම්, කෙකටිය ආදියේ අල. මෙම අල වර්ග ආහාරයටද ගනී.

අසමජ්ජාතියා

ජාතියෙන් අසමත් වූ තැනැත්තා. එනම් නිශ්චිත පියකු නැති එකා. වම්බිගේ පුතා යැයි කියමින් බැණ වදින්නේ මොහුටය. අවජාතකයා ලෙසද මොහු හඳුන්වයි.

ඉස්නං ලණුව

පාලනය නොකළ හැකි දඩබ්බර ගවයන් පාලනය කිරීම සඳහා ගවයාගේ අං දෙක මැදිවන සේ බඳින ලණුව.

ඉස්නන් තෙමනවා

වපුරන ලද කුඹුරේ ගොයම අඟලක් පමණ මතු වූ පසු පළමුවරට කුඹුරු බිම තෙමී යන්නට වතුර බැඳීම. කුඹුරේ වල් පැළ මතුවීම පාලනය කිරීම මෙහි අදහසයි.

හත්තිය

මිදුලේ ඉදිකර ඇති වී බිස්සට උඩින් වහලක් හැටියට කවාකාරව පිදුරුවලින් හදන වහල හත්තිය නමින් හැඳින්වේ. ‘හයියත්තිය’ යන වචනය සමඟද මෙය එකතුවී ඇත. හයියට දෙන රැකවරණය යන අදහස මෙහිදී දැක්වේ.

හුංගිය

ඉතාම කුඩා ගොයම් කොළය මෙනමින් හැඳින්වේ. මෙය වටමලුවටත් වඩා කුඩාය. කුඹුරේ තැනින් තැන තුනතුවල කුඩාවට ගොඩ ගසන ගොයම් කොළය.

තුනත්ත

කුඹුරේ නියරවල් තුනක් එකට එකතුවන තැන තුනත්ත නමින් හැඳින්වේ. තුන්+අත්ත “තුනත්ත ලෙස සැදී ඇත. පාරවල් තුනක් එකට එකතුවන තැනට තුංමංසල යයි කියති.

රඹහ

සැර නැති ළා අව්ව මෙනමින් හැඳින්වේ. වැහි වලාවක් අහසට සේන්දු වූ විට හිරු එළිය වැසී යාමෙන් රඹහ ඇති වේ.

කඩ සේලය

විසි රියනක් දිග රෙද්දට රෙදි කච්චිය යයි කියති. රෙදි කච්චියෙන් බාගයකට එනම් රියන් දහයකට කඩ සේලය යයි කියති.

 

සටහන
බණ්ඩාර ඒකනායක


නව අදහස දක්වන්න

Or log in with...